Print this Article


පහන් සිතක කවි

අවුරුද්දටවත් වරෙන්

කරත්තයක් විතරක් ගිය ඉඳහිට “ඩොක ඩොක” සද්දෙට
මතක් කරන් බොරළු පාර ගල් පැතිරුණු ගුරු පැහැයට
මොකුත් එපා දැක්කම ඇති එක පාරක් මූණයි - කට
දොළොස් මහක් එන දාවත් වරෙන් පුතේ, මහ ගෙදරට

කෙසෙල් කැනක් පිළිකන්නේ නැතිව වගෙයි ඉවසිල්ලක්
දොර මුල්ලෙන් හැම තිස්සෙම එබිල බලයි කජු කුල්ලක්
කොටන් ආව රතු කැකුළෙන් අලුත් බතට වී ඩිංගක්
හිතන් ඉන්නෙ ගැට පොළෙසෙන් හදන්න මං රස ඇඹුලක්

රෑ තිස්පැය දකින හීන මට බලන්න හැබෑ ඇහින්
කිරිබත් දෙකටක් කවන්න සුබ නැකතට මගේ අතින්
අවුරුදු කුමරුන් වඩිනව වගේම මල් දෙවට උඩින්
වරෙන් පුතේ මහ ගෙදරට මං ඉන්නව පාර බලන්


බක් පොහෝ අසිරිය

සවිසත ගොඩලනුව දක්වනු පිණිස නිවන්
පෙව් දම් රසින් පුරවා යුග පුරා සවන්
මව් වැනි සුගත හිමි කාලය ගෙවා මෙවන්
දෙව්රම වැඩවසයි මෙත් ගුණ පුදා නුවන්

දැක මෙත් කුළුණු දිවැසට මා සුගත හිමි
දුක දැක නා කැලයේ යුද වැඳි සතුරු බැමී
රුක නුග සමිඳු දෙවි බුදු නා දිවට ගැටී
රැකගනු පිණිස වැඩියා ගඟ අහස් මිමී

පයතැබු විගස ලක්බිම කළුවර පෙන්වා
බිය හැර දමා හා කැල සතුටට ගෙන්නා
ජය ල ැබ දෙමින් මෙත් ගුණ හදවත දන්නා
පියවර සාමයෙන් යුද නිමකර දුන්නා

බුදු හිමි දෙසා ලටුකික ජාතක බණින්
සිදු කළ පස්වසින් බුදු බවලබා සැනින්
පිදු නිල් මැණික් පුටුවක් උන් වැටී දනින්
සුදු බුදු රැස් දිලුණි පොහෝ දින අපේ පිනින්


අවුරුදු පැතුම

සම්පත් සපිරි අටු කොටු පිරි බක් මාසේ
බාල මහලු හෙළ දැය පොබ සන්තෝසේ
වැට කොටු තුළ සැඟ වී රඹකැන් රහසේ
දම්දීපේ වුව සොර බිය ඇත බෝසේ

තුරු නිල්ලේ තැන තැන එරබඳු පොකුරු
සුරත් කැකුළු මල් පිපි අතු ඉති සොඳුරු
පරපුටු ගී රැව් ඉදහිට ඇසී මියුරු
සැරිසර හිරු යළි”බවනට” වඩින යුරු

සුවඳ හමන හෙළ කැවිළිය අතිරස අග්ගල
පිබිද ගෙතුළ බඳුන් රටාවම හැඩකළ
පැහැද සුබ නැකත් කිරි උතුරන කළ
නැමැද වැළද හරසර පුද නව වස සුනිමල

වැඩිහිටි ගුරු දෙගුරු නෑ මිතු ගෙට කැන්දා
බත බුලතින් තුටු වදනින් මන නන්දා
මල් මල් නිලා සට පට ඩොං හඬ වින්දා
හෙළ කෙළි රබන් තුටු ගොස ජය හද බන්දා

තුන්හෙළ නැවුම් රට දැය දිරිමත් වේවා
පින්බර දහම් දිව දැය දැහැමින් වේවා
තෙරුවන් ගුණෙන් නෑවී ගුණවත් වේවා
සතුටින් සාමයෙන් දැය දියුණුව වේවා


ඇරඹුම

සැමට පෙරින්
නැඟිට සොඳින්
නැමඳ බුදුන්
බැතිනි නිතින්

පසුව මෙතින්
මමද දුකින්
නිබඳ මිදෙම්
නිවන් දකිම්

සියල් සතුන්
දුකින් මිදෙන්
නිදුක් සුවෙන්
නිවන් දකින්

මෙලෙස සිතා
වැඩෙහි මනා
යෙදෙනු සොඳා
දවස ඉතා
සුබය දනා


මෙතේ බුදුන් දකිමි

මතු මතු පහළ වන සම්බුදු මෙත් රජුට
සුවඳැති මලින් සිරිපා යුග පුදන්න ට
උණුපැන් සිසිල් පැන් බඳුනක් පුදන්න ට
ආසයි සමිඳ! බුදු අසිරිය දකින්න ට

බුදුන් පහළ වන සමයේ කුල දුවක් වෙලා
යහපත් ගුණින් නුවණින් පිරි ලඳක් වෙලා
රන් රුවනින් තැනුව අසුනක වැඩම වලා
ආසයි දන් දෙන්න තුන්සිත පහද වලා

බුද්ධාසනය මත බුදුහිමි වැඩ ඉන්නේ
සුවඳැති මුව පියුම විකසිත කර මින්නේ
සුමධුර මනෝහර සදහම් දෙසමින්නේ
අසනා දහම මගෙ තුන් සිත පහදින්නේ

බුදුහාමුදුරුවන් බුදුබණ දෙසන විට
පසෙකින් බිම වැතිර දෙසවන් යොමන විට
තුන් සිත පැහැද මගෙ ගත සිත නිවෙන විට
පැමිණේවා! මගේ සිත සදහම් සුවයට

මේ පින් සිතිවිල්ල මගෙ හැම ඉටුවේවා
පින් කම් දශ කුසල් හැම විට සිදුවේවා
මගෙ භව ගමන හැම විට නිවැරැදි වේවා
මතු මෙත් බුදුන් දැක නිවනම හමුවේවා


රැකගනු මැනවි! සිත

ඇතුළත පිටත රැකවල් අතර තම නුවර
රකිනා රජෙක් මෙන් රැකගනු සිත පවර
දුලභ උතුම් මිනිසත් බව ලද මෙවර
නොම රැකුණොතින් සිත දුක් ගිනි උරුම වෙන