Print this Article


අවුරුද්ද ගෙවුණ හැටි

අවුරුද්ද ගෙවුණ හැටි

සමාජ සම්මත වශයෙන් ලැබූ අවුරුද්ද අවසන් විය. බොහෝ දෙනා අවුුරුද්දට කා බී පී‍්‍රති වූහ. හැම දෙනාම සුබ නව වසරක්වේවා”යි කියමින් ඔවුනොවුන්ට සෙත් පැතූහ. සුබ අලුත් යන වචන දෙක ම දහමට අනුව නම් හිස් ප්‍රලාපය, ඔබට ම අවුරුද්ද ගත කළ අන්දමත්, දැන් අත්විඳින ප්‍රතිඵල අනුවත් එය පසක්වනු ඇත. අවුරුද්ද සුබ එකක්වීමට නම් ඔබ දහම තුළ කටයුතු කළ යුතුය. කණකර ආභරණ බැංකුවට උගස්කර යහමින් මුදලක් ගත් ඔබ දැන් දඟලන්නේ ඒවා ඉක්මනට බේරා ගැනීමටයි. අනුන්ගෙන් ණය අරගෙන උත්සව කළ ඔබ දැන් සිටින්නේ ණය බරෙන් නිදහස් වීම ගැන සිතමිනි. කුමන ආකාරයට උත්සව භෝජන සංග්‍රහ කළත් ධර්මය අපට උපදෙස් දෙන්නේ සීමාවක් තුළ සිටිමින් කටයුතු කිරීමටය.

සීමාව අමතක කර එය ඉක්මවා යන හැමවිටම අපට උරුම වන්නේ පසුතැවීම පමණයි. ඔබ බණ අසන විට “ව්‍යග්ඝපජ්ජ” සූත්‍රයේ එන කරුණු කාරණා මොනතරම් අසන්නට ඇත්ද එහි එන ‘සමජීවිකතාව ගැන ඇසුවා මිස ඒ ගැන සිතූ බවක් නො පෙනෙයි. එහෙම බණක් ඔබට කියාදුන්නේ ඔබට පී‍්‍රතිමත් ජීවිතයක් ගැන කියාදීමටයි. එහෙත් ඇසුමට සීමා වුණ බණ ඔබේ ජීවිතයෙන් නො දකින විට දුකට දොම්නසට අවුලට පත් ජීවිත දැකිය හැකිය. පසුතැවිල්ල , කලකිරීම දුක් කඳුළ තුළ ඇත්තේ අකුසලයයි. පාපයයි. සසර නැවතීමයි.

යථාබලා, තමාගෙ හැකියාව අනුව උත්සව පැවැත්විය යුතු වුවත් එහෙම කරන්නේ කවුද (යථා සාරුප්ප) තමාගෙ ස්වරූපය තරාතිරම උත්සවයකදී ඇතිවන ඉපිල යෑම හමුවේ අමතක වේ. (යථා ලාභ) භෝජන සංග්‍රහවලට මුදල් වියදම් කරන විට ලැබෙන ආදායම ගැන නො සිතා හැම විටම ක්‍රියා කරමින් කටයුතු කරන්නේ කොහොම හරි උත්සවය සරුවට ගැනීමටයි. තුන්සිය හැටපස් දවසේම පිරිමහගෙන ජීවත් වූ ඔබට අමතර වියදම ගැටලුවක් වුවහොත් ඉතිරි වන්නේ අසහනය පමණයි. දොම්නස කලකිරීම, පසුතැවීම, සිතක මිහිරි වින්දනය නැතිකරන මාර දූතයන් බව අමතක කරන්න එපා.

විවේකයක් ලැබූවිට ඔබ සිතන්න. මෙනෙහි කරන්න. අලුත් ඇඳුම්වලට ඔබ දැක්වූ උනන්දුව, ඉතිරි වෙලා ඉවත දැමු ආහාර මොනතරම්ද ගෙදර පිටුපස තිබෙන මත්පැන් බෝතල් ගැන ඔබට මොනවද සිතෙන්නේ අවුරුදු දිනයට පසුදින උදේ පාන්දර ඔබේ නිවෙසේ දිස්වුණ මූසල ගතිය, පුටු, මේස අතන මෙතන මත්පැන් බෝතල් කෝප්ප පිඟන් තැන් තැන්වල අලුත් අවුරුද්දේ ඔබේ නෙත ගැටෙන්නේ නිවුණ, සැනසුණ මිනිසුන් එක්වුණ වාසනාවන්ත නිවසක් නොව පිස්සන් උම්මත්තකයින් ගැවසුණ තිප්පලක් නොවේද

හිතන්න ඇඳුම් පැළඳුම්වලට ඔබ මොනතරම් වෙහෙසුණාද වියදම් කළාද කවුද එයින් පොහොසත් වුණේ කාටද අවුරුද්ද ජයග්‍රහණයක් වුණේ කාටද ලාභයක් වුණේ. දුරකතර ගෙවාගෙන පෝළිම්වල තෙරපිල වැඩ කටයුතු අතහැරදාලා මුදල් ණයට අරගෙන මහා උජාරුවට ගන්න ඇඳුම් දිහා බලන්න. ගන්න විට තිබුණ ඇල්ම තවමත් තිබෙනවාද අනෙක් පරණ ඇඳුම්වලට එකතු වුණ තව ඇඳුමක් මිස අමුතු යමක් එතැන තියෙනවද මේ කියන කතාව ඔබ නොදන්නවා නොවෙයි. ඔබට ඒ ගැන වැටහීමක් නැතිව නෙවෙයි. හිස් ශුන්‍ය මනසේ ඇතිකරගත්ත මවා ගත්තු සංකල්ප තුළ ජීවත්වීම ගැන ඔබට දැනීමක් අවබෝධයක් තිබෙනවා. ඒත් ඔබට සුපුරුදු හැසිරීම් රටාව වෙනස් කිරීම පහසු නැහැ. ඔබ අවුරුදු සාප්පු සවාරි යන විට කවුරු හරි හමුවුණොත් ඔබ කියන වචනවලින්ම ඔප්පුවෙනවා ඔබ නිසරු අදහසක ඉන්න බව “ මං මේ අවුරුද්දට ඇඳුම් කෑලි දෙක තුනක් ගන්න ආවා. පොඩි එවුන්ට අපට මොන ඇඳුම් ද ඔබ එහෙම කිව්වත් පොඩි එවුන්ට වඩා වියදම් කරල ඇඳුම් ගන්නෙ ලොකු එවුන්ට බව ඔබට නො වැටහෙන්නේ ඔබ ඇසු දහම ඇසීමට සීමා කළ මිස සිතීමට යොමු නොකළ නිසයි.

විනෝදය, පී‍්‍රතිය, සතුට, ගිහිජීවිතයට අකැප නැත. එහෙත් එය ධාර්මික පී‍්‍රති සුවයක් වූ තරමට කල් පවතියි. එසේ නොවුණ තැන සිත නතර වන්නේ අඳුරු ආගාධයකය. දුක්ඛ, දොම්නස්සයන්ගෙන් පිරි අප්‍රසන්න මාවතකය. ඔබ අනුවණ ලෙස අවුරුදු කෑවේ මේ වසරේ පමණක් නොවේ.

හැම අවුරුද්දක්ම ඔබ ගත කලේ විනාසයට පිරිහීමට අලුතින් යමක් ජීවිතයට එක් කරගනිමිනි. මෙතැන ඔබට යමක් ඉගෙන ගත හැකිය. දහම තේරුම් ගත හැකිය. ඔබේ සිත ගැන අවබෝධයක් ලැබිය හැකිය. සිතේ ස්වභාවය දුක, සැප විඳින වෙලාවට පමණක් සීමා වීමය. සිහියෙන් තොරව වින්දනයන් ආස්වාදයට යොමුවීම සාමාන්‍යයෙන් සිතේ ස්වභාවයයි. අවුරුදු උත්සවයට පමණක් නොව ජීවිතයේ බොහෝ අවස්ථාවල මේ සිතේ ස්වභාවය මේ අන්දමට ක්‍රියා කිරීමයි. පොසොන් පෝයට අනුරාධපුරේ යෑමත්, ඇසළ පෝයට නුවර පෙරහර බැලීමටත් පුරුදු වූ අය සිටිති. ළමයින් කරපින්නාගෙන අතින් කරින් පෙට්ටි වට්ටි උස්සාගෙන බස්රියෙ දුම්රියෙ තෙරපෙමින් යන ගමන් මොන තරම් ආයාසකර එකක්ද අමාරුවෙන් යන්නෙ පහසු තැනකට ද නැවතීමට හරියට තැනක් තිබෙනව ද කැසිකිළි , වැසිකිළි පහසුකම් කෑම බීමවල අඩුපාඩු මේ හැම දෙයින්ම ඇතිවන පීඩාව මොන තරම්ද

ඉතින්, කනින් කරදර පීඩා වැගිරෙද්දී ගෙදරට ඇවිත් දොර අරින්නේ ඔහොම ගමන් ආයිත්නම් යන්නේ නැහැ කියමිනුයි. ඒත් පොසොන් ළං වෙනවිට ඇසළ හඳ දකිනවිට කදමලු බැඳගෙන අර දුකම හොයාගෙන නැවත යන්නේ නැද්ද මේ තමයි පුහුදුන් සිතේ ස්වභාවය.

ඔබ මේ අවුරුද්දෙන්වත් සිතන්න. යළිත් එලඹෙන අවුරුද්දෙදිවත් ණය අරගෙන උත්සව නොකරන්න. දුක්, කඳුළින් පසුතැවෙන සුසුම් හඩින් අවුරුද්ද අවසන් නො කරන්න. මේ අවුරුද්දේ ඔබ අත්දුටු සිත් අමිරිහිබවක්, දුකට වේදනාවට හේතුවන අත්දැකීමක් ඔබ දුටුව නම් ඔබ එයින් පාඩමක් ඉගෙන ගන්න. සුපුරුදු පරණ පාරෙ යන්න එපා. වැඩිහිටියන්ට ගෞරව කිරීම, යහපත් වෙලාවට වැඩ ඇරඹීම, නෑසියන් සමඟ සතුටින් හමු වී සුහදතාවය වර්ධනය කර ගැනීම, විහාරයට පන්සලට යෑම, වැනි හැසිරීම් ඔබට නව වසරක් සඳහා හේතු වෙනවා ඒකාන්තයි.ඔබ දහමට ළං වන්න දහමේ සැනසීම භුක්ති විඳින්න ලැබූ අවුරුද්ද අලුත් අවුරුද්දක් කරගන්න.

ඔබ නොදන්නව වුණත් පරණ අවුරුද්දට පසුව ඔබ පා තැබුවේ අලුත් අවුරුද්දට නොවෙයි. පරණම අවුරුද්දටයි මොනවද ඔබේ අලුත් වුණේ ගෙදර දොර පිළිසකර කිරීම ද අලුත් ඇඳුම් ඇඳීම ද මේ කිසිවකින් ඔබට අලුත් වීමක් ලබන්න බැහැ.

සිතන්න, මොනවද, අලුත්වෙල තියෙන්නෙ. ඔබේ සිතිවිලි අලුත් වුණාද  ඔබේ හැසිරීම අලුත් වුණාද ඔබේ චරිතය ජනපි‍්‍රය වුණාද ඔබ ජීවිතය පුරාවට කරගසාගෙන ආ පුරුදු ඇබ්බැහිකම්වල කිසිම අඩුවක් නැතිව ඒ විදිහටම තවමත් ජීවිතයට අරක්ගෙන තිබෙනව ද එහෙමනම් අවුරුද්දෙ අලුත්වීමක් සිදුවෙලා නැහැ. ඔබගෙ කෝපයට,වෛරයට ලක්වුණ පුද්ගලයා ගැන ඔබේ හිතේ පල්වෙමින් තිබුණ වෛරය තවමත් ඒ අන්දමින්ම පවතින්නෙ නැද්ද ඒ අපිරිසුදු සිතිවිල්ලෙන් ඔබ ඔහු දෙස බලයි, නම් ඔබේ මොන අලුත්වීමක් ද නින්දට ම දඟලන , කෑමට බීමට සීමාව ඉක්මවල කෑදර වන ඕන දේත්, එපාදේත් ගැන වාචාලකම් දොඩවන රාගයෙන්, කාමුක කමින් කපුටෙකු වගේ සතර අතම බලමින් දඟලන ගති තවමත් තිබෙනව නම් ඔබ තවම පරණ පුරුද්දෙමයි සිටින්නේ.

එහෙයින් අලුතින් සිතන්න. පුරුදු ඇබ්බැහිකම් හඳුනගෙන අතහැරීමට සිතන්න. ජීවිතයේ සැනසීම ගැන සිතන්න. ඔබට ගෙවුණ අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වනු නියතයි.