Print this Article


මිථ්‍යා දෘෂ්ඨිය පාප කර්මයක්ද

මිථ්‍යා දෘෂ්ඨිය පාප කර්මයක්ද

ලොව කෙතරම් දියුණු වුවත් අප ශාස්තෘන් වහන්සේ ප්‍රතික්ෂේප වන්නේ නැත. මන්ද යත් අකාලික ධර්මයක් දේශනා කර ඇති බැවිනි. ලොවෙන් අප ප්‍රතික්ෂේප නොවන්නට නම්, අප එම උතුම් ධර්මය නිවැරදිව භාවිතා කළ යුතුය. ධර්මානුකූලව දැක්මක් සකස් කර ගත යුතුය. අධර්මය තරයේ ප්‍රතික්ෂේප කළ යුතුය.

අර්හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ, විජ්ජාචරණ සම්පන්න වූ සුගත වූ, ලෝකවිදූ වූ, අනුත්තර පුරිසදම්ම සාරථී වූ දෙව් මිනිසුන් හට ශාස්තෘ වූ සිවුසස් අවබෝධ කළ, භාග්‍යවත් වූ, තථාගතයන් වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත ලෝකයට පහළ වී තමන් වහන්සේගේම විශිෂ්ට නුවණින් දැන පසක් කොට ගත් ධර්මය, මුල මැද, අග යහපත්කොට දේශනා කළ කල්හි, ඒ ධර්මය අසන නුවණැති කුල පුත්‍රයෙක් වේද, තථාගතයන් වහන්සේ පිළිබද ශ්‍රද්ධාව උපදවා ගනියි. ධර්මය පිළිබද මෙන්ම ධර්මය පිළිපදින මහා සංඝරත්නය පිළිබද ශ්‍රද්ධාව උපදවා ගනියි. ත්‍රිවිධ රත්නය කෙරෙහි පැහැදුන එතුමා තෙරුවන් සරණ යාමේදී ප්‍රකාශ කළ උදාන වාක්‍යය “අභික්කන්තං භෝ ගෝතම අභික්කන්තං භෝ ගෝතම සෙය්‍යථාපි භෝ ගෝතම නික්කුජ්ජිතංවා උක්කුජ්ජෙය්‍ය පටිච්ඡන්නං වා විවරෙය්‍ය මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය අන්ධකාරේවා තේල පජ්ජොතං ධාරෙය්‍ය චක්ඛුමන්තෝ රූපානි දක්කින්තීති. එවමේව හන්තේ භගවතා අනේක පාරියායේන ධම්මෝ පකාසිතෝ ඒසාහං භන්තේ භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛු සංඝඤ්ඤච උපාසකං මං භන්තේ භගවා ධාරේතු අජ්ජතග්ගේ පාණූපේතං සරණං ගතන්ති” ලෙස බොහෝ සූත්‍ර ධර්මයන්හි දක්නා ලැබේ. මෙහි භාවය නම් අභිකාන්තය වහන්ස, අභිකාන්තය යම් සේ යටිකුරු කොට තබන ලද්දක් උඩුකරන්නේ හෝ වේද, වැසුණු දෙයක් විවෘත කරන්නේ හෝ වේද, මංමුළා වූවකුට මාර්ගය කියන්නේ හෝ වේද ,ඇස් ඇතියන් රූප දකිතියි අඳුරෙහි තෙල් පහනක් දරන්නේ හෝ වේද, එපරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙකුත් කරුණින් දහම් පැවසිණ, වහන්ස ඒ මම භාග්‍යවතුන් වහන්සේද, ධර්මයද, භික්ෂු සංඝයාද සරණ යමි. වහන්ස, මම අද පටන් කොට දිවි හිමියෙන් සරණ ගිය උවසුවකු කොට සලකන සේක්වා ලෙසයි.

මේ බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයේදී පුද්ගලයකු තෙරුවන් කෙරෙහි ගුණ දැන පැහැද තෙරුවන් සරණ ගිය ආකාරයයි. තෙරුවන් සරණ යාම යනු සමිතියක සාමාජිකත්වය ලබා ගන්නා සේ සම්මුතියකින් සහතිකයක ලියා ගැනීම නොවන බව මෙයින් හුදෙක්ම පැහැදිලි වේ. කෙනෙකු බෞද්ධයකු වන්නේ නිවැරදි ආකාරයට ගුණ දැන පැහැද සරණාගමනය ඇති කර ගැනීමෙන් පමණක්ම වේ. එපමණක් නොව ඇති කරගත් පැහැදීම පිරිහීගිය කල්හි එම සරණාගමනය අතුරුදහන් වන අතර බෞද්ධකම අවලංගු වේ. මේ තත්වය සැලකිල්ලට ගනිමින් ගිහිවුවද, පැවිදි වුවද අප කවුරුත් මම බෞද්ධයෙක්ද යන්න තම සිතින් විමසා බැලිය යුත්තේ, සසර ඉතා දුර්ලභව හමුවන බුද්ධ ශාසනයක උරුමකාරයන් වන භික්ෂු, භික්ෂුණී, උපාසක,උපාසිකා යන සිවුවනක් පිරිසට අනුව දුක් කෙළවර කරන ප්‍රතිපදාවට එක්වී ඇතිදැයි නිවැරදිව දැන ගැනීමටයි. චේතනාවෙන්ම සිදුවිය යුතු සරණාගමනය, චේතනාවම පිරික්සා දැන ගත යුතුය. ඇතුළාන්ත පැහැදීම ඇත්තවුන් බෞද්ධ කියා නොගත්තද බෞද්ධයන් වන අතර පැහැදීම නැත්තවුන් බෞද්ධයයි කීවද, බෞද්ධ නොවන බව පැහැදිලිය. උපතින් බෞද්ධ වීම යන්න හිතලුවක් පමණි.

ඉහත උදානයේ සෑම වාක්‍යයකින්ම ගම්‍ය වන්නේ හේතුඵල දහම බව අර්ථාන්විතව වීමසිමේදී තේරුම්ගත හැක. යමක් යටිකුරු වී ඇති කල්හි වැසි ඇති කල්හි සිදුවන දේ පිළිබද විනිවිදව දැකිය නොහැකිය. මංමුලාවු අයෙකුට මෙන්ම අඳුරේ සිටින්නකු යන්නේ කොහිද අසල සිටින්නේ, තිබෙන්නේ මොනවාද යන්නවත් හරි හැටි නොදනී. මේ තත්වයන් යටතේ ඔවුන්ට යමක් කළ හැකි වන්නේ අනුමාන වශයෙනි. මක් නිසාද, සිදුවන ආකාරය පැහැදිලි නොමැති බැවිනි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ හේතුඵල දහම තුළින් ලොවෙහි සියල්ලටම හේතුවත් එහි නැති කිරීමත් පමණක් නොව නැති කරන මාර්ගයද සහිතව, පිළිපදින්නාට පිළිපැදීමට පෙර එය පිළිපැදීමෙන් ලැබෙන දේ දැන ගෙනම, පිළිපැදිය හැකි උතුම් ධර්මයක් ලොවට උරුම වී ඇත. එබැවින් තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මය ගැන සැබෑවටම පැහැදුන යම් පුද්ගලයකු වේ නම් ඔහු අන්ධවූවකු සේ අනුමාන වශයෙන් තීරණය කර යමක් නොකරයි. එසේම බුදුරජාණන් වහන්සේ යමක් වැරදි යයි දේශනා කර ඇත්නම් එසේ දේශනා කරන්නේ එය භාවිතා කළහොත් අනිටු විපාක ඇතිවන බැවින් බව ශ්‍රද්ධා සම්පන්න බෞද්ධ තැනැත්තා හොඳින් දනී. එබැවින් හෙතෙම ඉන් වැළකී සිටිනවා පමණක් නොව අන් අයද වරදින් මුදා ගැනීමට විශාල උත්සාහයක් ගනී. මේ නියම බෞද්ධ තැනැත්තන්ගේ ස්වභාවයයි.

නමුත් වර්තමානයේ ඇත්තේ ඉතා ඛේදනීය තත්වයකි. සත්‍යය කථා කළ යුතුව ඇත්තේ කිසිවකුට පහර ගැසීම සඳහා හෝ කිසිවකුගේ තාවකාලික ලාභයන් නැති කිරීමේ පටු අදහසකින් නොව වරද සිදු කිරීමෙන් හා අන් අයද වරදෙහි යෙදවීමෙන් සිදුවන බරපතළ පාප කර්මය නිසා අනාගතයේදී විඳින්නට වන අනිටු විපාක වලින් වළක්වා ගැනීමේ කරණාවෙන් යුක්තවයි. අනෙක් කරුණ වන්නේ වැරදි දේ සමාජ ගතවීමෙන් දීර්ඝ කාලීන හා කෙටි කාලීනව සමාජයට සිදුවන හානිය වළක්වා ගැනීමයි.

බුදුරජාණන් වහන්සේ තිරිසන් විද්‍යා ලෙස නම් කරමින් බෞද්ධ ධර්මයෙන් පිටුවහල් කරන ලද මිථ්‍යාවන් ඇතැම් බෞද්ධයින් විසින් ප්‍රතිබල ගන්වමින් තිබේ. සිදුවන දේ සිදුවන්නේ කෙසේ දැයි නොදැන සිදුකරන දේ, අන්ධ පුද්ගලයින් නොපෙනී යමක් අතගා බලන්නාක් මෙන්, නොදැන සිදුකරමින් තමන්ටත්,අනුන්ටත් අනර්ථයක්ම සිදුකරන අතර තවත් පිරිසක් මෝඩ පහේ ඇත්තන් රවටා අවස්ථාවාදීව .තමන්ගේ මඩිය තර කර ගනිති. මේවායින් සමාජයට සිදුකෙරුණු සේවයක් නම් නැත. දැන්වත් දෙනෙත් විවර කර බලා නිවැරදි දේ හඳුනා ගෙන ඇත්තට මුහුණ දී කටයුතු නොකළ හොත් අනාගතයේ ශී‍්‍ර ලංකාව යනු මෝඩ මිනිසුන් වෙසෙන දේශයක් ලෙස ලෝකයේ බුද්ධිමතුන් හඳුන්වනු ඇත.

විසි එක්වන සියවසේ ලොව පහළවන සියුම් තාක්ෂණ විද්‍යා තුළින්ද බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය දිනෙන් දින ප්‍රත්‍යක්ෂ වීමක්ම සිදුවන අතර ලොව බොහෝ විද්වත් පිරිස් බුදුදහම වැළඳ ගනිමින් එහි ඇති ගැඹූරු ආධ්‍යාත්මික හරය සොයමින් සිටි බෞද්ධ රාජ්‍යය යයි විරුදාවලි ලත් අප, ක්‍රියාත්මක කරන මිථ්‍යා දෘෂ්ටි සහගත වැඩ පිළිවෙළවල් තවදුරටත් පැවතුන හොත්, ශී‍්‍ර ලංකාව උතුම් බෞද්ධ ධර්මයෙන් පෝෂිත නොවුනු රටක් ලෙස ලොවෙහි පිළිගැනීමට යනු ඇත. මෝඩ මිනිසුන් වෙසෙන රටක් ලෙස ලෝකයේ ප්‍රචලිත වනු ඇත. සුලභව සිදුවන, මිථ්‍යා විශ්වාස සහිත සමාජයට මෙන්ම සිදු කරන්නාටද විශාල අනර්ථයක් වන, බෞද්ධ ධර්මයට කිසිසේත් නොගැළපෙන, බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරන ලද, තිරිසන් විද්‍යා ලෙස හඳුන්වන ලද, සමාජගත වැඩ කටයුතු කිහිපයකට පහසුවෙන් හඳුනා ගත හැකි උදාහරණ කිහිපයක් පහත දැක්වේ.

ඇතැම් අසනීප තත්වයන් මෙන්ම නොයෙක් කරදරකාරි තත්වයන් බොහෝ විට අඛණ්ඩව ඇතිවන්නේ අතීත පාප කර්මයන්ගේ ක්‍රියාත්මක වීම නිසා බවත්, එයට පිළියම් යෙදීම සිදුකළ යුත්තේ භාවිත කාය, භාවිත ශීල, භාවිත චිත්ත, භාවිත පඤ්ඤා ලෙස ප්‍රතිපත්ති මාර්ගයේ පිහිටා බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරය නොසලකා, බුදු වදන අභිභවා, නොයෙකුත් ගුප්ත විද්‍යා ලෙස හඳුන්වන සාස්තර ආදිය අනුව කටයුතු කිරීම, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදියෙහි යෙදීම බහිරව පූජා ආදියෙහි යෙදීම, ඒවා නොමැතිව එම ගැටලු විසදාගත නොහැකි යයි සලකා ඒ තුළින්ම විසඳුම් සෙවීමට උත්සාහ දැරීම,

යම් සුබ කටයුත්තක් කිරීමේදී, නිවැරදි කාය කර්ම, නිවැරදි වාග් කර්ම, නිවැරදි මනෝ කර්මයන්, සහිතව ආරම්භ කරන ඕනෑම මොහොතත් සුබම නැකත ලෙස දේශනා කළ උතුම් බුදු වදන අභිභවා නොයෙකුත් නැකැත් අනුව නොපෙනෙන ගුප්ත විද්‍යාවන්හි පිහිට පැතීම

වෛරයෙන් වෛරය නොසන්සිඳේ.අවෛරයෙන් එය සන්සිඳේ යන බුදුවදන අභිභවා අන් අයට වින කිරීම්, පළිගැනීම් බහුල කොට ඇති පොල් ගැසීම්, මිරිස් ඇඹරීම් හූණියම් කිරීම් ආදි පුහු, මෝඩ ගුප්ත නොහොත් වැසුනු හේතු ඵල සහිත ක්‍රියාවන්හි යෙදීම

බොහෝ පින්දහම් හි යෙදී, දෙවියන්ට පින් අනුමෝදන් කළ විට, එක් දරුවකු සිටින මවක් එම දරුවා ආරක්ෂා කරන්නේ යම් සේද, එපරිද්දෙන්ම දේව පිහිට ආරක්ෂාව සැලසෙන බව දේශීත උතුම් බුදුවදන අභිභවා දේව පූජා, පලතුරු පූජාව, දේව කන්නලව්, බහිරව පූජා ආදි විනිවිද නොපෙනෙන විද්‍යාවන්හි පිහිට පැතීම.

සියලු පූජාවන් අභිභවා ප්‍රතිපත්ති පූජා අග්‍ර වන්නේය වන උතුම් බුදුවදන අභිභවා ආමිස පූජාවන්හි පමණක් යෙදීමෙන් සිටීම, එය පමණක් වර්ණනා කිරීම, යෙදවීම

ජාති, කුල, වර්ග ආදි සම්මත කරුණුවලින් කෙනෙකු වසලයකු හෝ පහත් තැනැත්තකු හෝ නොවන්නේය. සිදුකරන ක්‍රියාවේ යහපත් ,අයහපත් බව අනුවම වන්නේය යන උතුම් බුදුවදන අභිභවා විවාහ ආදි කටයුතුවලදී පවා කුල බේද, වර්ග බේද ආදියට ප්‍රධානත්වය දී කටයුතු කිරීම.

මේ කිහිපයක් පමණි. තව බොහෝ වැරදි මත සමාජ ගත වී ඇත. වර්තමාන සමාජයෙන් මෙම නොදියුණු හීන ධීන අදහස් ටිකෙන් ටික දුරුවිය යුතුව ඇත. නමුත් සිදුවන්නේ අනෙකකි. එනම් දිනෙන් දින මිනිසුන් මෝඩපහේ ඇත්තන් බවට පත් වෙමින් සිටීමයි. මෙම කටයුතු නිසා දියුණුවන වන ලෝකයෙන් අප ප්‍රතික්ෂේප වනු ඇත. නමුත් ලොව කෙතරම් දියුණු වුවත් අප ශාස්තෘන් වහන්සේ ප්‍රතික්ෂේප වන්නේ නැත. මන්ද යත් අකාලික ධර්මයක් දේශනා කර ඇති බැවිනි. ලොවෙන් අප ප්‍රතික්ෂේප නොවන්නට නම්, අප එම උතුම් ධර්මය නිවැරදිව භාවිතා කළ යුතුය. ධර්මානුකූලව දැක්මක් සකස් කර ගත යුතුය. අධර්මය තරයේ ප්‍රතික්ෂේප කළ යුතුය.

ඉහත දක්වන ලද ආකාරයට කටයුතු කරන ඇත්තන්, එසේ කටයුතු කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිබඳ ඇති විශ්වාසය මඳ බැවිනි. ශ්‍රද්ධාව මඳ බැවිනි. දේශනාව පිළිබඳ විශ්වාසය ඇතිනම්,දේශනා කළදේ අභිභවා අන් දේවල් කිරීමට සිත නොනැමේ. ධර්මයට පටහැනිව මේ ආකාරයට කටයුතු කරන්නා, එම කරන දේවල් නිවැරදි යයි එල්බ සිටින තාක් කල් ඔහු තුළ ඇත්තේ මිථ්‍යා දෘෂ්ඨියයි. එය බුදුරජාණන් වහන්සේ දේශනා කළ සම්‍යක් දෘෂ්ටික දුක් නැති කරන මාර්ගය නොවේ. අන්‍ය මාර්ගයක් භාවිතා කරමින් සසර දුක් නැති කළ නොහැක. බෞද්ධයින් ලෙස එය බුදුරජාණන් වහන්සේට කරන මහත් අගෞරවයකි. වැරදි දේ තුළ අන් අයව සමාදන් කරවීමද පහත් පාපයකි. අපගේ ඇතැම් වැඩිහිටි මව්වරු මේ බව නොදනිති. ප්‍රාණඝාත අදත්තාදාන, කාම මිථ්‍යාචාරය ආදි වැරදිවලට අනුබල නොදෙන ඔවුන්, මෙවැනි ධර්මයට පටහැනි ඉහත සඳහන් ආකාරයේ බොහෝ දේවල්වලට අනුබල දෙති. දයාබර බෞද්ධ මව්වරුනි, ඉහත ආකාරයේ ධර්මයට අනුකූල නොවන කටයුතු වලට ඔබගේ අනුග්‍රහය ලබාදීමත් මග පෙන්වීමත් ප්‍රාණඝාත ආදියට අනුබල දෙන්නා සේම ප්‍රබල අකුශලයක් බවත්, බුදුරජණාන් වහන්සේ බෞද්ධ තම දරුවන්ට, මහා අනුකම්පාවෙන් සංසාර විශුද්ධිය උදෙසා ලබා දුන් උපදෙස් අභිභවා, තම මිථ්‍යාමතය පැතිරවීමක් බවත්, බරපතළ පාපයක් බවත්,අනුකම්පා පෙරදැරිව ඔබගේම යහපත සඳහා මතක් කර දෙන අතර මිථ්‍යා දෘෂ්ටියෙහි ඇලි ගැලී වෙසෙන එක් අයකු හෝ ඉන් ගලවා ගැනීමට උත්සාහ කරන්නේ නම් එය මහා පිනක් බවත් දැන ගත යුතුවේ. මේ සියලු මිථ්‍යාවන්ගෙන් අත මිදී තමන්ගේ නිර්වාන මාර්ගය උපදවා ගත යුතුවේ. මේ ජීවිතයේ විඳින්නට සිදුවී ඇති දුක් දෙස බලා ඉන් කලකිරී තවත් දුක් උපදවන මිථ්‍යාවන් පිටු දැකිය යුතුය. සැමට තෙරුවන් සරණ ලැබේවා.