Print this Article


අසිරිමත් ධාතු පුරාණය 23 කොටස : අනුහස් පානා සර්වඥ ධාතුන් වහන්සේ වැඩ සිටිනා වෙල්ගම් වෙහෙර සෑ රජුන්

අනුහස් පානා සර්වඥ ධාතුන් වහන්සේ වැඩ සිටිනා වෙල්ගම් වෙහෙර සෑ රජුන්

වෙල්ගම් වෙහෙරේ වැඩ සිටි උතුම් සෑ රජුන්ගේ ප්‍රාතිහාර්ය ගැන නොයෙක් කතා ඒ අවට ජීවත්වන අන්‍යාගමිකයන් පවා ප්‍රකාශ කරති. මේ භූමිය සුරක්ෂිතව සෑ රජුන් නිරුපද්‍රිතව වැඩ සිටීම අපටනම් ප්‍රතිහාර්යයකි. රජයේ අනුමැතිය ඇතිව වෙල්ගම් වෙහෙර විල් ඉවුරේ සෑ රජුන්ගේ කැණීම් කටයුතු ආරම්භ විය. ඒ සියල්ල කඩිනම් අවසන් වූයේ ධාතුන් වහන්සේගේම ප්‍රාතිහාර්යයක් නිසා නොවේද

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වෙල්ගම් වෙහෙර සෑ රජුන් වැඩ සිටින මේ ප්‍රදේශයට අතීතයේ භාවිතා වූ නාමය කොටියාරම් පත්තුවයි. කෝටියක් ආරාම, වෙහෙර විහාර උතුරට වෙන්න මේ ප්‍රදේශයේ විහිදී පැතිරී තිබුණි.

ගෞතම අපගේ භාග්‍යවත් මුනිඳුන්ගේ ජීවමාන කේෂ ධාතුන් වහන්සේ විරාජමානව වැඩ සිටින්නේ තිරියාය මහා සෑ රජුන් තුළයි. ත්‍රිකුණාමල ප්‍රදේශයේ පිහිටි ඒ උතුම් සෑ රජුන් අද නටබුන් වෙමින් පවතී. කොටියාරම් පත්තුවේම ත්‍රිකුණාමලයට ආසන්න විල්ගම් වෙහෙර නමින් රජමහා විහාරයක් තිබේ. ත්‍රස්තවාදී සමයේ එල්ල වූ ආටි බෝම්බයක් උතුම් බෝ රජුන් තුළ සිරව නො පිපිරී පැවතුන හාස්කම පිළිබඳව අප දනිති. ඉතා පැරණි වෙහෙර විහාර නටබුන් හා පෞරාණික ප්‍රතිමා සහිතව පැරණි අතීතයක් පොළොවේ සඟවා තබාගෙන සිටින එම විහාරය විල්ගම් වෙහෙරයි. ඵලරූහ බෝධින් වහන්සේ නිසා අතීතයේ ඒ බිම පූජනීය වුණි. ඒත් දැන් අප කථා කරන්නේ විල්ගම් වෙහෙර ගැන නොවේ. වෙල්ගම් වෙහෙර පිළිබඳවයි. මේ රාජමහා විහාරය බොහෝ දෙනෙකුගේ මතකයෙන් පමණක් නොව වංශකතාවල පවා අහුමුළු ගැන්වුන විහාරයකි.

වෙල්ගම් වෙහෙරේ සැඟවුන අතීතය

සේරුවිලට උතුරින් තොප්පුර් ලෙස අද හැඳින්වෙන ප්‍රදේශයේයි වෙල්ගම් වෙහෙර සෑ රජුන් වැඩ සිටිනුයේ්. තොප්පූර් පැරණි ස්තූප + පුර – තූප + පුර තොප්පූර් ලෙස ප්‍රසිද්ධ වී ඇති බව ඇතැමුන් පවසති. ඒ ළඟම මුත්තූර් නගරය තිබේ. ද්‍රෝණයක් ධාතුන් වහන්සේ තැන්පත් ස්වර්ණමාලි මහා ස්තූපයට මුතු ලැබුණ ‘මුතු පුරය’ අද මුත්තූර් වී ඇත. පෙරදී මේ නගරය “සෝම නුවර”යි. ගැමුණු කුමාරයා හා ගිරිඅභා අතර ඇති වූ ජාතිවිවාදය හේතු කොට උතුරේ සිව රජුගේ රාජධානියට ගිරිඅභා රජු පැමිනුණි. ගිරිඅභා රජුගේ බිසව සෝමා දේවිය යි. ඇය නමින් නුවරක් සෝමනුවර ලෙස නම් කොට තිබුණි. දේවියගේ අවශ්‍යතාවයට ඒ ප්‍රදේශයේ තිබුණ විශාල විලක් සමීපයේ ගිරි අබා රජු විහාරයක් තනවා සෝම විහාරය කියා නම් කෙරිණ. මහාදේව තෙරුන්ගේ ශිෂ්‍ය මහින්ද නම් රහතන් වහන්සේ මුල් වී මේ විහාරයේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේ නිධන් කොට මහා ස්තූපක් කර වූ බව සඳහන් වේ. අද ඒ විහාරය වෙල්ගම් වෙහෙර යි. පාලි ධාතුවංශය, සිංහල ධාතුවංශය ජිනකාල මාලිනිය යන පොත් වහන්සේලා තුළ මේ ගැන සැලකිය යුතු විස්තරයක් තිබේ. තමාගේ P H D උපාධියට පාලි ධාතුවංශය විවරණය කරන මහාචාර්ය එම්.ඩබ්. විමල් විජේරත්න මහතා 70 දශකයේ වෙල්ගම් වෙහෙර ගැන පර්යේෂණ කර තිබේ. කෙසේ නමුත් එතුමා පර්යේෂණ සඳහා පැමිණෙන විට පැරණි නටබුන් විශාල ප්‍රමාණයක් හා පදලස් ගල් හමු වී ඇත. අද ඒවා සොයා ගැනීමට පවා අපහසු ය. සේරුවිල සිට තොප්පූර් හෝ මුත්තූර් යන පාරේ සැතපුම් 2 ක් පමණ ගිය තැන වෙල්ගම් වෙහෙර සෑ රජුන් හමුවේ.

වෙල්ගම් වෙහෙරේ ධාතුන් වහන්සේගේ අනුහස්

මාගේ ගුරුදේවෝත්තමයන් වහන්සේ දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර මහානායක හිමියන් වහන්සේ වයස අවුරුදු 28 දී සේරුවිල සොයාගෙන ගොස් වනයෙන් වසාගෙන තිබූ ගරා වැටුන මහා සෑය දෙමෝ දහසක් දෙනාට වන්දනා කරන ආකාරයෙන් ප්‍රතිසංස්කරණය කරන ලදී. සේරුවිල ආසන්නයේ වූ මේ වෙල්ගම් වෙහෙර සෑය උන්වහන්සේ දැන සිටියත් ලලාට ධාතු සෑයේ ඉදිකිරීම් සමඟ විශේෂයක් කරන්නට නොහැකි වුණි. නමුත් අපට ඒ සිදුවීම් මතකයේ තිබුණි. සේරුවිල සරණකිත්ති අපේ නායක හාමුදුරුවෝ ඒ භූමිය ගැන යම් අවධානයෙන් සිටි සේක. අප දිනක් නායක හාමුදුරුවන් සමඟ වෙල්ගම් වෙහෙරට ගිය අතර ඒ භූමිය වටා අන්‍යාගමිකයන්ගෙන් වට වූ බිමක හුදකලාවේ කටු අකුල් මැද මහා සියඹලා වෘක්ෂයකින් සෙවන ලබමින් සෑ රජුන් ගරා වැටී තිබුණි. බොහෝ හානි කරන්නට අසද්පුරුෂයන් උත්සාහ ගෙන තිබුණි. ඒවා ව්‍යර්ථ වී ඇත්තේ ඒ තුළ වැඩ සිටින ධාතුන් වහන්සේගේම ආනුභාවය නිසාමයි.

වෙල්ගම් වෙහෙරේ වැඩ සිටි උතුම් සෑ රජුන්ගේ ප්‍රාතිහාර්ය ගැන නොයෙක් කතා ඒ අවට ජීවත්වන අන්‍යාගමිකයන් පවා ප්‍රකාශ කරති. මේ භූමිය සුරක්ෂිතව සෑ රජුන් නිරුපද්‍රිතව වැඩ සිටීම අපටනම් ප්‍රතිහාර්යයකි. රජයේ අනුමැතිය ඇතිව වෙල්ගම් වෙහෙර විල් ඉවුරේ සෑ රජුන්ගේ කැණීම් කටයුතු ආරම්භ විය. ඒ සියල්ල කඩිනම් අවසන් වූයේ ධාතුන් වහන්සේගේම ප්‍රාතිහාර්යයක් නිසා නොවේද සතර මලසුන්, පාදලාංජන ගල්, මළුපෙත් සහිත තුන්වරක් ප්‍රතිසංස්කරණය වූ සෑ රජුන් පස් අතරින් දිස්වුණි.

අපූරු සියඹලා ගස

කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් විනාශ වී ගියේ යැයි සිතන මේ උතුම් සෑ රජුන් මතුපිට විශාල සියඹලා ගසක් මතුව තිබිණ. නිශ්චිතව ආයුෂ කිව නොහැකි වසර ගණනක් පැරැණි මේ වනස්පති සියඹලා වෘක්ෂය සෑ රජුන්ට ඉසිලු සේසතක් (ඡත්‍රයක්) සේ අවුවෙන්, වැස්සෙන් ආරක්ෂා කරමින් තිබුණි. සෑ රජ දෙදරා නො වැටී සිටින ලෙස තම බලවත් මූල ජාලයෙන් සෑ රජුන් වෙලාගෙන තිබුණි. එය සිංහයකු යමක් නිය වලින් අල්ලා සිටින ලෙස එනම් සීහ නඛ පඤ්ජරයක් ලෙසය. කැණීම් වලදී ඒ සියඹලා වෘක්ෂය ඉවත් කරන්න සිදුවුණි. සියඹලා වෘක්ෂයට කෘතගුණ සැලකීමෙහිලා නැවත ධාතු නිධන් කිරීමේදී ධාතුන් වහන්සේ දරා සිටින ධාතුන් මණ්ඩපය ඒ සියඹලා ක¼දින් නිර්මාණ විය.

ධාතූ ගර්භය

ත්‍රස්තවාදී සමයේ බෝම්බ පවා මේ සෑයේ සඟවා තිබිණ. ඒවා පිපිරුණේ නැත. එළිපෙහෙලි කරන විටත් පිපුරුණේ ද නැත. පැරණි ධාතු ගර්භය සෑ රජුන්ගේ අභ්‍යන්තරයේ තිබෙද්දී ම නැවත සෑ ගැබේ ශෛලමය කුටියක් තනා නොයෙක් නිදන් වස්තු සමඟ මහා පෙරහරින් ධාතු නිධානය පසුගිය මැදින් මස 19 වැනිදා සිදුවුණි. වැඩසිටි සෑ රජුන් පිරිවරා දහස් ගණන් සැදැහැවතුන් සාදුකාර දී බුදුගුණ ගයන විට එය අපූරු ප්‍රාතිහාර්යක් විය.

ධාතු පෙරහර

සේරුවිල (තිස්මහ වෙහෙර) ලලාට ධාතු සෑ රජුන්ගේ ධාතු නිධානයට ලෝන නුවර සිව රජුත් සේරුනුවර ගිරිඅභය රජුත් අපේ කාවන්තිස්ස නරේන්ද්‍රයා වප් මස පොහෝ දා දවල් ඇතුන් සහිත මහ පෙරහරකින් වෙල්ගම් වෙහෙරින් පිටත්ව හිරු බැස යන්නට ප්‍රථම සේරුවිල සෑ මළුවට ඇතුලු වූ වග පෙර සඳහන් වංශ කතාවල දැක්වේ. ඉතිහාසයේ පළමු වතාවට ඇතුන් සහිතව මහා ධාතු පෙරහර සේරුවිල සිට වෙල්ගම් වෙහෙරට පසුගිය දා සැපත් වුණි. ශී‍්‍ර සර්වඥ ධාතුන් වහන්සේ මෙන්ම, අංගුලිමාල මහරහතන් වහන්සේ ප්‍රධාන මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් සධාතුක කරඬුව හස්තියා පිට වැඩමවනු ලැබුණි. මේ පෙරහර වෙල්ගම් වෙහෙර සෑයේ නිදන් උතුම් ධාතුන් වහන්සේගේ ආනුභාවය කියාපාන ඓතිහාසික සංසිද්ධියක් වුණි. ශ්‍රද්ධාවන්තයාට වැඳපුදා ගැනීමට වසර සිය ගණනකට පසු මහා ස්තූපයක් හෙළි පෙහෙළි වුණි.

මහා පරිනිබ්බාන සූත්‍රයේ මෙසේ සඳහන් වේ. "ආනන්ද යමෙක් තථාගතයන් වහන්සේගේ අබ ඇටක් පමණ ධාතුන් වහන්සේ නමක් වුවද තැන්පත් කොට ස්තුපයක් තනවයිද, දැක සිත් පහන් කර ගනීද, මලින් පහනින් පුදයිද, ඇඟිලි එකතු කොට වන්දනා කරයිද හේ බොහෝ පින් රැස්කර ගනී."

එනිසා ඔබටත් සිත් පහදවා ගෙන ධාතුන් වහන්සේ වන්දනා කිරීමට නුවණ පහළ වේවා. ඒ උතුම් ධාතුන් වහන්සේගේ ආනුභාවයෙන් සැමට සෙත් වේවා.


පසුගිය සතියෙන්:  අසිරිමත් ධාතු පුරාණය 22 කොටස : සුදු බුදු රැස් විහිදවන අසිරිමත් ලලාට ධාතුන් වහන්සේ