Print this Article


පැනසිහ සිසු දිරි ශිෂ්‍යත්ව ප්‍රදානය

පැනසිහ සිසු දිරි ශිෂ්‍යත්ව ප්‍රදානය

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනස්ථ තරුණ සීල සමාදානයේ තවත් ප්‍රජා සත්කාරයක් වශයෙන් බක් පුන් පොහෝ දින බදුල්ල පස්සර ප්‍රදේශයේ පාසල් සිසුන් 25 දෙනෙකු උදෙසා පැනසිහ සිසු දිරි ශිෂ්‍යත්වය ප්‍රදානය කිරීමට කටයුතු යොදා ඇත. අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහානායක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද මහා නාහිමියන්ගේ මූලිකත්වයෙන් එම සද් ක්‍රියාවට මුල පිරෙයි.

අපවත්වී වදාළ අතිපූජ්‍ය අග්ගමහාපණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ උත්තරීතර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ප්‍රකාශිත "මිනිහා නොහදා රට හදන්න බැහැ මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු" යන සංකල්පය අර්ථවත් කරමින් උන්වහන්සේගේ ගුණානුස්මරණය කිරීම සඳහා එම වැඩසටහන දියත්වේ. එම වැඩසටහන සඳහා සිසු දරු දැරියන් තෝරා ගන්නේ දිනපතා පාසලේ ද්විතීය අධ්‍යාපනය ලබන දූ පුතුන් ය. එහිලා විශේෂ අවධානය යොමු කරනු ලබන්නේ ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන එහෙත් ඉගෙනුමට දක්ෂතා ඇති දරුවන් කෙරෙහිය.