Print this Article


අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අභිනව මහා නාහිමි පදවි ලද වරකාගොඩ ඥානරතන මහා නා හිමි

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අභිනව මහා නාහිමි පදවි ලද වරකාගොඩ ඥානරතන මහා නා හිමි

උපසම්පන්න භික්ෂූන්වහන්සේ නොමැතිව ලක්දිව සඟ සසුන පරිහානියට පත්ව තිබියදී සියම් දේශයෙන් මෙරටට උපසම්පදාව ගෙන ඒමට වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ හිමියෝ කටයුතු කළේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ පූර්ණ අනුග්‍රහය ඇතිවය. ඒ තුළින් මිලානව පැවති සම්බුදු සසුනට නව ජීවයක් ලැබිණි. සියම් දේශයෙන් උපසම්පදාව ගෙන ඒම නිසා සියම් මහා නිකාය නමින් මල්වතු අස්ගිරි මහා විහාර සඳහා ව්‍යවහාර කිරීම ආරම්භ වූ අතර අස්ගිරි පාර්ශ්වයේ ප්‍රථම මහා නාහිමියන් වූයේ උරුලෑවත්තේ ධම්මසිද්ධි නාහිමියන්ය. එතැන් පටන් ආරම්භ වූ අස්ගිරි මහා පදවිය මේවන විට යතිවරයාණන් වහන්සේ 22 නමක් විසින් දරා ඇත්තේ වසර 263 ක කාලයක් තුළය. ඊට අභිනවයෙන් පත්වූයේ අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥානරතනාභිධාන මහා නාහිමියෝය. අස්ගිරි පාර්ශ්වයෙන් උරුලෑවත්තේ, ඉඳවලුගොඩ, දැඹව හා රඹුක්වැල්ලේ යන හිමිවරුන් ප්‍රමුඛ විසිඑක් නමක් මුලින්ම උපසම්පදාව ලද අතර එය මූලික කරගනිමින් උරුලෑවත්තේ, ඉඳවලුගොඩ හා පොතුහැර ලෙස සංඝ පරම්පරා තුනක් අදවනවිට ක්‍රියාත්මක වෙයි.

අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී මහා නාහිමියෝ උරුලෑවත්ත සඟ පරපුර නියෝජනය කළ අතර, උන්වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ මහ පදවියට පත් වූ ඥානරතන මහ නාහිමියෝ ද එම සඟ පරපුරටම අයත්වීම සුවිශේෂය. මේ අනුව උරුලෑවත්තේ ධම්මසිද්ධි මහ නාහිමියන්ගෙන් ඇරඹි උරුලෑවත්තේ සඟ පරපුරේ 10 වන මහ නාහිමියන් වන්නේ ඥානරතන හිමියෝය. අස්ගිරි මහ විහාරීය සංඝයා වහන්සේට නායකත්වය දෙමින් ජාතික, ආගමික හා ශාසනික වශයෙන් සුවිශේෂී මෙහෙවරක් කළ මහා නාහිමිවරු අතරට එක්වූ ඥානරතන නාහිමියෝ සුපේශල ශික්ෂාකාමී මහතෙර නමකි. 1942 මාර්තු මස 18 දින හාරිස්පත්තුව වරකාගොඩ දුල්දෙණිය රාජකරුණා නවරත්න අතපත්තු වාසල මුදියන්සේලාගේ මුදියන්සේ සහ හිඟුල්වල අලකොලදෙණියේ දුක්ගන්නාරාළලාගේ පිංචි අම්මා යන දෙපළට දාව එම පවුලේ තෙවැනි දරුවා ලෙස උපන් මහා නාහිමියෝ වයස අවුරුදු 13 සම්පූර්ණව තිබියදී 1955 අප්‍රේල් මස 07 දින අස්ගිරි මහා විහාරීය මංගල උපෝෂථාගාරයේදී උතුම් පැවිදි දිවියට පිවිසියහ. උන්වහන්සේ මහා නායක පදවියට විංසත්වර්ගික කාරක සංඝ සභික හිමිවරුන්ගේ සමානච්ඡන්දයෙන් පත්වූයේ ද පැවිදි දිවියට එළඹි අප්‍රේල් 07 දාවකම වීම විශේෂය.

ඉන් සත් වසරකට පසු 1962 වසරේ ජූනි මස 09 දින අස්ගිරි මංගල උපෝෂථාගාරයේදී අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටවනු ලැබූහ.

1970 දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලත් මහ නාහිමියෝ ධර්ම ශාස්ත්‍ර අධ්‍යාපනයෙන් පෝෂිතව විනීත, සුපේශල ශික්ෂාකාමී භික්ෂූන්වහන්සේ නමක් ලෙස ශිෂ්‍ය අවධියේ පටන්ම ගිහි පැවිදි සැමගේ නොමඳ ගෞරවාදරයට පාත්‍රවූහ. බදුල්ල විද්‍යෝත්තංස පිරිවෙනින් හා වත්තේගම ශ්‍රී ධර්මදීප පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලද නාහිමියෝ අස්ගිරි මහ විහාරීය පිරිවෙනින් හා පේරාදෙණිය ශ්‍රී සාරානන්ද මහා පිරිවෙනිින් උසස් අධ්‍යාපන කටයුතු සිදුකළහ. සිංහල, පාලි හා සංස්කෘත භාෂාවන් පිළිබඳ පුළුල් දැනුමක් මහා නාහිමියන් සතුය. 1970 දී ඥානරතන හිමියෝ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය හිමිකැරගත්හ. වසර 25 ක් පමණ දිවයිනේ ප්‍රදේශ රැසක දූදරුවන්ගේ නුවණැස පාදමින් ගුරු වෘත්තියේ නිරතවූ උන්වහන්සේ දළදා වහන්සේ උදෙසා සිදුකරන්නා වූ තේවා කටයුතු වෙනුවෙන් 1976 වසරේ සිට සම්බන්ධව ඇත. මහනුවර විද්‍යාර්ථ, කොත්මලේ මඩකුඹුර, වලල පාතදුම්බර හා පොල්ගොල්ලවත්ත විද්‍යාලයන්හි සේවය කරමින් උන්වහන්සේ දස දහස් සංඛ්‍යාත දූ දරුවන්ගේ නැණස පෑදීමට කටයුතු කර තිබේ. අස්ගිරි පාර්ශ්වයේ හිටපු මහා නායක අතිපූජ්‍ය පලීපාන චන්දානන්ද මහා නාහිමියන් විසින් ඥානරතන හිමියන් 1990 දී විංසත්වර්ගික කාරක සංඝ සභාවට, පත්කරනු ලැබූහ. වසර 2006 දී කාරක සංඝ සභාවේ උපාධ්‍යාය පදවියට පත් උන්වහන්සේ විංසත්වර්ගික කාරක සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝසභික තනතුරට පත්වූයේ වසර 2009 දීය. වසර 2015 මැයි මස 25 දින අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ අනුනායක පදවියට පත් ඥානරතන හිමියෝ බදුලු මුතියංගණ රජමහා විහාරය ඇතුළු විහාරස්ථාන කිහිපයක විහාරාධිපති ධුරයන් හොබවන මහ නාහිමියෝ සඟ සසුනේ උන්නතිය වෙනුවෙන් උතුම් වූ සිසු පිරිසක්ද බිහිකළ උතුම් වූ සංඝ පීතෘවරයාණන් වහන්සේ නමකි.