Print this Article


බුදු දහම වැළඳගත් බක් පොහොය

බුදු දහම වැළඳගත් බක් පොහොය

ශ්‍රී ලංකාවේ අභිවෘද්ධියට හේතු වූ මේ සියලු කරුණු සිදුවීමට මූලික කරුණ වූයේ බුදුරදුන් බුද්ධත්වයෙන් පස්වන වසරේ බක් මස අමාවක් පෝදා නාගදීපයට වැඩම වීමයි.

භාග්‍යය හෙවත් සෑම අංශයකම වාසනාව ගෙනෙන මාසයක් වශයෙන් බක් මාසය සඳහන් කළ හැකි ය. මේ මාසය සඳහා සාමාන්‍යයෙන් හඳුන්වන තවත් නාමයකි, අප්‍රේල් යන්න. එම වචනය ලැබී ඇත්තේ ‘මල් පිපෙන’ යන අරුත ඇති අපරීරෙ යන වචනයෙන් බිඳී ඒමෙන් බව කියති. ගස් වැල් බොහොමයක දලු දැමීමත්, මල් ඵල හටගැනීමත් නිසා වඩාත් පියකරු බවක් මේ මාසයේ ඇති වේ. සිසිල් ජලය මෙන් ම සිසිල් මඳ පවන මේ මාසයේ දක්නට ලැබෙන තවත් ලක්ෂණයකි. මෙවන් පරිසරයක් පවතිද්දී සම්බුදුරදුන් දෙවන වරට බක් මස අමාවක පොහොය දිනයක සිරිලකට වැඩමවීම බෙහෙවින් අගනේ ය.

සම්බුදුරදුන් එක් දිනකට උදේ - සවස විසි හතර කෝටි ලක්ෂ වාරයක් මහා කරුණාවෙන් ලොව බලා වදාරණ බව අපේ ධර්ම ග්‍රන්ථයන්හි දැක්වේ. බුද්ධත්වයෙන් පස්වන වසරේ දී උන්වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩසිටිය දී ලොව බලද්දී ශ්‍රී ලංකාවෙහි නාගදීපයෙහි චූලෝදර, මහෝදර යන නා රජුන් දෙදෙනා මිණි පළඟක් මුල්කොට දරුණු සටනකට සූදානම් බව පෙනුණි. වංශකතාව සඳහන් කරන අන්දමට මහා බලසම්පන්නයෙකු වූ මහෝදර නාග රාජයාත්, ඔහුගේ සහෝදරියගේ පුත් චූලෝදර නම් බෑණනුවනුත් අතර මැණික් පුටුවක් අරඹයා ඇතිවන්නට ගිය අරගල ය සමහර විට රාජ්‍යත්වය පිළිබඳ අරගලයක් සේ සැලකීම බෙහෙවින් සාධාරණය.

ඈත කාලයේ ලංකාවේ යක්ෂ මෙන්ම නාග ගෝත්‍රිකයෝද බලවත් ලෙස විසූහ. විශේෂයෙන් ඔවුහු ජලමාර්ග ආශ්‍රය කොටගෙන ලංකාවෙන් බැහැර පවා ගමන් කරමින් වෙළෙඳාමේ යෙදුණු බවට සාධක ඇත. නාග ලෝකය මේ පොළොවෙන් යට පිහිටා ඇති බවත්, ගංගා හා මුහුදු ආදියෙහි ගමන් කරන ඔරු, පාරු, නැව් ආදිය පෙරළීම කෙරෙහි ඒ නාගයන්ගේ බලපෑමක් ඇති බවත්, බොහෝ අය විශ්වාස කළහ. එහෙයින් නාගයන්ගෙන් වන උවදුරු වළක්වා ගැනීමට නාගයන් අදහන්නට පුරුදු වූ බවත්, ඒ අය නාග ගෝත්‍රිකයන් වශයෙන් හැඳින්වූ බවත් බොහෝ ඉතිහාසඥයන්ගේ පිළිගැනීමයි.

ජේතවනාරාම දොරටුවේ තිබූ කිරිපලු රුක සමිද්ධිසුමන දෙවියන් විසින් බුදුරදුන්ට ඡත්‍රයක් කොට අල්ලාගෙන සිටියදී උන්වහන්සේ සෘද්ධි බලයෙන් නාගදීපයට වැඩම කළහ. ඒවන විට සටනට සූදානම්ව සිටි පිරිස්වලට මහත් ඝන අඳුරක් මවා පිරිස විස්මයටත්, බියටත් පත්කොට අනතුරුව ආලෝකයක් මවා උන්වහන්සේ වැඩ සිටින බව දක්නට සැලැස්වූහ. නා රජුන් දෙදෙනා ප්‍රධාන රැස් වූ පිරිස ප්‍රසාදයට පත්ව බුදුරදුන්ට නමස්කාර කළහ. මෙහිදී මැණික් පුටුවේ වැඩසිට වට්ටක ජාතකය, කාකෝලුක ජාතකය, ලටුකික ජාතකය ආදී කතාවස්තු ගෙනහැර දක්වමින් වෛරයෙහි විපාකත්, සමගියේ ආනිසංසත් පැහැදිලි කරමින් බුදුහු ධර්මය දේශනා කළහ. මෙයින් තවදුරටත් ප්‍රසාදයට පත් චූලෝදර මහෝදර නා රජුන් දෙදෙන අරගලයට මුල් වූ මැණික් පුටුව බුදුරදුන්ට පූජා කළහ.

නා රජුන් විසින් පිළිගැන් වූ දානය වැළඳූ බුදුහු රැස්ව සිටි පිරිස තිසරණ පන්සිල්හි පිහිටුවා වැඳුම් පිදුම් කිරීම පිණිස තමා වෙත පිදූ මිණි පළඟ නාගයන්ට ම භාර දුන්හ. නාගදීප චෛත්‍යය ඉදිකරවන ලද්දේ එම මිණි පළඟ තැන්පත් කිරීමෙනි. මේ බක් මස අමාවක් පොහෝ දින සිදු වූ තවත් සිදුවීමක් නම් මහියංගනයට වැඩම වූ ප්‍රථම අවස්ථාවේ දී පැහැද සරණ සීලයෙහි පිහිටා සිටි මණිඅක්ඛිත නාග රාජයා තමා පාලනය කරන කැලණි පුරවරයට වැඩමවන ලෙස බුදුරදුන්ට ආරාධනය කිරීමයි. උන්වහන්සේ තෙවන වර ලංකාවට වැඩම වූයේ මේ ආරාධනය පිළිගැනීම නිසාය.

බුදුරදුන් වැඩමවා වදාළ නාගදීපය අද නයිනාතිව් නමින් දැක්වෙන දූපත නොවන බව බොහෝ අයගේ මතයයි. යාපනය අර්ධද්වීපය නමින් අද හඳුන්වන ලංකාවේ උතුරු කොටස සම්පූර්ණයෙන් එදා නාගදීපයට අයත්ව තිබුණි. දෙවනපෑතිස් රාජ්‍ය කාලයෙහි සංඝමිත්තා තෙරණිය දඹදිව සිට ශ්‍රී මහා බෝධියෙහි දක්ෂිණ ශාඛාව ලංකාවට වඩමවාගෙන එන ලද්දේ උතුරේ පිහිටි දඹකොළපටුන නම් සුප්‍රසිද්ධ නැව්තොට ඔස්සේ වැටී තිබුණු මාර්ගයෙනි. මහින්දාගමනයත් සමඟ උතුරු ප්‍රදේශයෙහි බෞද්ධයන් විශාල වශයෙන් වාසය කළ බවත්, දෙවනපෑතිස් රජතුමා දඹකොළ වෙහෙර, තිස්සාරාමය හා ප්‍රාචීණාරාමය එම ප්‍රදේශයේ ගොඩනඟන ලද බවත් ඓතිහාසික වාර්තාවල දැක්වේ.

පසුකාලයේ ලංකාවේ පාලනය ගෙනගිය වසභ රජතුමා යටතේ පැවැති නාගදීප නමින් හැඳින් වූ උතුරු ප්‍රදේශයේ පාලනය ඉසිගිරි නම් තම ඇමැතියා වෙත පවරා තිබූ බවත්, ඔහු යාපනයේ පියංගුකතිස්ස නම් විහාරය කරවන ලද බවත් ක්‍රි.ව. පළමු සියවසේ ලියන ලද වල්ලිපුරම් රන් සන්නසෙහි සඳහන් වේ. පසුකාලයේ කණිට්ඨතිස්ස හා දෙවන අග්‍රබෝධි රජවරුන් ද උතුරේ කළ ආරාම සංවර්ධන කටයුතු පිළිබඳව සඳහන් වේ.

එදා නාග ගෝත්‍රිකයන් සටනට කඳවුරු බැඳගත් ස්ථානය දැනට මල්ලාකම් නමින් හැඳින්වෙන බවත්, බුදුරදුන්ට පූජා කිරීමට සුවඳ ගෙන ආ ප්‍රදේශය චුන්නාකම් නමින් ව්‍යවහාර කරණ බවත්, එදා ඉතිහාසයෙහි කදුරුගොඩ විහාරය නමින් දැක් වූ තැන වර්තමානයෙහි කන්දරොඩෙයි නමින් හඳුන්වන බවත් බොහෝ ඉතිහාඥයන්ගේ අදහසයි. බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන පුවඟු දිවයින, කාර දිවයින හා මණ්ඩදීපය දැනට පුංකුඩුතිව්, කරතිව් හා මණ්ඩතිව් යනුවෙන් ව්‍යවහාර කරන බව බොහෝ අයගේ පිළිගැනීමයි. මේ කරුණුවලින් තහවුරු වන්නේ එදා නාග ගෝත්‍රිකයන් යටතේ පැවැති නාගදීපය වර්තමාන යාපනය අථධද්වීපයම බවත්, ඈත කාලයේ සිට ලක් රජුන් පාලනය කළ එම ප්‍රදේශවල විශාල වශයෙන් බෞද්ධයන් වාසය කළ බවත්, බෞද්ධ ආරාම ඉදිකොට තිබූ බවත් ය. ශ්‍රී ලංකාවේ අභිවෘද්ධියට හේතු වූ මේ සියලු කරුණු සිදුවීමට මූලික කරුණ වූයේ බුදුරදුන් බුද්ධත්වයෙන් පස්වන වසරේ බක් මස අමාවක් පෝදා නාගදීපයට වැඩම වීමයි.