Print this Article


ස්තූප වන්දනාව හා මහායාන බුදු දහම

ස්තූප වන්දනාව හා මහායාන බුදු දහම

මහායාන බුද්ධාගමේ ප්‍රභවය ගැන සලකන විට ස්තූප වන්දනාවට ඇති තත්ත්වය නොසලකා හැරිය නොහැකිය. සද්ධර්ම පූණ්ඩරික සූත්‍රය සහ චූල සුබාවතී ව්‍යුහ වැනි වැදගත් මහායාන සූත්‍රවල ස්තූප වන්දනාවට ප්‍රමුඛ ස්ථානයක් හිමි වී ඇත. ඊට අතිරේකව ගැලවුම්කාර බුදුවරයෙකු පිළිබඳ මහායාන සම්බන්ධයද ස්තූප වන්දනාවට සම්බන්ධ කළ හැකිය.

ථෙරවාද (නිකාය) බුද්ධාගමේ බුදුන් වහන්සේ සලකනු ලබන්නේ ධර්මය උගන්වන ආචාර්යවරයා හැටියටය. බුදුන් වහන්සේ ඉගැන්වූ ධර්මය ගැන අවධාරණය කර ඇත්තේ යමෙක් ධර්මය අනුගමනය කළහොත් එයින් ඔහුට විමුක්තිය ලද හැකි බවයි. බුදුන් උත්තරීතර මනුෂ්‍යත්වයෙන් සලකනු ලැබුවද, උන්වහන්සේට ගැලවුම්කාරයෙකුගේ හැකියාව තිබෙන බව ප්‍රකාශ කර නැත. අනික් අතින් ථෙරවාද සූත්‍රවල බුදුන් වහන්සේ වර්ණනා කරනු ලැබුවේ උන්වහන්සේ සිදු කිරීමට දුෂ්කර දෙයක් සාර්ථක ලෙස සම්පූර්ණ කළ මහා පුරුෂයාණන් ලෙසය. පෙළ දහම වැඩි සැලකිල්ල දක්වන්නේ බුදුන්ට වඩා ධර්මයටය, ඒ අනුව ප්‍රවෘජ්‍යාව සහ ශීල සංවරය කෙරෙහි අවධාරණය යෙදේ. අනික් අතින් මහායාන බුද්ධාගම මුලදී ගිහියන් හා සම්බන්ධ වූවකි. ගිහි බෝධිසත්වවරුන් සඳහා වූ ධර්මය පැරණිතම මහායාන සූත්‍රවල ප්‍රධාන තැනක් ගෙන ඇත. මහායාන බුද්ධාගම වර්ධනය වී භික්ෂූන්ට වැදගත් ස්ථානයක් දෙනු ලැබුවේ පසු කාලයේ දීය.

ගිහි මිනිසුන්ට සිල් පද දැඩි ලෙස ආරක්ෂා කිරීමට හෝ භාවනා සඳහා වැඩි කාලයක් යෙදවීමටත් එමගින් සාම්ප්‍රදායික ලෙස බෞද්ධ ඉගැන්වීම් අභ්‍යාස කිරීමටත් ඉඩකඩ අඩුය. ඒ වෙනුවට ඔවුන්ට සිදුව ඇත්තේ තම විමුක්තිය සඳහා කරුණාව කෙරෙහි පිහිට පැතීමය. පැවිදි අය බුද්ධාගම ධර්මය කෙරෙහි අවධාරණය යෙදූ අතර, ගිහි බුද්ධාගම බෞද්ධ විමුක්ති මාර්ගය කෙරෙහි අවධාරණය කෙරේ. බුදුන්ගේ ගැලවීමේ ශක්තිය පිළිබඳ ඉගැන්වීම, දක්නට ලැබෙන්නේ ගිිහි ජනයාගේ ආගමික අවශ්‍යතාවයකට ප්‍රතිචාරයක් වශයෙනි. අමිතාහ සහ අක්ෂෝභ බුදුවරුන් ගැන විශ්වාසය තුළින් පෙනී යන්නේ තමාට වඩා බලවත් යම් තැනැත්තෙකු කෙරෙහි ආරක්ෂාව පැතීමට ඇති රුචියයි. මෙම අවශ්‍යතාවය සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ ඇති ශාක්‍ය බුදුන්ගේ පහත සඳහන් ප්‍රකාශයෙන් පිළිබිඹු වෙයි. රාජ්‍යයන් තුනම සම්පූර්ණයෙන්ම ආරක්ෂා රහිතය. ඒවා ගිනිගෙන දැවෙන ගෙයක් මෙනි. දුකින් පිරී ඇත. එසේ වුවද ද ඒ රාජ්‍ය තුනම මගේය. ඒ තුළ සිටින සචේතනික සත්ත්වයන් සියල්ලෝම මගේ දරුවන්ය.”

දාර්ශනිකව ගිහි බුද්ධාගම දියුණු කිරීම සඳහා ආචාර්යවරුන්ට ශිෂ්‍යයන් හමු වී ධර්මය දේශනා කිරීමට, ඊළඟ පරපුරට එය පැතිරවීම සඳහා මධ්‍යස්ථානයක් අවශ්‍ය විය. ගිහි සමාජයත් පැවිදි සමාජයට වඩා පහත් වූ විට ඔවුන්ට භික්ෂූන්ගේ උපදෙස් ලබා ගැනීමටත්, ඒවා අනුගමනය කිරීමටත්, අනිවාර්යයෙන්ම සිද්ධ වේ. එවැනි අවස්ථාවක් යටතේ ගිහි ධර්මය පිළිබඳ ඕනෑම ස්වෛරී දියුණුවක් ලැබීම දුෂ්කරවන්නට ඇත. මේ අනුව බුදුන් අවධාරණය කරන ධර්මය ප්‍රගුණ කිරීමටත්, දියුණු කිරීමටත් මිනිසුන්ට ඉඩකඩ සැලසෙන්නාවූත්, එම සම්ප්‍රදාය තරුණ පරම්පරාව කරා පැතිරවීය. හැක්කාවූත්, භික්ෂු පරිපාලනයෙන් නිදහස් වූ මධ්‍යස්ථානයක් බිහි වන්නට ඇත. එවැනි ස්ථාන හැටියට ස්තූප උපකාරි විය.

ආරම්භයේදී ස්තූප ප්‍රධාන වශයෙන්ම ගිහියන් සඳහා ම වූ ස්ථානයන්ය. පාලි මහා පරිනිබ්බාන සුත්තයට අනුව බුදුන් පිරිනිවීමට ආසන්න වූ විට, බුදුන් ආනන්ද හිමියන්ට ප්‍රකාශ කළේ තම සිරුර පිළිබඳ ආදාහන කටයුතු භික්ෂු භික්ෂුණියන් විසින් නො කළ යුතු බවයි. අනික් අතින් භික්ෂූන් කළ යුතු වූයේ “ඉහළම යහපත සඳහා වෙහෙසීමයි” (සදත්ථ) තම මෘත ශරීරය ගැන බුදුන් කියා ඇත්තේ ගැඹුරු භක්තියක් ඇති බ්‍රාහ්මණයින් සහ වැදගත් ගිහි ජනයා තථාගත ශරීරයට අවශ්‍ය ගෞරවය පුද කරනු ඇති බවය. (ශරීර පූජා) බුදුන්ගේ පිරිනිවීමෙන් පසුව කුසිනාරාවේ මල්ලවයින් ආදාහනය සිදු කළහ. බුදුන්ගේ ධාතු බෙදා වෙන් කර ස්තූප අටක් ගිහියන් විසින් ගොඩ නගන ලදී. මේ අනුව මූලාරම්භයේදීම ස්තූපයන් ආරක්ෂා කරනු ලැබුවේ ගිහියන් විසිනි. ඒවාට පුද පූජා කළේත්, ගිහියන්ය. මහා පරිනිබ්බාණ සූත්‍රයට අනුව බුදුන් පිරිනිවීයාමෙන් පසුව ගෞරව කිරීම සඳහා බුදුන්ගේ ජීවිතය හා සම්බන්ධ ස්ථාන හතරක් ඇති බව සඳහන් වේ. චෛත්‍ය සහ වන්දනා ස්ථාන එකී සතර ස්ථානයෙහිම අදත් දක්නට ලැබේ. බුදුන්ගේ උත්පත්තිය සිදුවූ ලුම්බිණිය බුද්ධගයාවේ බුද්ධත්වය ලැබූ ස්ථානය ප්‍රථම ධර්ම දේශනය පැවැත්වූ ඉසිපතනය සහ කුසිනාරාවේ පිරිනිවන් පෑ ස්ථානය යන එම සතර සංවේගස්ථානයි. වන්දනාකරුවෝ මේ ස්ථාන දැක බලා ගැනීමට පැමිණීම ආරම්භ කළහ. මෙසේ පළමුව ගිහියන් විසින් ස්තූප වන්දනාව ආරම්භ කර, පසුව ඒවායේ ව්‍යාප්තිය හා රැකබලා ගැනීමද මූලික ග්‍රන්ථවල සඳහන් වන්නේ, භික්ෂු සමාජයට අයත් ද්‍රව්‍යයන් හා වස්තූන් සමඟ ස්තූපයන්ට අයිති එම දේපළ හා ද්‍රව්‍යයන් අතර විශේෂත්වයක් දැක්විය යුතු බවයි. ඒවා එකිනෙක හුවමාරු කර නොගත යුතුය. එකී විනය ග්‍රන්ථවලට අනුව, භික්ෂුවක් ස්තූපයකට අයත් දේපළ, ශාසනයේ ප්‍රයෝජනය සඳහා යොදා ගනු ලැබුවහොත් ඔහු සොරකම් කිරීමේ පාරාජිකා වරදට හසුවෙයි. ධර්ම ගුප්තක හා මහිංසාසක විනය කෘතීන්ට අනුව ස්තූපය නියෝජනය කරනුයේ සංඝ සමාජයේ බුදුන්ය. ස්තූපයක් සංඝාරාමයක් ඇතුළත ගොඩනැගිය හැකි වුවද, බුදුන්ට අයිති යම් යම්දේ, සංඝ සමාජයට අයිති දේවල් වලින් සුවිශේෂ කොට සැලකිය යුතුය. මේ අනුව විනය පෙන්වා දෙන්නේ සංඝ සමාජයෙන් නිදහස්ව ස්තූප පැවති බවය.

වසුමිත්‍රගේ සමයතේදෝ පරවනා චක්‍ර යන මූලාශ්‍රවලින් පෙනී යන්නේ ධර්ම ගුප්තික නිකාය ස්තූපවලට ප්‍රදානය කිරීම්වලට උනන්දු කරවා ඇත්තේ “ස්තූපවලට පුද පූජා දීමෙන් මහත් කුශලයක් අත් වන්නේය” . යන අදහස ඉදිරිපත් කිරීමෙනි. අනික් අතට මහා සාංඝික ගුරුකුලයට අයත් චෛතික අපර ශෛල, උත්තර ශෛල සහ මහීශාසක වැනි ගුරුකුලයන් ප්‍රකාශ කරන්නේ ස්තූපවලට පුද පූජා සිදු කිරීමෙන් ලැබෙන්නේ ඉතා ස්වල්ප වූ කුසලයක් පමණක් බවය. චෛතික ගුරුකුලය සම්බන්ද ශිලා ලේඛන හතරක්වත් අඩු තරමින් දකුණු ඉන්දියාවේ අමරාවතියේ හමු වී තිබේ මේ ශිලා ලේඛන සමහරවිට අමරාවතියේ මහාචේතිය හා සම්බන්ධ වූයේ විය හැකිය. අමරාවතිය තුන්වන හා හතරවන සියවස්වලට අයත් බෞද්ධ ස්තූපයකි. චෛතික ගුරුකුලය ස්තූප වන්දනා කිරීමෙන් අත්කර ගත හැකි කුසල් සුළු ඒවා බව පවසා ඇතත්, එම නිකාය සමඟ විශාල ස්තූපවල සම්බන්ධයක් ඇත.

මහා විභාෂා සහ අභිධර්මකෝෂ වැනි පසු කාලයට අයත් මූලාශ්‍රයන්ද පිළිගෙන ඇත්තේ, ස්තූපයකට පුද පූජා ප්‍රදානය කිරීමෙන් ලබන කුසල්වලට වඩා අධික ප්‍රමාණයක් සංඝ සමාජයට සත්කාර කිරීමෙන් ලබා ගත හැකි බවයි. මේ අනුව ස්තූප වන්දනාව පිළිබඳ සංඝ සමාජයන් අතර සහයෝගී සමාන අදහස් පැවතියේ නැත. ස්තූපවලට පුද සත්කාර කිරීමට බෞද්ධ බැතිමතුන් පසුබට කරවනු ලැබුවේ ස්තූප වන්දනාව සංඝ සමාජයට හඳුන්වා දෙනු ලැබුවේ සෑහෙන කාලයක් සංඝ සමාජය ස්ථාපිත කළායින් පසුව බවත්, භික්ෂූන් ස්තූප වන්දනාව බලයෙන් වර්ධනය වීම දක්නට අවශ්‍ය නුවූ දෙයක් බවත් පිළිගෙන ඇති බවත් පෙන්වමිනි. සංඝාරාමයක් සම්බන්ධව තිබුණ ස්තූපයන්ට අතිරේකව වෙනත් කිසිදු නිකාය බුද්ධාගමට අයත් ගුරුකුලයකට සම්බන්ධ නැති වෙනත් ස්තූප ද තිබුණි. ඒවා පාලනය කරනු ලැබුවේ ගිහියන් විසිනි. මෑතදී පුරාවිද්‍යාඥයන් විසින් සොයා ගන්නා ලද බොහෝ ශිලා ලිපිවලින් මේ කොටසට අයත් ඒවා ගැන පැහැදිලි වේ. ස්තූප සම්බන්ධ ශිලා ලිපි විශාල සංඛ්‍යාවක්ම ගුරුකුලයක නමක් සඳහන් නොවේ.

ස්තූප වන්දනාව හා සම්බන්ධ උත්සවවලට මල්, සුවඳ, කොඩි, ධජ, සංගීතය සහ නැටුම් ආදිය උපයෝගී කර ගත්හ. මහා පරිනිබ්බාන සූත්‍රයේ දැක්වෙන පරිදි කුසිනාරාවේ මල්ලයින් බුද්ධ දේහය, ආදාහනය කිරීමට පෙර එම දේහයට ගරු පුද සත්කාර කිරීමේ අරමුණින් සංගීතය , නැටුම් මල් හා සුවඳ උපයෝගී කරගත් බව සවිස්තරව සඳහන් වේ. භික්ෂු ජීවිතයක් ගත කරන්නවුන්ට එවැනි චාරිත්‍රවලදී,නැටුම් හා සංගීතය උපයෝගී කර ගැනීම තහනම් කර තිබේ. සාමණේරවරුන්ට, භික්ෂූන්ට හා භික්ෂුණීන් සඳහා ඇති සිල්පදවල එවැනි දේ ආස්වාදය කිරීම පැහැදිලිවම තහනම් කර ඇත. ලෝකෝත්තරත්වය සම්බන්ධ කටයුතු කරන භික්ෂු ජීවිතයකට සංගීතය, නැටුම්, නාට්‍ය වැනි අනිකුත් කලාවන් ප්‍රතිවිරුද්ධය. බෞද්ධ ආශ්‍රමවල එවැනි කලාවන් වැඩිදියුණු විය නොහැක. නමුත් ස්තූප වන්දනාව වටා එය දියුණුවට පත් වී පසුව මහායාන බුද්ධාගම මගින් වැඩිදියුණු කරගනු ලැබීය. මේ සංගීතය හා නාට්‍යය සම්ප්‍රදාය මහායාන බුද්ධාගමත් සමග චීනයට පැතිරී ගොස් එතැනින් ජපානයේ ගිහකු (ට්ඪඩචඬභ) හැටියට දියුණු විය.

ස්තූප වන්දනාවට ආගමික මෙන්ම සමාජීය විස්තෘත්වයක් ඇත. එය බුද්ධ පරිනිර්වාණයත් සමඟ ආරම්භ වේ. එම බැතිමතුන් මගින් ස්තූප වන්දනාව ව්‍යාප්තවීමට පටන් ගත්තේය.විවිධ ස්ථානවල ගොඩනගන ලද ස්තූපයන් බැතිමතුන් හා වන්දනාකරුවන් ගෙන් පිරී ගියහ. ස්තූපයක් ගොඩනැගීම සඳහා පුද්ගලයන් විසින් ඉඩමක් ලබාදිය යුතුය. ආගමික කාර්යයක් සඳහා ඉඩමක් දෙනු ලැබූ පසු එය විශේෂ පුද්ගලයෙකුට හිමි වන්නේ නැත. ස්තූපයට අමතරව වන්දනාකරුවන් සඳහා විශ්‍රාම ශාලා, ළිං, නාන පොකුණු එම ඉඩමේම තැනිය යුතු විය.මේවා ස්තූපයට අයත් දේපළ වෙයි. ස්තූපය, ප්‍රදක්ෂිණා කරමින් වන්දනා කිරීම සඳහා ස්තූපය වටා ප්‍රදක්ෂිණා පථ ඉදිකළ යුතු විය. ප්‍රදේශය ගේට්ටු සහිත තාප්පයකින් ආරක්ෂා කරනු ලැබේ. තාප්පය හා ගේට්ටු බුදුන්ගේ ජීවන චරිතයේ සිද්ධින්ගෙන් හා බුදුන්ගේ ආදි ජීවිතවල කරන ලද උතුම් චර්යාවන් හෙවත් යහපත් ක්‍රියාවන් හා හොඳ වැඩ පිළිබඳ සිද්ධීන් විදහා දක්වන කැටයම්වලින් අලංකාර කරන ලදී. ජාතක කතාන්තර සහ බුද්ධ චරිතය ස්තූපය අසල නැවතී සිටින වන්දනාකරුවන්ට, ඒ පිළිබද විශේෂඥයන් විසින් එය සමහරවිට විස්තර කර දෙන්නට ඇත. වන්දනාකරුවන්ගේ නවාතැන් කළමනාකරුවන්ට ද එසේ විස්තර කරන්නට ඇත. ඒ අනුව ස්තූප වන්දනාව ඇසුරු කොටගත් ආගමික පරිපාටියක් සැකසිණ.

ස්තූපවලට දේපළ තිබුණ නිසා ඒවායේ කළමනාකරණය සඳහා ගිහියන් ඉදිරිපත් වූහ. වන්දනාකරුවන් හා බැතිමතුන් ස්තූපයට රත්‍රන්, රිදී , මල්, සුවඳ සහ ආහාර දෙන්නට ඇත. එම ආහාර බුදුන්ට පුදනු ලැබූ ඒවා වුවද, ඒවා එම ස්තූපයට සැලකිලි දැක්වූවෝ භාරගෙන ප්‍රයොජනයට ගන්නට ඇත. මේ මිනිසුන් සාමාන්‍ය ගිහි බැතිමතුන්ට වඩා බොහෝ දුරට වෙනස් වූහ. ඔවුහු ගිහියන් හෝ පැවිද්දන් නොවු ආගමික විශේෂඥ කොටසක් වූහ. පැවිදි සමාජයට අයත් සාමාජිකයෝ ද නොවූහ. මේ ආගමික විශේෂඥයෝ ශාක්‍යමුනි බුද්ධ චරිතය හා ජාතක කතා ගැන නැවත පැහැදිලි කර දුන්හ. ඔවුහු ශාක්‍යමුනී බුදුන්ගේ අතීත ජීවිතවල ආගමික අභ්‍යාසයන් බෝධිසත්ව අභ්‍යාස හැටියට උසස් ලෙස වර්ණනා කරමින් එම කරුණම එහි ශ්‍රේෂ්ඨත්වය වර්ණනා කළහ. ඔවුන් ක්‍රමයෙන් එම ඉගැන්වීම් තවත් ඉදිරියට ගෙන ගියේ අන්‍යයන් ගලවා ගැනීමට බුදුන්ගේ බලය ඇති බව පෙන්වා දෙමිනි. මේ ආකාරයෙන් තව තවත් අනුගාමිකයන් ස්තූප කරා ඇදගත්හ.

බුදුන්ගේ දර්ශනය සිත් හී මවා ගනිමින් කරන භාවනාව කරා මේ ස්තූප වන්දනාව ඇදී ගියා විය හැකිය. අදත් ටිබෙට් වන්දනාකරුවන් බුද්ධගයාවේ ස්තූප ඉදිරිපිට වාර සිය ගණනක් මුණින් දිගා වී සිටින අයුරු දැක ගත හැකිය. අතීතයේදී මිනිසුන් එවැනි අභ්‍යාසයන් නැවත නැවතත් සිදු කරන ලද්දේ දැඩි ලෙස බුදුන් ගැන සිතමිනි. ඔවුන් බුදුන් ඉදිරියේ පෙනී සිටිනු දකින සමාධියකට වැටෙන්නට ඇත. සමහර මහායාන ග්‍රන්ථවල විස්තර කරනු ලබන ප්‍රත්‍යුත්පන්න සමාධියට මෙය සමාන වන්නට ඇත. ඒ අනුව බුදුන් සිත්හි මවා ගනිමින් කරන භාවනාව ආරම්භ වන්නට ඇත්තේ ස්තූපවල බුදුන්ට වන්දනා කිරීමේ අභ්‍යාසයන් තුළින් විය හැකිය. එවැනි ආගමික අභ්‍යාසයන් තමන් බෝධිසත්වයන් යයි විශ්වාස කිරීම පටන්ගත් මිනිසුන් තුළ ඇති විය.

මේ ස්තූප පිහිටුවනු ලැබීමෙන් ඒවා වටා දේපළ එකතුවීමත් නිසා ආගම පිළිබඳ විශේෂ කණ්ඩායමකට ස්තූප වටා පදිංචිවීමට හේතු විය. එම මිනිසුන් සංවිධානයක් සකස් කර, බුදුන් සතුව ඇති ගැලවීමේ බලය සම්බන්ධ දර්ශනයක් දියුණු කළෝය. බොහෝ මහායාන ග්‍රන්ථවල ස්තූප වන්දනාව ගැන සඳහන් කර ඇති අයුරින් පෙනී යන්නේ මෙම සංවිධානවල මූලික කටයුතු මහායාන බුද්ධාගමේ ඇතිවීමය. සමහරක් මහායාන ග්‍රන්ථවල බෝධිසත්ව ගුණ සඳහන් කර ඇත්තේ නිකාය බුද්ධාගමේ සංඝයාගෙන් ‘බෝධිසත්ව ගුණ” වල ආරම්භය සිදුවන්ට ඇත්තේ මේ ස්තූපවල අභ්‍යාසයන් හි යෙදුණ කණ්ඩායම් තුළ විය හැකිය. කෙසේ වුවද ප්‍රඥා පාරමිතා ග්‍රන්ථවල ආරම්භය වෙනත් අංශවලින් සෙවිය යුතුය.