Print this Article


සුදු බුදු රැස් විහිදවන අසිරිමත් ලලාට ධාතුන් වහන්සේ

සුදු බුදු රැස් විහිදවන අසිරිමත් ලලාට ධාතුන් වහන්සේ

ලලාට ධාතුන් වහන්සේගේ අසිරිමත් ධාතු කථාවේදී අප සාකච්ඡා කළේ කාකවණ්න රජතුමා ධාතුන් වහන්සේ රැගෙන සේරුවිලට ළඟාවීම පිළිබඳවයි. අද එතැන් සිට. . . .

අදටත් තිබෙන වරාහ නම් ගල්තලාව මත ඇතා නැවතුණි. රජු විපරම් කරද්දී රහතන් වහන්සේ වදාළේ රජතුමනි, ස්තූපය ගොඩනැඟෙන භූමියට අප පැමිණ ඇත කියායි. විශාල ගලක් අසල පොඩි පොකුණක් විය. රජු ගල් පර්වතය උඩ දවසින් තාවකාලික මාළිගාවක් ඉදි කළේය. ඒ මාළිගාවේ ඇතා සමඟ ධාතුන් වහන්සේ තැන්පත් කළ අතර, ඒ ගල විද තිබෙන අයුරු අදටත් දකින්නට ඇත.

අවට තාවකාලිකව මණ්ඩප තනා පදිංචි වූ රජු විපරම් කරන්නේ ස්තූපය සෑදීමට සුදුසු භූමිය කුමක්ද? කියායි. ඉන්පසු රජු ඒ සඳහා උපක්‍රමයක් භාවිත කළේය. ඇතුන් හතර දෙනෙක් ගැටගසා අධිෂ්ඨාන කරන්නේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් ස්තූපය ගොඩ නැඟෙන්නේ මේ සමීපයේ නම් මේ ඇතුන් මහා සෑය ඉදිවෙන භූමියේ රැඳිය යුතුයි කියා. උදෑසන දකින්නේ ඇතුන් දම්වැල් කඩාගෙන ගොස් සිටි අයුරුයි. සොයා බලන විටි එක් භූමියක ඇතුන් හතර කොණේ රැකවල් ලා සිටියේය. ඒ හතර කොණ සෑයේ වාහල්කඩ හතර ඉදි විණ. පසුදා අශ්වයන්ද, ඊට පසුදා වෘෂභයන්ද, ගැටගසා මහා සෑය ඉදිවෙන තැන තවදුරටත් නිරීක්ෂණය කළ අතර, ඒ සියලුම දෙනා තෝරාගත් ස්ථානය තථාගතයන් වහන්සේ සමවත් සුවෙන් වැඩසිටි අද සෑය පිහිටි ස්ථානය යි. ඒ භූමිය පවා තීරණය වුණේ මහා ආනුභාවයකිනි.

මහා ස්තූපය ආරම්භවීම

ඉන්පසු රජු ස්තූපයේ වැඩ ආරම්භ කළේය. එයට අවශ්‍ය ගඩොල් මවා දුන්නේ දෙවිවරුන් විසිනි. දැන් ගඩොල් ස්තූපය හදන තැනට ගෙන එන්නේ කෙසේද? රජුට ප්‍රශ්නයකි. චුල්ලපිණ්ඩපාතික තිස්ස තෙරුන් වදාළේ ඇයි රජතුමනි, අපටත් පුළුවනි ගඩොල් ගෙනියන්න කියාය. උන්වහන්සේ ගඩොලක් අතට ගත්සේක. අනෙක් රහතන් වහන්සේ, ස්වාමින් වහන්සේ රජතුමා, මැති ඇමැතිවරු, සේනාපතිවරු ගඩොල බැගින් ගත්තේය. ඉතුරු වූ යම් ගඩොලක් වේද? දෙවියන් සහ නාගයන් විසින් ඒ ගඩොල් ගෙන ආයේය. සේරුවිල සෑයේ ගඩොල් රහතන් වහන්සේ, දෙවියන්, බඹුන්, නාගයන්, මිනිසුන් ආදීන් ගෙනා ගඩොලින් ගොඩ නැඟුණේය.

සෑ ගර්භය ඉදිවීම විශ්මිතය

ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කරන සෑ ගර්භය දැන් ඉදිවෙමින් පවති. ඉතාමත් මනරම්ය. ඒ දා ගර්භය දෙවැනි වන්නේ රුවන්මැලි මහා සෑයේ ගර්භයට පමණි. කාකවණ්න රජු බුද්ධ චරිතයේ සියලුම දේ සෑ ගර්භය රන්, රිදී, මුතු ,මැණිකෙන් අඹවා සුන්දර කෙරුණි. ආභාෂය මත දුටුගැමුණු රජුට රුවන්මැලි මහා සෑය ඉදිකිරීමේදී පිටුවහලක් වුණි. මේ ලෝකයේ පළමුවැනි සුන්දරම ධාතු ගර්භය සේරුවාවිල දා ගර්භය යි. ඊට පෙර ඉදිවූ සියලුම ස්තුප ගඩොලින් සෑ ගර්භය බැඳ ඒ මත ධාතුන් වහන්සේ තැන්පත් කිරීම සිදුවූයේ ය. නමුත් මුළින්ම මෙතරම් සුන්දර දා ගර්භයක් නිර්මාණය වුයේ සේරුවිල සෑයේ යි.

දා ගර්භය මැද ඇති සුන්දර පිළිම වහන්සේ

මේ ගර්භය මැද විශාල මාණික්‍යය ස්වර්ණ පිළිම වහන්සේ නමක් තැන්පත් වුණි. ඒ ස්වර්ණ පිළිමයේ ඇහිබැම සඳහා නිල් මාණික්‍ය කපා තැන්පත් කළේය. ඇස්වලට පත්මරාග මාණික්‍යයක් මත නිල් මාණික්‍යයක් ඔබ්බවා ඇත. ඌර්ණ රෝම ධාතුවට දියමන්ති ඔබ්බවා ඇත. කෙස් වලට නිල් මැණික් ඔබ්බවා ඇත. දැන් ධාතුන් නිදන් වෙන දවසයි. රහතන් වහන්සේ නාග ලෝකයෙන් කේශ ධාතුන් වහන්සේ දෙනමක් වඩමා තිබුණි. නාග ලෝකයට කේශ ධාතුන් වහන්සේ දෙනමක් ලැබුණේ කෙසේද?

තිරියායේ දී තපස්සු භල්ලුක දෙදෙනා කරඬුව තබා වෙළඳාමට ගොස් එන ප්‍රමාදයට “ජයසේන” නම් නා රජු නො දැනෙන්න එතැනින් කේශ ධාතුන් දෙනමක් ගත්තේය. ඒ කේශ ධාතුන් වහන්සේ නාගයන් හඬා වැළපෙද්දීම රහතන් වහන්සේ වඩමවා ඇත. නාගයන් පස්සේ පන්නා ගෙනවිත් සේරුවිල අසල රාව නම් ගල දෙබෑ කරමින් මතුවී හඬමින් ඉල්ලා සිටින්නේ ධාතුන් වහන්සේ ලබාදෙන ලෙසයි. නමුත් සෑයේ තැන්පත් වීමට එය උරුම නිසා විහාරමහා දේවියගේ අතේ ධාතුන් වහන්සේ වැඩම වූ කරඬුව තැන්පත් වුණි. කාවන්තිස්ස රජු ගෞරවයෙන් ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කරඬුව හිස තබාගෙන සිටියේය.

ධාතු තැන්පත් කිරීම

රජතුමා තුන් වතාවක් සෑය ප්‍රදක්ෂිණා කර කරඬුව හිසේ තබාගෙන අධිෂ්ඨාන කරන්නේ ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේගේ බුද්ධ ශාසනය බොහෝ කාලයක් සකල ලෝ සතට සෙත සලසන බව සැබෑනම්, මාගේ ශ්‍රද්ධාව සැබෑනම් මේ නව රියන් ප්‍රතිමාවේ ලලාට ධාතුන් වහන්සේ නළල් තලයේ පිහිටත්වා කියා අධිෂ්ඨාන කළේය. ධාතුන් වහන්සේ ආකාසයට පැණ නැග්ඟේය. දෙනෝ දහක් දෙනා අහස ගිඟුම්දෙන සාධුකාර පවත්වද්දී සුදුවන් රශ්මි දහරා නානා අයුරින් විහිදවමින් ප්‍රතිමා වහන්සේගේ තැන්පත්ව තිබූ ඌර්ණ රෝම ධාතුව ඉදිරියට මතු වී ලලාට ධාතුන් වහන්සේ නළලේ ඇතුළට කිඳා බැසගත් සේක. අදටත් ඒ ආකාරයටම ධාතුන් වහන්සේ පිහිටා ඇත.

ඉන්පසු විහාරමහා දේවිය අධිෂ්ඨාන කරන්නේ මගේ ශ්‍රද්ධාවත් ඉතා බලවත් ය. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, මාගේ අහිංසක අධිෂ්ඨානය වන්නේ බොහෝ කාලයක් සකල සතට සෙත සලසන ලෙස ධාතුන් වහන්සේ විරාජමානව වැඩ සිටිනවානම් මේ කේශ ධාතුන් වහන්සේ මේ ප්‍රතිමා වහන්සේගේ කේශ මතම පිහිටාවා කියායි. මොණරාගේ ගෙලේ පැහැය බඳු නිල් රශ්මිදහරා විහිදවමින් ආකාශයට පැන නැඟුªන ඒ කේශ ධාතුන් වහන්සේ පිළිම වහන්සේගේ නිල්මාණික්‍ය වටකරගෙන පිහිටි සේක. පහන් දැල්වූයේය. සුවඳ පැතිරුණේය. අදටත් ඒ පහන් එළෙසම දැල්වේ. සුවඳ ද එලෙසමය. බොහෝ මල් පූජා වුණි. අදටත් මල් පර නොවී තිබේ. ඒ රහතන් වහන්සේලාගේ සෘර්ධි බලය සහ අධිෂ්ඨාන බලය විය.

දැන් දා ගැබේ දොර වැසීමට නියමිතය. රජතුමා උසුලා ගත නොහැකි සෝකයෙන් හඬා වැටුණි. මා මෙතෙක් කල් වන්දනාමාන කළ ධාතුන් වහන්සේ අද සිට මට දකින්නට නො ලැබේ. මාගේ මරණය වුවත් මම මෙතැනින් නොයමි කියා හඬා වැටුණි. රහතන් වහන්සේ රජුට අනුකම්පා කොට සෘර්ධියෙන් රජුන් සෑ මළුවේ තැබුවේය. ඒ රජු ධාතුන් වහන්සේට ඇති ශ්‍රද්ධාවයි. ආදරයයි, ගෞරවය යි. සකල සතට සෙත සදමින් බුදුරජාණන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේ ලෙස වෙන් වූ ලලාට ධාතුන් වහන්සේ අදටත් විරාජමාන යි. ගන්ධකුටිවල පිදුම් ලැබුවේය.

සේරුවල මහා සෑයට අදටත් නොයෙක් උපහාර පූජාවන් කෙරේ. අද වනවිට පුෂ්පයෝ අනන්ත අප්‍රමාණව දෙනෝ දහක් දෙනාගේ සාදුකාර මධ්‍යයේ පිදේ. සෑය වඳින වඳින කෙනාට සෙත සැලසේ. උතුම් ලලාට ධාතුන් වහන්සේ බොහෝ දෙනාට සෙත සලසමින් චිරාත් කාලයක් වැජඹේවා. ඒ අනුහසින් සැමට සෙත් වේවා.

ඔබත් ඒ උතුම් සෑයට මෙසේ වන්දනා කරන්න.

ලංකා වධූ පියපති සිරි කාකවණ්න
තස්හව්හයේන මුනිරාජ ලලාටධාතුං
ගබ්භේ නිධාපිය සුනිම්මිත චාරුරූපං
වන්දාමි මංගල මහා ථූප ථූපරාජං

සිරිලක් අඟනගේ පි‍්‍රය ස්වාමී වූ ශ්‍රී කාවන්තිස්ස නම් රජු විසින් අප මුණිරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ මැනැවින් නිම වූ රන් බුදුරුවක නිධන්ගත කොට කරවන ලද මංගල මහා ස්තූප රාජයාණන් වහන්සේ මම වන්දනා කරමි.

සේරු නාමසරාසන්නේ සාරසී සරඨානගං
වන්දේ කාරිත තිස්සේන ලලාට ධාතු චේතියං

කාවන්තිස්ස මහරජු විසින් සේරු නම් විල්තෙර කරවන ලද ලලාට ධාතු චෛත්‍යරාජයා මම වන්දනා කරමි.

- නයනා නිල්මිණි


පසුගිය සතියෙන්:අසිරිමත් ධාතු පුරාණය 21 කොටස:  සේරුවිල මහා සෑයේ වැඩ සිටින ලලාට ධාතුන් වහන්සේගේ අසිරිය