Print this Article


මතුගම බටමුල්ලකන්දේ ඉදිවූ බුද්ධ ප්‍රතිමා වහන්සේ

ජගත් පින්නගොඩ විතානගේ ධන පරිත්‍යාගයෙන්:

මතුගම බටමුල්ලකන්දේ ඉදිවූ බුද්ධ ප්‍රතිමා වහන්සේ

ලොව මෙතෙක් පහළ වූ මහා ප්‍රඥාවෙන් යුතු ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයාණන් වන්නේ බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේ සියලු ලෝක සත්වයා වෙත පතළ කරුණාව අපිරිමිතය. එසේම උන්වහන්සේගේ මහේශාක්‍ය ලීලාවට සමකළ හැකි වෙනත් ශාස්තෘවරයෙක් නොමැත්තේ ය. මේ සියලු ගුණාංග පිළිබිඹු වන සේ කලාවැව ඉස්මත්තේ ස්ථාපිත කළ අවුකන පිළිම වහන්සේ දුටු හැමදෙනාගේම සිත සුවපත් වන්නේ ය. බැතිබර වන්නේ ය. ශ්‍රද්ධාවෙන් පිරී ඉතිරෙන්නේ ය.

කලාවැව පිස එන සිසිල් සුළං පොද ගත සිත නිවාලද්දී අවුකන පිළිම වහන්සේ වරක් නොව කීපවාරයක් වැඳ පුදාගන්නා ජගත් ඉන්වෙස්ට්මන්ට් අධිපති ජගත් පින්නගොඩ විතානගේ මහතාටත් සිත්හි මහත් වූ කුසල් පින්කමක් දලුලා වැඩෙන්නේ ය. ‘මම කවදා හෝ අවුකන පිළිම වහන්සේට සමාන පිළිමයක් සෑදිය යුතු ය. එය බෞද්ධ බැතිමතුන් ඇතුළු සියලු බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වන අයුරින් නිර්මාණය කළ යුතු ය. අප සිත් තුළ ජීවමානව වැඩවසන බුදුරජාණන් වහන්සේගේ ගතිසොබා පිළිබිඹු වන අයුරින් එය නිර්මාණය කළ යුතු ය.

මේ සියලු කාරණා කලක් තිස්සේ සිත්හි තබාගෙන ජගත් විතානගේ මහතා අවුකන පිළිම වහන්සේගේ අනුරුවක් ඉදිකළ යුතු ස්ථානයක් තම උපන් ගම වන මතුගම ප්‍රදේශයෙන් සොයන්නේ ය. ඒ සඳහා කීප ස්ථානයක් ම නිරීක්ෂණය කළ ජගත් විතානගේ මහතාට අවසානයේ දී මේ උතුම් කටයුත්තට සුදුසු ම ස්ථානය හමුවන්නේ ය. ඒ මතුගම බටමුල්ලකන්ද බෞද්ධ මධ්‍යස්ථානය පිහිටි භූමියයි.


ජගත් පින්නගොඩ විතාන

“අනුරාධපුරයේ ගොස් අවුකන පිළිම වහන්සේ වැඳ පුදාගත් හැම අවස්ථාවකවදී මෙහි අනුරුවක් හදන්න සිතන කියන පින් සිතුවිල්ල පහළ වුණා. මම ඒ සඳහා සුදුසු ස්ථානයක් සොයමින් සිටින අවස්ථාවක තමයි මතුගම බටුමුල්ලකන්ද බෞද්ධ මධ්‍යස්ථානය පිහිටි භූමිය මාගේ නෙත ගැටෙන්නේ. එම බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති මතුගම මහානාම හාමුදුරුවන්ට මම මගේ අදහස කිව්වාම උන්වහන්සේ දෙවරක් නොසිතාම ඒ සඳහා අවසර ලබාදුන්නා. ඒ පිළිබඳව මම උන්වහන්සේට නමස්කාර පූර්වකව ස්තුතිය පළ කරනවා යැයි ජගත් විතානගේ මහතා පවසයි.

ජගත් විතානගේ මහතාගේ සංකල්පයක් අනුව මතුගම බටමුල්ලකන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිවෙන අවුකන පිළිම වහන්සේගේ උස අඩි 135 කි. ජගත් පින්නගොඩ විතාන මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදිවන එම පිළිමවහන්සේ දකුණු ආසියාවේ උසින්ම වැඩ සිටි පිළිමය ලෙස ඉතිහාස ගත වනු ඇත. මෙම පිළිම වහන්සේ නිර්මාණය කිරීමේ කටයුතු මීට වසර තුනකට පෙර හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ පූර්ණ අධීක්ෂණය යටතේ නිර්මාණය කෙරෙන මෙම පිළිම වහන්සේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින අතර ලබන අප්‍රේල් 23 වැනි දා එය බැතිමතුන්ටත් වැඳපුදා ගැනීම සඳහා විවෘත කෙරෙනු ඇත.

පස්යොදුන් කෝරළයට, ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු දකුණු ආසියාවට ම එකසේ වැදගත් වන මෙම ශ්‍රේෂ්ඨ නිර්මාණය කිසිම ව්‍යාපාරික අරමුණක් සඳහා යොදා ගැනීමට ඉඩ නොදෙන බව ජගත් පින්නගොඩ විතාන මහතා පවසයි.

“මම ඇති තරම් මුදල් හම්බ කරලා තියෙනවා. ලෞකික ජීවිතයේ දී ලැබිය යුතු සැප සම්පත් සියල්ල ලබලා තියෙනවා. මම මේ ස්ථානය සම්පූර්ණයෙන්ම ගොඩනගන්නේ ව්‍යාපාරික අරමුණකින් තොරවයි. මෙම පිළිම වහන්සේ උපයෝගි කරගෙන කාටවත් මුදල් හම්බ කරන්න දෙන්නේ නැහැ. මෙම පිළිම වහන්සේ ජනතාවට වැඳපුදා ගැනීමට අවස්ථාව ලබාදීමෙන් පසුව එහි කටයුතු කරගෙන යෑමට භාරකාර මණ්ඩලයක් පත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. බුද්ධ ප්‍රතිමාව විවෘත කිරීමෙන් පසුව භාවනා මධ්‍යස්ථානයක් සහිත පුදබිමක් බවට මෙම ස්ථානය පත්කිරීමයි මගේ එකම අපේක්ෂාව යැයි ද ජගත් පින්නගොඩ විතානගේ මහතා පවසයි.

ජගත් පින්නගොඩ විතානගේ මහතා වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකි. ඔහු දේශපාලනය ද කරයි. එක්සත් ජාතික පක්ෂයේ මතුගම ප්‍රධාන සංවිධායකවරයා වන්නේ ද ඔහු ය. තම වෘත්තීමය ජීවිතයෙන් හෝ දේශපාලන ජීවතයෙන් ලද නොහැකි නිරාමිස පී‍්‍රතියක් මේ උතුම් කටයුත්තට සිත් පහළ වූ දවසේ සිට තමන් ලබන බව ජගත් විතානගේ මහතා පවසයි. බටුමුල්ලකන්දේ බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිවෙන අවුකන පිළිම වහන්සේගේ අනුරුවට ධාතු නිදානෝත්සවය පසුගිය වසරේ ( 2015) ජූලි මාසයේ 31වැනි දින පෙරවරු 10.00ට යෙදුණු සුබ මොහොතින් සිදු කෙරුණේ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙනි. එහිදී අනුශාසනාවක් කරමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ විතානගේ මහතා කරන මෙම කටයුත්ත ඉතාමත් අගනා ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් බවයි. එය ජීවමාන බුදුන් දුටුවා වැනි උතුම් ක්‍රියාවක් යැයි උන්වහන්සේ වැඩිදුරටත් එහිදී පෙන්වා දුන්හ.

මෙම අගනා විශිෂ්ට නිර්මාණ කටයුත්ත කිරීමට දේශීය ශිල්පියකු කෙරෙහි විශ්වාසය තැබීම ගැන ද ජගත් පින්නගොඩ විතාන මහතාට අපේ ප්‍රණාමය හිමිවිය යුතු ය. අපේ රටේ වෙහෙර විහාරස්ථාන රැසක නිර්මාණ කටයුතුවලට දායක වුණු ලාල් නමැති ශිල්පියා තමන්ට ලැබුණු අභියෝගය මැනවින් ජයගෙන ඇති බව මතුගම බටමුල්ලකන්දේ ඉදිවෙන අවුකන පිළිමය නිරීක්ෂණය කළ අපට දැක ගත හැකි විය. මේ ඔහුගේ හඬයි “මම වෙහෙර විහාරස්ථාන රැසක නිර්මාණවලට දායක වෙලා තියෙනවා. නමුත් මේ විශාල අභියෝගාත්මක අතිශය නිර්මාණශීලී කටයුත්තකට මම දායක වුණේ මුල්ම වතාවටයි. මෙම පිළිමය ඉදිකිරීමට පෙර අප ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට භාරහාර වුණා. මේ උතුම් කටයුත්ත ඉතාමත් සාර්ථකව කරගෙන යෑමට ආශිර්වාද ලබාදෙන්න කියලා. කියන්න සතුටුයි අප ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අනුහසින් මෙම පිළිමයේ නිර්මාණ කටයුතු ඉතාමත් සාර්ථකව නිමාකරන්න හැකිවෙලා තියෙනවා. ජගත් මහතා මට උපදෙස් දුන්නේ අපූරු ආකාරයට, ඔහු කිව්වා අප සෑම කෙනෙක්ගේ සිත්හි බුදුරජාණන් වහන්සේ කෙනෙක් වැඩ සිටිනවා. එය ජීවමාන වන අයුරින් මෙම නිර්මාණය කරන්න කියලා. මම ඒ අනුව කටයුතු කළා. ජගත් මහතා තෘප්තිමත්. මට ඒ ගැන සතුටුයි.

මේසා විශාල පිළිම වහන්සේ නමක් නිර්මාණය කිරීමේ දී එය විවෘත කිරීමට ආවරණය කරගෙන එම කටයුත්ත සිදුකිරීම සුලබ දෙයකි. නමුත් ජගත් විතාන මහතාගේ සිතිවිලි ඊට වඩා වෙනස් ය.

“බොහෝ දෙනෙක් කිව්වා පිළිමය හදද්දී ආවරණය කරන්න කියලා. මම හිතන්නේ එය හිස් අදහසක්. දවසින් දවස මෙම පිළිම වහන්සේ නිර්මාණ වන ආකාරය දකින ජනතාවගේ සිතේ ඒ කෙරේ ආකර්ෂණය වන බවයි මම හිතන්නේ. ඒ නිසාම පිළිමය නිර්මාණය වෙද්දී කිසිම ආවරණයක් යොදන්න එපා කියලා මම උපදෙස් දුන්නා” යැයි ජගත් විතාන මහතා පවසයි.

පස්යොදුන් කෝරළය යනු ඓතිහාසික වශයෙන් වඩා වැදගත් පූජනීය පුදබිම් ගණනාවකට උරුමකම් කියන ප්‍රදේශයකි. ජගත් විතාන මහතාගේ සංකල්පයක් අනුව බටමුල්ලකන්දේ ඉදිවෙන අවුකන බුදුපිළිමයේ අනුරුව මෙම පූජනීය භූමියේ වටිනාකම තව තවත් වැඩිවෙනු ඇත. මන්ද මෙම නිර්මාණය වූයේ දකුණු ආසියාවේ උස ම විශාලතම හිටි පිළිමය නිසාවෙනි. එනිසාම මෙම පින්බිම හෙට අප රටේ පමණක් නොව විදෙස් බැතිමතුන්ගේ ද වන්දනාමානයට ලක්වනු ඇත. අප රටේ ශාසනික අභිවෘද්ධිය උදෙසා මේසා විශාල පින්කමක් සිදුකර ගැනීම නිසා ජගත් පින්නගොඩ මහතාට මෙලොවදී අධ්‍යාත්මික වශයෙන් ලැබිය හැකි ඉහළ ම ආත්ම තෘප්තිය උදාකර ගැනීමට හැකි වනු ඇත. ශාසනික ආගමික උන්නතිය උදෙසා ජගත් පින්නගොඩ විතානගේ මහතාගේ සංකල්පයක් අනුව නිර්මාණය වූ අවුකන පිළිම වහන්සේගේ අනුරුව නිසා පස්යොදුන් කෝරළයේ හෙට දින පටන් ඒකාලෝකයක් වනු ඇත. එය අප රටේ පමණක් නොව විදෙස් සංචාරකයන්ගේ ද නෙත් සිත් ඇදගන්නා පින්බිමක් වනු නොඅනුමානය.

මෙම ප්‍රතිමාවහන්සේට ප්‍රථම පුෂ්ප පූජාව ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානාහිමි, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ මැති ඇමතිවරු විසින් මෙම මස 23 වනදා පෙරවරුවේ සිදුකිරීමට නියමිතය.