Print this Article


ගිරිහඬු සෑ වන්දනාව හා සමාජ සද්කාරය

ගිරිහඬු සෑ වන්දනාව හා සමාජ සද්කාරය

පන්නිපිටිය, තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය මගින් සංවිධානය කළ, චතුමධුර සහිත අෂ්ඨපාන මහා පූජාමය පින්කමක් ද , ආර්ථික අපහසුතා ඇති ගම්මානවල පිහිටි විහාරස්ථාන දාහතරකට අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත ගරුභාණ්ඩ පූජාවක් ද, ත්‍රිකුණාමලයේ දුෂ්කර ප්‍රදේශවල පිහිටි විදුහල් අටක සිසු සිසුවියන් දෙසිය දෙනෙකු සඳහා පාවහන් ඇතුළු පාසල් උපකරණ සහ පොත්පත් ප්‍රදානයක් ද , දිළිඳු පවුලකට නිවසක් ද, සාගරපුර විදුහලේ අබලන් වූ ගොඩනැගිල්ල සංවර්ධනය කර එහි පුස්තකාලයට අවශ්‍ය පොත් පත් ප්‍රදානයක්ද, ස්වයංරැකියා සඳහා සිමෙන්ති බ්ලොක් ගල් නිපදවන යන්ත්‍රයක්ද, යනුවෙන් මහා පින්කම් මාලාවක් පසුගිය දිනවල ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තිරියායේ පිහිටි ගිරිහඬු මහ වෙහෙර භූමියේදී සිදුකෙරිණ. එසේම මෙම අවස්ථාවේදී ප්‍රදේශයේ දරුවන් හතර දෙනෙක් පැවිදි කිරීමේ පින්කමක්ද පැවැත්විණි.

ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානයේ, මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේට දහම් පඬුරු වශයෙන් අවුරුද්දක දී ලැබෙන පිරිකර සහ සැදැහැවතුන් විසින් පරිත්‍යාග කරන අත්‍යවශ්‍ය භාණ්ඩ, දුෂ්කර ගම්මානවල පිහිටි විහාරස්ථානවල අඩුපාඩු සපුරාලීමේ පරමාර්ථයෙන් සිදුකෙරෙන්නා වූ එම පින්කම මෙවර පැවැත්වූයේ හත්වන වතාවටය.

තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතූන් වහන්සේ තැන්පත් කළ ස්ථානයේ ඉදිකළේ තිරියායේ ගිරිහඬු මහ වෙහෙර සෑය සැලැකේ. බුරුමයේ බෞද්ධයින් විසින් මහත් අභිමානයෙන් සලකන රැන්ගුන් නුවර ඝණ්ඨාකාරයෙන් ඉදිකර තිබෙන ලොව සුපතල ස්වේදගොන් චෛත්‍යයේ ඈතට දිස්වන රන්පව්වේ අසිරිය ගන්වමින් ,ගිරිහඬු මහ සෑය මතුපිට රන්වන් වියමනකින් සරසා, සෑය හාත්පස පුෂ්පයන්ගෙන් වර්ණවත්ව අලංකාර කරමින්, චතුමධුර සහිත අෂ්ඨපාන මහා පූජාමය පින්කම පසුගිය දිනක විහාරමළුවේ දී පැවැත්විණ.

මැල්සිරිපුර රණගිරි ආරණ්‍යසේනාසනාධිපති නුවරඑළියේ ඥානසිල හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ ගිරිහඬු සෑය සහ ශ්‍රී ආනන්දාරාමය විහාරාධිපති දෙවිනුවර චන්දිම හිමිගේ පූර්ණ අනුග්‍රහයෙන් පැවැති එම පින්කමට, මොරන්ඩුවේ රාහුල, නිග්‍රෝධාරාමයේ අනුරුද්ධ ,ගිංතොට චන්දිම ,ගන්දර ආනන්ද ,නාඋයන ආරණ්‍ය සේනාසනයේ අරියසුමන ස්වාමීන්වහන්සේලා ඇතුළුව භික්ෂූන් වහන්සේලා පණස්නමක් පමණ මෙන්ම ගිහි පින්වතුන් විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.


දිවුරුම්ගල රජමහා විහාරයේ පොල්හේන්ගොඩ උපරතන නායක ස්වාමින් වහන්සේට ගරුභණ්ඩ පූජා කිරීම

අරිච්චිමලේ නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් හා උපාධ්‍යායකත්වයෙන් ජනක ජයවර්ධන , සමීර සමන්කුමාර, අචින්ත සහ චන්දන කුමාර යන කුලපුත්‍රයින් හතරදෙනා පිළිවෙළින් කුකුන්නෑවේ වජිරවංශ, කුකුන්නෑවේ කෝලිතවංශ ,කුකුන්නෑවේ සමිතවංශ සහ කුකුන්නෑවේ ගෝතමවංශ නමින් ප්‍රවෘජත්වයට පත්කිරීමේ පින්කම එදින රාත්‍රී කාලයේ සිදු කෙරිණ.

පසු දින පෙරවරුවේ , ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ , තිරියාය මහා විහාරය , අරිසමලේ විහාරය, ආසිරිකන්ද පුරාණ රාජමහා විහාරය, ගල්කඩවල ආනන්ද විහාරය, අටේකණුව මහා විහාරය, ශ්‍රී රතනජෝති පිරිවෙන් විහාරය, ත්‍රිකුණාමලය ආනන්දාරාමය, කිඹුල්පැටියාව ගල්ලෙන් විහාරය, දිවුරුම්ගල රජමහා විහාරය, ඇතාවැටුනුවැව විහාරය, හලම්බාවැව පිරිවෙන විහාරය, හුරුලුමුණියාව රාජමහා විහාරය, සහ විලන්කුලම විහාරය යන විහාරස්ථාන දහ හතරක නායක ස්වාමීන්වහන්සේලාට එම විහාරස්ථානවලට ලී බඩු ඇතුළුව විහාරගෙයි උපකරණ සහ අත්‍යවශ්‍ය භාණ්ඩවලින් සමන්විත වූ ගරුභණ්ඩ පූජාව සිදු කෙරිණ.

අනතුරුව, කිවුල්කඩවර විද්‍යාලය, ත්‍රිකුණාමලය මැදවච්චිය විදුහල, සාගරපුර සිංහල විද්‍යාලය, පුලිකණ්ඩිකුලම විද්‍යාලය, එරක්කඩි විද්‍යාලය, නල්ලරාම ශාන්ත අන්තෝනි විද්‍යාලය, කල්අරාව ශාන්ත අන්තෝනි ,මයිලවැව විද්‍යාලය යන විදුහල්වල සිසු සිසුවියන් දෙසිය දෙනෙක් පමණ සංඛ්‍යාවකට අත්‍යවශ්‍ය පාවහන් ඇතුළුව පාසල් උපකරණ සහ පොත්පත් ප්‍රදානයක්ද සිදු කෙරිණ.

එමෙන්ම ස්වයං රැකියාවක් සඳහා සිමෙන්ති බ්ලොක් ගල් නිපදවන යන්ත්‍රයක්ද, කාන්තාවකට මහන මැෂිමක් ද ගැබිනි කාන්තාවන් තිස් දෙනෙකුට අත්‍යවශ්‍ය භාණ්ඩ ද, ප්‍රදේශයේ දිළිඳු පවුලකට නිවසක් ද, මෙම අවස්ථාවේදී පිරිනැමිණ.

එදින සවස් කාලයේදී ත්‍රිකුණාමල නගරයේ දරුවන් 52 දෙනෙකු ඉගෙනීම ලබන සාගල පුර විදුහලේ පිහිටි අබලන් වූ ගොඩනැගිල්ල සංවර්ධනය කර එහි පුස්තකාලයට අවශ්‍ය පොත්පත්ද ප්‍රදානය කෙරිණ.

දුෂ්කර ප්‍රදේශයක, නාවික හමුදාවේ කොමදෝරු, රියඅද්මිරාල් ඇතුළු නිලධාරින්ගේද යුද හමුදාවේ අණදෙන නිලධාරි ඇතුළු නිලධාරීන්ගේද අච්චුවේලි පොලිසියේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරින්ගේ ද සහාය ලැබීමෙන් එම පින්කම වඩාත් සාර්ථකව පැවැත්වීමට හැකියාව ලැබිණ. එමෙන්ම සෑය හා ඒ අවට විදුලි ආලෝකකරණය ත්‍රිකුණාමලයේ විදුලි අධිකාරිගේ මෙහෙයවීමෙන් සිදුකෙරිණ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය මත වෛද්‍ය අමානි මායාදුන්නේ මහත්මියගේ දායකත්වයෙන්, රුපියල් මිලියන දහයක පමණ වියදමක් දරා, ගිරිහඬු සෑය නිරාවරණය වනසේ වටදාගෙය වටා රන්වියමනකින් ඉදිකිරීම, මෙම වර්ෂය තුළ සිදුකෙරෙන බව එම පින්කම අවස්ථාවේදී මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමින් වහන්සේ සඳහන් කරන ලදී.


පැවිදි පින්කම


මිරහවත්තේ පඤ්ඤාසිරි හිමියන් දරුවෙකුට පාසල් උපකරණ ලබාදීම