Print this Article


ප්‍රතිපත්ති පූජාවද ? ආමිස පූජාවද ?

ප්‍රතිපත්ති පූජාවද ? ආමිස පූජාවද ?

සම්බුදු සමිඳාණන් දවස අත්‍යුදාර චරිත බැබළුණෙ පැවිදි උතුමන් අතරම නොවෙයි. ගිිහි පිනැතියන් අතරත් කැපී පෙනෙන චරිත ගැන කියැවෙනවා. තමනුත් දහම දැනගෙන අනුන්වත් දහමින් පෝෂණය කළ අය මොනතරම් හිටියද. හත්ථක අලාවකයෙ විසූ උග්ග ගහපති වගේම චිත්ත ගහපති මොනතරම් තථාගත ඇගැයීමට ලක් වුණාද නකුලමාතා නකුල පිතා වගේම සාමාවතියගෙ මල් අම්මා ඛුජ්ජුත්තරාව, වේළුකණ්ඨකී නන්ද මාතාව වැනි අය පිළිවෙත් ගුණ සපිරි උතුමන්, මේ ඇත්තන්ගෙ සුවිශේෂ චරිත ලක්ෂණ තුළින් උතුම් දහමක ලක්ෂණ ප්‍රායෝගිකව ලොවට හෙළිකළා.

සම්බුදු දහම අනුගමනය කිරීමේ මූලික අරමුණ නිවනයි. නිවන යන වචනය තරම් සිත නිවන වචනයක් බොදු සැදැහැතියනට නැහැ. පූජාව ආමිස ප්‍රතිපත්ති යනුවෙන් දෙපරිදියි. දානමානාදී පින්කම්, වන්දනාමානාදී පූජා දාගැබ්, මහාබෝ තැනීම් ආදිය ආමිස ගණයට වැටෙනවා, ප්‍රතිපත්තිය නැතිනම් පිළිවෙත සිල්ගුණ පිරීමත් විදර්ශනා පුහුණුවත් තුළින් සම්පූර්ණ වෙනවා. මේ නිසා ආමිසයට වඩා ප්‍රතිපත්තිය හොඳයි යන මතයෙහි සමහර අය සිටිනවා.

වරෙක භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණි දෙවිකෙනෙකු අනියත ලොව තුළ මිනිසා මරණය වෙත යන බවත් එහෙයින් සැප ගෙන දෙන පින් කළ යුතු බවත් පැවසුවා. එවිට භාග්‍යවතුන් වහන්සේ වදාළේ නිවීම බලාපොරොත්තුවෙන් සැපයට වින්දනයට හේතුවන දේ අත්හරින ලෙසයි.සැබෑ බෞද්ධ ශ්‍රාවකයා අනුගමනය කළ යුත්තේ භාග්‍යවතුන් වහන්සේ විවිධාකාර පූජාවෙන් පුදන්න යැයි වදාහළ තැනක් නැත. එහෙත් හැම සූත්‍රයක්ම අවසන් වනුයේ අප්‍රමාදය හෙවත් සිහිනුවණ දියුණු කරගෙන කෙලෙසුන්ගෙන් මිදී නිවන සාක්සාත් කරගැනීමේ වටිනාකම පහදා දෙමිනි.

දන් පුද පූජාවනට වඩා සිල් පේවීම සියදහස් ගුණයකින් ආනිසංස දායකයි. සීලගුණෝපිත ජීවිතයට වඩා භාවනා වැඩිම උසස් ප්‍රතිඵල ලැබීමට උපකාරි වෙයි. භික්ෂුවකට සැදැහැතියන් පිරිනමන ප්‍රත්‍යවලයෙන් නිදහස්වීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එහෙත් යම් භික්ෂුවක් ඇසි පිය හෙළන පමණ සුළු මොහොතකට මෙත් සිත පහළ කර ගනියිනම් ගිහි පිනැතියනට වන ණයෙන් නිදහස් වන බවයි සඳහන් වන්නෙ. මෛත්‍රියට වඩා මහත් ඵල ලබන කුසලය වන්නේ විදර්ශනා වැඩීම් වශයෙන් අනිත්‍යය සිහි කිරීමයි.

ආමිසය අවශ්‍ය නැහැ කියන වැරදි අදහසේ සිටින්න එපා. නිවන සමීපවනතුරු කවුරුත් සසර උපත ලැබිය යුතුයි. ඒ උපත ලබන ආත්මභාවය කරදරයකින් තොරව සැනසිල්ලෙ කුසල් දහම් වඩන්නට තරම් සුදුසු ජීවිත සම්පත්තියක් ලබන්න දානාදි පින්කම්වල නිරත විය යුතුයි. පූජා පින්කම්වල නිරතවීම එකම පරමාර්ථය හැටියට හිතුවොත් බොදු පරමාර්ථයෙන් බැහැර වෙනවා.

බොදු සැදැහැතියන්ගෙ කැපී පෙනෙන ලක්ෂණය තම තමන්ට පහසු පැතිවලින් බුදුදහම අල්ල ගැනීමයි. මොන අන්දමකටත් හිතන්න එපා අපහසු දෙයින් මිදිල පහසු දෙය කිරීම කුසල් පිරීමක් හැටියට. සසර අරගෙන එන ඇතැම් පුරුදු ඇබ්බැහිකම්වල බරපතළකම නිසාදෝ දන්නෙ නැහැ ඇතැම් අය තුළ තිබෙන සමහර දුර්වලතා දුරු කරගන්න හිතන්නේ නැහැ. හොඳ විවෘත මනසින් තමන්ගෙ හිත දිහා බලනව නම් තමන් තුළ තිබෙන අගුණ දුර්වලකම් තේරුම් ගන්න පුළුවන්. ඒත් දුබලකම් තේරුම් අරගෙන ඒවා හදා ගන්න හිතන පිරිස අඩු බවයි පෙනෙන්නෙ. එහෙම දකින්න බැරිව නිවැරැදිව හිතන්න බැරිවී වරදෙ බැඳුන සමහර ඇත්තන් හිතනව අට පිරිකරට අත ගැහුව, කඨිනයට අත ගැහුව, සාංඝික දානයක් දුන්න ඉතින් තව මොනවද කියල. එහෙම හරි පිනට කුසලයට යොමුවීම හොඳයි. එයිට වඩා අර අත්හරින්න බැරිව සසර පුරාවට අරගෙන එන වැරදි අඩුපාඩුකම් දුරු කරගන්න බලනව නම් මොනතරම් වටිනවද

බෞද්ධ කථාවස්තුවල ආමිසයෙන් පිදූ ඇත්තන් ගැන මෙන්ම පිළිවෙතින් පිදු අය ගැනත් සඳහන් වෙනවා. දෙව්රම්වෙහෙර පිදූ අනාථපිණ්ඩිත සිටුතුමා මිගාරමාතු පාසාදය තැනවු විශාඛා මහෝපාසිකාව, වේළුවනය සසුන් සතු කළ බිම්සර මහ රජතුමා. වගේම අසදෘශ මහාදානය දුන්නු කෝසල මල්ලිකාව, ආමිසයෙන් පිදූ අය අතර නිතර කියැවෙනවා. ඒ ඇත්තන් ආමිසයෙන් පිදුවත් වෙනසක් තිබෙනව කෝසල මල්ලිකාව හැරුණුවිට සෙසු තිදෙනාම නිවන් මඟට පිවිසි නියත ගතික අය සෝවාන්ඵලයට පත් උතුමෝයි.

චක්ඛුපාල හාමුදුරුවො, සෝන හාමුදුරුවො, මහාසිව හාමුදුුරුවෝ ජීවිත පරිත්‍යාගයෙන් සම්බුදුන් පිළිවෙතින් පිදූ උතුමන් වහන්සේලායි. මහා රාජ්‍යය අතහැරදාල යොදුන් ගණන් පා ගමනින් ගැල් පිටුපසින් සැවැත්නුවර භාග්‍යවතුන් වහන්සෙ දකිනු රිසින් පැමිණි පුක්කුසාති රජු වගේම සුප්පාරක පටුනෙන් පටන් අරගෙන දිවා රූ වෙහෙස නොබලා භාග්‍යවතුන් වහන්සේ සොයාගෙන පැමිණි භාහිය දාරුචිරියත් රාජකීය ඇඳුමින් සැරසී සිටි මහඇමති සන්තතිතුමාත් සුදුවත් හැඳි ගිහියන් වුවත් පිළිවෙත් සඵල කරගත් ආර්ය මාර්ගයට පිළිපන් උතුමෝයි. සැරියුත් මුගලන් පිළිවෙළ නොසිඳී එන ආර්ය මහා සංඝරත්නයට මේ ගිහිවත් දැරූ අනාථ පිණ්ඩික, විශාඛා , බිම්බිසාර, භාගිය, පුක්කුසාති, සන්තති අමාත්‍ය යන ආර්ය උතුමන් ද ඇතුලත් වෙනවා. එහෙමනම් සඟ සතු දන් පුදද්දි තුන්කල් මහ සඟරුවනට පුදන බව කියනවිට මේ උතුමන් වහන්සේලාත් ගැනෙනවා.

ආමිසයෙන් භාග්‍යවතුන් වහන්සේ පිදුවත් සමහර උසස් දානපතියන් ගැන බෞද්ධ කථා සාහිත්‍යයේ සඳහන් වන්නේ ඒ ඇත්තන්ගෙ අනතුරු අත්භවය යහපත් එකක් නොවූ බවයි. එහෙම දෙයක් වෙලා තිබෙන්නේ ආමිස පූජාවෙ මදි පුංචි කමක් නිසා නම් නොවෙයි. පිළිවෙත් පූජාවෙන් බුදුන් පිදූ උතුමන් ගැන එහෙමවත් කියන්න බැහැ. පිළිවෙත් මග සපිරීමේ මුල් ආනිසංස ලෙස සෝවාන් ඵලයට පත්වීම නිසා කෙනෙකු නියත ගතිකත්වයට සම්බෝධි පරායනයෙකු බවට පත් වෙනව. මොනම ක්‍රමයකින්වත් ඒ ඇත්තන් දුගතියට පත් වෙන්නේ නැහැ. ඒ නිසයි සක්විති රජසැපතට වඩා සෝතාපත්තිඵලය උතුම් වන්නේ. ගසක් යට කඩමලු පොරව ගත්තු කබලක් අතින් අරගෙන සිඟමනෙන් යන ඇත්තා වුනත් සෝවාන්ඵලයට පත්වෙලා නම් ලෞකික සැප අතර අගතැන් ගත් සක්විති සැප භුක්ති විනඳ කෙනෙකුට වඩා වාසනාවන්තයි. පින්වන්තයි. සක්විති සැප වින්දත් දුගතියට යන අකුසල් සිදුවුනොත් ඔහු දෙවන භවයෙ කල්ප ගණනක් දුක් විඳිනවා. ඒත් කඩ කබල අතින් ගෙන සිඟමන් යැද්දත් සෝවාන් උත්තමයා නියතවශයෙන් සුගතිගාමි වෙනවා. දුගතියකට කිසි ලෙසකින්වත් යන්නේ නැහැ.

බෞද්ධ සාහිත්‍යයේ කැපී පෙනෙන චරිත කිහිපයක් දිහා විමසීමෙන් බැලුවොත් අපට නිවැරදිව යමක් තේරුම් ගන්න පුළුවන්. අටුවා කථා ලියපු හිමිවරුන් වගේම ඉතිහාස පුවත් ඉදිරිපත් කළ හිමිවරුනුත් සඳහන් කළ කරුණුවලින් උසස් ලෙස ආමිසයෙන් පිදු අයත් සුළු වරදින් දුගතිගාමී වූ බව පෙනෙනවා.

සම්බුදු සසුනෙ මහ සඟරුවන වෙත දන්පිදූ අය අතර අසමාන දානමය පින්කම කළේ කෝසල මල්ලිකාවයි. ඇය අනතුරු ආත්ම භවයෙ අපාගත වෙනවා. හේතුව හැටියට ඇයගෙන් සිදුවන වරදක් ගැනයි සඳහන් වෙන්නෙ.අසදෘශ මහාදානය ,නැනිනම් ආමිස පූජාව සුළුවරදට යට වුණා.

තම සහලේ ඤාතියෙකු සසුන් ගත වීමෙන් සතර වරිගයම නිවන් දකින කතාව ගමේ ගොඩේ පැතිර ගිය කථාවකි. තම දුවත් පුතාත් සසුන්ගත කරල ලොව පුරා සත හට බුදුදහම හඳුන්වා දෙමින් ධර්මදානය ඉහළ මට්ටමින් සිදු කරල සුවාසු දහසක් දම්කඳට පුද පෙළහර පිණිස අසුහාර දහසක් වෙහෙර විහාර කරවල අවසානයට මොකද වුණේ. මේ තරම් පින් කළ ධර්මාශෝක නිරිඳු ගැන කොහොමද සඳහන් වන්නෙ. සුගතියක උපත ලද බවක් නොවෙයිනෙ. අජාසත් රජතුමාගේ සැදැහැ සිත වගේම සම්බුදු සසුනෙ චිර පැවැත්මට කළ කී දෑ බලනවිට ඒ සා සේවාවක් සිදු කළ නරපතියෙකු භාග්‍යවතුන් වහන්සේ දරමාන කාලයේවත් සිටියද එහෙත් තෙරුවන ගැන නොසෙල්වන පැහැදීම නො තිබූ (සෝවාන් නොවීම) නිසා මොකද වුණේ. කොසොල් රජතුමා තරම් දහමට සවන් යොමු කළ අයෙකු බෞද්ධ සාහිත්‍යයෙන් හමුවෙනවද එතුමන් තුළ ඒ හැටි දාන චේතනාවක් නොතිබුණත් හොඳට බණ අහපු ශ්‍රාවකයෙකු නොවෙද කූඨදන්ත බමුණූ ආදින්ට ගම්වර දුන්නත් භාග්‍යවතුන් වහන්සේට පිදු වෙහෙරක් තබා පුද දනක් ගැනවත් (අසදෘශ මහා දානය පිදුවේ) මල්ලිකා දේවියයි) බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වෙනවද භාග්‍යවතුන් වහන්සේ ඇතුළු මහා සඟරුවනටත් හිරිහැර වන විදිහට ජේතවනයට යාබදව නිගණ්ඨයිනට නම් ආරාමයක් හදල දුන්නා.

ඒත් ශාස්ත්‍රීය පිපාසාවෙන් පෙළුණ කෙනෙකු හැටියට නම් එතුමාට මහා පුදුම ඕන කමක් තිබුණා දහමට සවන් යොමු කරවන්න. දිනක් ආනන්ද හාමුදුරුවන් මහමග වඩනවිට උන්වහන්සේ වෙතට පණිවිඩ කරුවෙකු යවල නතර කරගෙන අචිරවතිය ගංඉවුරට වැඩමවාගෙන ගිහින් බණ අහල සඳහන් කළේ මොනවද අපේ ආනන්ද හාමුදුරුවො හරිම දක්ෂයිනෙ. මට හරි පැහැදීමක් ඇතිවුණා. දැන්නම් දෙන්න තියෙන්නේ මේ ඇතා පිට හිදගැනීමට ගන්න පුටුව පමණයි. ආනන්ද හාමුදුරුවන්ට එයින් වැඩක් නැහැනෙ...මෙහෙමයි කොසොල් රජුගේ දාන පූජාව. මොනතරම් ආසාවකින් බණඇහුවත් බණ ඇසීමේ ආනිසංස ගැන අප දන්නා හැටියට රජුට නොවරදින විපාක ආනිසංස ලැබෙන්න එපාද. ඒත් පරලොව ගතිය ගැන සඳහන් නොවුනත් අවසාන මොහොත ඒ තරම් සතුටුදායක නැහැ. නේද මහා රාජයෙකු වෙලත් අම්බලමක අසරණයෙකු වෙලා කාත් කවුරුවත් නැතිව අවසන් හුස්ම හෙළුවේ.

සම්බුදු සමිඳාණන් දවස අත්‍යුදාර චරිත බැබළුණෙ පැවිදි උතුමන් අතරම නොවෙයි. ගිිහි පිනැතියන් අතරත් කැපී පෙනෙන චරිත ගැන කියැවෙනවා. තමනුත් දහම දැනගෙන අනුන්වත් දහමින් පෝෂණය කළ අය මොනතරම් හිටියද. හත්ථක අලාවකයෙ විසූ උග්ග ගහපති වගේම චිත්ත ගහපති මොනතරම් තථාගත ඇගැයීමට ලක් වුණාද නකුලමාතා නකුල පිතා වගේම සාමාවතියගෙ මල් අම්මා ඛුජ්ජුත්තරාව, වේළුකණ්ඨකී නන්ද මාතාව වැනි අය පිළිවෙත් ගුණ සපිරි උතුමන්, මේ ඇත්තන්ගෙ සුවිශේෂ චරිත ලක්ෂණ තුළින් උතුම් දහමක ලක්ෂණ ප්‍රායෝගිකව ලොවට හෙළිකළා.

නුවණැති සැදැහැතියෙකු නිතර සිතිය යුත්තේ පුද පිණිස ධන පරිත්‍යාගය වටිනවා. මතු සසර මහේශාක්‍ය කුලවල ඉපිද රජ සැප සිටුසැප කාම සැප යන සැප සම්පතින් ආඪ්‍ය ජීවිත ගත කරන්න ලැබෙනවා. තථාගතයන් වහන්සේගේ නම සිහිකර මලක් පිදුවත් සියලු පිදුම් අභිබවා මහත් ඵල ගෙනදෙනවා. එදා පිරිනිවනෙ වැඩහුන් භාග්‍යවතුන් වහන්සේට දෙවියන් පරසතු මදාරා මලින් පුදද්දි රාජ රාජ මහා අමාත්‍යාදීන් පසඟතුරු නදින්ද රාජකීය උපහාරයෙන්ද පුද පෙළහර පැවැත්වූවා. මහරහතන් වහන්සේ සංවේග වෙමින්ද පුහුදුන් සඟරුවන ශෝක කරමින්ද සමිඳු අබියසම සිටියා. ඒත් භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙය මතකද මේ ගඳ මලින් සුගන්ධයෙන් ද තුතිගෝසාවෙන් පුදන හැමට වඩා පසෙකට වී මා වදහළ දහම අනුගමනය කරන ධම්මාරාම භික්ෂුව ශ්‍රේෂ්ඨයි. මහා කාරුණිකයාණෝ සියල් සතුනගෙ හිත වැඩ පිණිසම මෙලොව දිනූහ. වැඳුම් පිදුම් හෝ තුති වැනුම් ලැබුමට නොවන වගද අප හොඳින් සිත තබාගත යුතුයි.