Print this Article


මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ 33 වන අනුනායක පදවියෙන් පිදුම්ලද

ආණමඩුවේ ශ්‍රී රතනපාල ධම්මදස්සි අනු නා හිමි

ඓතිහාසික බදුලු, මුතියංගණ රජමහා විහාරාධිපති, අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී භයගිරි (අස්ගිරි) විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක මාහිමිපාණන්වහන්සේ ප්‍රධාන රාජූපස්ථානීය පරම ධම්ම සභා නම් වූ අස්ගිරි මහා විහාරීය සානුනායක විංශද්වර්ගික කාරක මහා සංඝ සභාව විසින් තත් විහාර පාර්ශ්වයේ 33 වන අනුනායක ස්වාමීන්ද්‍රයන්වහන්සේ ලෙස අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, අස්ගිරි මහා විහාරීය රාජූපස්ථානීය පරම ධම්ම සභා නම් වූ අස්ගිරි මහා විහාරීය විංශද්වර්ගික කාරක මහා සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී අධ්‍යාපනපති ආණමඩුවේ ශ්‍රී රතනපාල ධම්මදස්ස්‍යාභිධාන වයඹ – කුරුණෑගල, ඇත්කඳ රජමහා විහාරාධිපති නායක ස්වාමීන්ද්‍රයන්වහන්සේ අස්ගිරි විහාරිය මංගල උපෝසථාගාරයේදී 2016. 05. 05 දින ඒකච්ඡන්දයෙන් තෝරාපත් කර ගන්නා ලදී.

අතිපූජ්‍ය ගලගම ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද අත්ථදස්ස්‍යාභිධාන මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ 21 වන මහා නායක මාහිමිපාණන්වහන්සේ 2016.03.09 වන දින අපවත්වීම නිසා පුරප්පාඩු වූ මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ මහා නායක පදවි ඨානාන්තරයට පත් පාර්ශ්වයේ 22 වන මහා නායක මාහිමියන් වහන්සේ වශයෙන් ඓතිහාසික බදුලු මුතියංගන රජමහා විහාරාධිපති අතිගරු වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන අනුනායක ස්වාමීන්ද්‍රයන්වහන්සේ 2016. 04. 07 වන දින පත්වීම නිසා සහ අස්ගිරි මහා විහාරීය කාරක මභා සංඝ සභාව විසින් මීට පෙර අවස්ථාවකදී එළඹ ගත් තීරණයකට අනුගතව ඒ වන විට අනෙක් අනුනායක පදවිය දැරූ ශාස්ත්‍රපති වේඬරුවේ ධර්මකීර්ති ශ්‍රී රතනපාල උපාලි අභිධාන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන අනුනායක පදවිය ලැබ ගෙන මේ වන විට කටයුතු කරන නිසාත් අස්ගිරි මහා විහාරයේ (අස්ගිරි විහාර පාර්ශ්වයේ) අනුනායක (දෙවන) ඨානාන්තරය පසුගිය දිනයක පුරප්පාඩු විය. පුරප්පාඩු වූ එම අනුනායක පදවිය අපේක්ෂාවෙන් අස්ගිරි මහා විහාරීය කාරක මහා සංඝ සභාවට ආයාචනා පත්‍රයක් ඉදිරිපත් කළ යථෝක්ත අධ්‍යාපනපති ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත එම අනුනායක (දෙවන) පදවිය තත් විහාර පාර්ශ්වයේ කාරක මහා සංඝ සභාව විසින් පත් කරනු ලැබූයේ උන්වහන්සේ මෙතෙක් සිදුකර ඇති ජාතික, ආගමික, ශාසනික සහ අධ්‍යාපනික සේවාව ද සලකා බැලීමෙනි.

1958 සැප්තැම්බර් මස 03 වන දින පුත්තලම් දිස්ත්‍රික්කයේ ආණමඩුව කොට්ටුකච්චිය නම් ඉපැරණි ග්‍රාමවරයක උපත ලබා ඇති කුමරුවෙකු හට නම් තැබුයේ වාසගම සමඟ රාජකරුණා හේරත් මුදියන්සේලාගේ උපාලි රාජකරුණා යනුවෙනි. එම කුමරුවාගේ පියා, ආණමඩුව නගරයේ වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය ආණමඩුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කලක් සේවාවක් ද සිදුකළ රාජකරුණ හේරත් මුදියන්සේලාගේ මහානාම රාජකරුණා මහතාය. ඔහුගේ මෑණියන් වූයේ අධිකාරී මුදියන්සේලාගේ පුංචි මැණිකේය. සත් දෙනෙකුගෙන් යුත් පවුලේ පස්වැන්නා වන එම කුමරුවා ගෘහවාසීව මූලික අධ්‍යාපනය ලැබූයේ ආණමඩුව මහා විද්‍යාලයෙනි. පස්වන ශ්‍රේණියෙන් පසුව කුරුණෑගල, නගරයේ පිහිටි මලියදේව විද්‍යාලයට පැමිණි ඔහුට එහි අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපන කටයුතු සිදුකර ගන්නට හැකි වූහ. ආණමඩුව නගරයේ පිහිටි ශ්‍රී ආනන්දාරාමයේ ඇසුර නිසා සහ වෙසෙසින් ම එහි වැඩ සිටි තට්ටෑවේ ශ්‍රී පඤ්ඤානන්ද නා හිමියන් සමඟ සිදුකළ ධර්ම සාකච්ඡා ආදිය නිසා සම්බුදු සසුනේ පැවිදිවීමට සිත් යොමු විය. එසේ පැවිදි බවට සිත් යොමුවීමට ප්‍රධාන හේතු සාධකයක් වූ තවත් කරුණක් වූයේ එ ම කුමරුවාගේ පියා දැහැමිව කටයුතු කළ හා උත්සාහවත්ව තම දිවිය ගොඩනඟාගත් සැදැහැගුණ මනාව පිහිටි සසුන් ලැදි වෙළෙද ව්‍යාපාරිකයකු වීම ද නිසාවෙනි. එසේ පැවිදි බවට යොමු වූ මේ කුමරුවා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ 33 වන අනුනායක හිමිපාණන්වහන්සේ ලෙස පත් වූ ආණමඩුවේ සද්ධර්ම කීර්ති ශ්‍රී බුද්ධරක්ඛිත රතනපාල ධම්මදස්සි නායක හිමිපාණන් වහන්සේ ය. සමීපතම ඥාති සම්බන්ධතාවයක් නිසා අස්ගිරි මහා විහාරයේ පොතුහැර සංඝ පරම්පරාවට අයත් උඩුගම පන්සල කේන්ද්‍ර කරගත් කීර්තිමත් සඟ පරපුරේ මෑත භාගයේ වැඩ සිටි වෘද්ධතම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද වූ අස්ගිරි විහාරයේ මහා නායක පදවිය ද හෙබ වූ අපවත්වී වදාළ උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේගේ සහ අස්ගිරි මහා විහාරයේ වැඩ සිටි ජ්‍යෙෂ්ඨ කාක සංඝ සභික වඳුරාගල ශ්‍රී රතනජෝති මහා ස්වාමීන්ද්‍රයන්වහන්සේගේ ආචාර්යත්වයෙන් යථෝක්ත කුමරුවා පැවිදි බව ලැබීය. මෙම සාමණේර හිමියන් හැඳින්වූයේ ආණමඩුවේ ධම්මදස්සි හිමියන් වශයෙනි. පැවිදි වූයේ 1976.05.19 වන දිනදීය. කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථ ශ්‍රී ඥානේශ්වර පරිවේනස්ථානයෙන් පැවිදි අධ්‍යාපනය ලබා ප්‍රාචීන ප්‍රාරම්භ සහ ප්‍රාචීන මධ්‍යම විභාගයන්ට පෙනී සිටියහ. අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට ද එම කාල වකවානුවේ ම පෙනී සිටි උන්වහන්සේ 1979.05.20 වන දින අස්ගිරි මහා විහාරීය මංගල උපොස්ථාගාරයේ දී ඉහතින් සඳහන් කළ අතිපූජ්‍ය උඩුගම ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මහා නායක මාහිමිපාණන්වහන්සේ සහ වඳුරාගල ශ්‍රී රතනජෝති මහා ස්වාමීන්ද්‍රයන්වහන්සේ යන ගුරු දේවයන් වහන්සේලා දෙනම යටතේ උපසම්පදාව ලැබූහ.

1982 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ශිෂ්‍යයෙකු සේ උසස් අධ්‍යාපනයට පිවිසි ආණමඩුවේ ධම්මදස්සි හිමියෝ 1985 වසරේදී පාලි භාෂාව පිළිබඳ විශේෂවේදී උපාධිය ලබා ගත්හ. 1990 වසරේදී කැලණිය විශ්වවිද්‍යාලයානුබද්ධ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයෙන් උන්වහන්සේ ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන ඇත. 1992 වසරේදී උන්වහන්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ලබා තිබේ. 1998 වසරේදී එම විශ්වවිද්‍යාලයෙන් ම අධ්‍යාපනපති උපාධිය ද උන්වහන්සේ ලබාගෙන ඇත. 2000 වසරේදී මහරගම ජාතික අධ්‍යාපන ආයතනයෙන් පාසල් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව ද හදාර සමත් වී ඇත. එමෙන් ම උන්වහන්සේ දැනට දර්ශනපති උපාධියෙහි අධ්‍යාපන කටයුතු ද සිදුකරගෙන යනු ලැබේ.