Print this Article


සමාජ සබඳතා ඔප් නැංවෙන බක්මහ උළෙල

සමාජ සබඳතා ඔප් නැංවෙන බක්මහ උළෙල

බක් මහේ අලුත් අවුරුද්ද උදාවන්නේ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශිය දක්වා සංක්‍රමණය වීම හේතුවෙනි. සිංහල බෞද්ධ හා හින්දු භක්තිකයින් මෙම අලුත් අවුරුදු උදාව සැමරීමට එක්වනුයේ ඉමහත් උනන්දුවකින් හා ඇල්මකින් යුක්තවයි.

සෞභාග්‍යයෙන් හා සශ්‍රීකත්වයෙන් යුත් මෙම බක්මහ බෙහෙවින්ම භාග්‍යවන්ත මාසයකි. තුරුලතා මල්ඵලවලින් බරව විසිතුරු සියොතුන්ගේ මිහිරි නාදයෙන් නෙත සිත පිනවන සුවබර සමයක් බක් මහෙන් ඇරැඹෙයි. වගා කළ කෙත්වතුවල අස්වනු නෙළා නිමකළ ගොවීහුද බක්මහ වන විට අටුකොටු පුරවා නිවෙස් තුළ මහත් සැනසිල්ලෙන් ජීවත් වෙති.

බක් මහේ අලුත් අවුරුද්ද උදාවන්නේ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශිය දක්වා සංක්‍රමණය වීම හේතුවෙනි. සිංහල බෞද්ධ හා හින්දු භක්තිකයින් මෙම අලුත් අවුරුදු උදාව සැමරීමට එක්වනුයේ ඉමහත් උනන්දුවකින් හා ඇල්මකින් යුක්තවයි.

ලංකාවේ පණ්ඩුකාභය රාජ්‍ය සමයේ පටන් ඇරැඹි මෙම සිංහල දෙමළ අවුරුද්ද සූර්යයා මුල්කොටගෙන පවත්වන උළෙලක් බව පෙනී යයි. මෙකල එයට “සුර්ය මංගල්‍යය” යන නමද ව්‍යවහාර කෙරෙයි. එහෙත් අප පුරාතන උත්සව බොහොමයක් යෙදී තිබෙනුයේ චන්ද්‍ර මාස ක්‍රමය අනුවයි. සූර්යයා මුල්කරගෙන පවත්වන එකම උළෙල මෙම බක්මහ උළෙලයි. අනෙකුත් උත්සවවලට වඩා මෙහි ඇති තවත් විශේෂ වෙනස නම් සමාජ ප්‍රතිසංස්කරණ උත්සවයක් හෙවත් මුළු සමාජයම යම් වෙනසකට මුල පුරණ උත්සවයක් වීමයි.

මෙම සූර්ය මංගල්‍යය හා සමගාමීව සතියක් පුරා පැවැත්වෙන උත්සව අතරට

නව සඳ බැලීම

පරණ අවුරුද්ද සඳහා ස්නානය

අලුත් අවුරුදු උදාව

පුණ්‍ය කාලය

ආහාර පිසීම

වැඩ ඇල්ලීම

ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

හිසතෙල් ගෑම

රැකී රක්ෂා සඳහා පිටත්ව යාම යන අංග ඇතුළත් වෙයි. බෞද්ධ සංස්කෘතිය උරුමව පවත්නා අප රටට බෙහෙවින්ම ගැළපෙන චාරිත්‍ර මුසු වූ උත්සවයක් ලෙස මෙය හැඳින්විය හැකි වන්නේ ඉහත දැක් වූ අවස්ථාවන්හිදී ක්‍රියාත්මක කෙරෙන සංස්කෘතික වටිනාකම් සහිත ක්‍රියාකාරකම් දෙස විමසිලිමත්ව බැලීම තුළිනි.

පැරැණි අවුරුද්ද ලෙස හඳුන්වන්නේ නව අවුරුදු උදාවට පෙර දිනයයි. මෙම පැරණි අවුරුද්දට බොහෝ දෙනෙක් නුගපත් යුෂ හිස ගා ස්නානය කරති. සිංහල අවුරුද්දේ කිසියම් නැකතක් නොමැති වේලාව ‘නොනගතය’ යනුවෙන් හැඳින්වේ. එහිදී සියලු වැඩකටයුතු අත්හැරිම චාරිත්‍රයයි. විහාරස්ථානවලට ගොස් ආගමික කටයුතුවල නිරතවීම පමණක් මෙහිදී සිදු කෙරෙන අතර එම නිසාම මෙය ‘පුණ්‍ය කාලය’ ලෙස ද හැඳින්වේ. මෙය එතරම් සුබ වේලාවක් නොවන නිසා මෙසේ පුණ්‍ය කටයුතුවල යෙදීම සුදුසු වන බව ඡ්‍යොතිෂයේ ඉගැන්වේ.

ළිප ගිනි මෙලවීමෙන් නව අවුරුද්ද උදා වෙයි. නියමිත නැකැත් හෝරාවට කලින් ළිප තුළ ගිනි අඟුරු තබා ගැනීම සිදු නොකරයි. නියමිත නැකතටම ළිප ගිනි මෙලවීම සිදු කරයි. නියමිත නැකැත් හෝරාවට දැල්වූ ළිපෙන් කිරි ඉතිරවීම ද මෙහිදී සිදු කෙරේ. මේ සඳහා පොල් කිරි හෝ එළකිරි යොදා ගැනෙයි. මීට භාවිත කරනුයේ නැවුම් මුට්ටියකි. ඉන්පසු ආහාර පිසීම සිදු කෙරේ. කිරි උතුරා යාම සෞභාග්‍යයේ හා සශ්‍රීකත්වයේ සංකේතයක් වන හෙයින් මෙම චාරිත්‍රය වාසනාව ගෙට කැඳවාගෙන ඒමක් ලෙස විශ්වාස කෙරෙයි.

ආහාර අනුභවය සිදු කෙරනුයේ මෙයින් පසුවයි. ආහාරය සත්ත්වයාගේ ප්‍රධානතම අවශ්‍යතාවයකි. එය ජීවය ගෙනදෙන ප්‍රධාන සාධකයයි. එබැවින් නව වසරේ චාරිත්‍ර අතර මෙම ආහාර අනුභවය ද ප්‍රමුඛත්වයක් ගනියි. බිම පැදුරු එලා ඒ මත වාඩි වී ආහාර අනුභව කිරීම පුරාණ චාරිත්‍රයයි. එහෙත් දැන් ඒ වෙනුවට ‘අවුරුදු කෑම මේසය’ යොදා ගැනේ. එහි කිරිබත සේම විශේෂයෙන් කැවුම්, කොකිස්, අතිරස, කෙසෙල්ගෙඩි යනාදිය තබා තිබේ. මෙම කෑම මේසය ඉඳුල් කිරීම සඳහා ගමේ සද්ගුණවත් ප්‍රභූවරයෙකුට ආරාධනා කෙරෙයි.

ආහාර අනුභවයෙන් පසු ගනුදෙනු කිරීමේ නැකත උදාවෙයි. බොහෝවිට සිදුවන්නේ ආහාර අනුභවය සඳහා ආරාධනා ලැබූ ප්‍රභූවරයා අතින්ම මූලික ගනුදෙනුව සිදුවීමයි. පසුව පවුලේ සාමාජිකයන් අතර ගනුදෙනු හුවමාරු කර ගැනීම සිදුවෙයි. පසුව වැඩ ඇල්ලීමේ චාරිත්‍රය සිදු කරන අතර එහිදී කිරි ගහකට කෙටීම සිරිතක් වන අතර පුරාණ ක්‍රමයට අනුව උදැල්ලක් ගෙන හේනේ, ගෙවත්තේ හෝ කුඹුරේ වැඩ ඇල්ලීම සිදු කරයි.

අවුරුදු චාරිත්‍ර අතර හිසතෙල් ගෑමට ද ප්‍රමුඛස්ථානය හිමිවෙයි. මනා ශරීර සෞඛ්‍යයකින් ජීවත්වීමට හා මිනිස් ජීවිතයට හිස ප්‍රධාන වන හෙයින් ඊට යෝග්‍ය සෞඛ්‍ය සත්කාර සිදුකිරීම මෙහි අරමුණයි. එබැවින් මෙම හිස තෙල් ගෑමේ චාරිත්‍රය පුරාතනයේ පටන් සුබ නැකතින් ඉතා භක්තිමත්ව සිදු කළ කාර්යයකි. මේ සඳහා හිසට උඩින් එල්ලීමටත් පයට පෑගෙන සේ තැබීමටත් විවිධ ඖෂධීය ගුණයෙන් යුත් කොළ වර්ග ඒ ඒ වසර අනුව වෙනස්වෙමින් යොදා ගැනෙයි. ඖෂධීය පත්‍රවලින් සකස් කරගත් නානු හිස තෙල් ගෑම සඳහා යොදා ගැනෙයි. මෙම චාරිත්‍රය බොහෝවිට ගමේ විහාරස්ථානයේ දී භික්ෂූන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන්නකි. මෙකල හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය රටේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තෝරාගත් යම් ස්ථානයකදී පැවැත්වීම තුළින් ප්‍රකට වනුයේ ද මෙම චාරිත්‍රයෙහි ඇති වටිනාකමයි.

සියලු අලුත් අවුරුදු චාරිත්‍ර නිමවා පෙර සේ යළිත් සිය සුපුරුදු රැකීරක්ෂා කටයුතු සඳහා නික්ම යනුයේ ද සුබ නැකැත් හෝරාවක් තුළය. ගෙවී ගිය වසරේ දී මෙන්ම ඉදිරි වසරේ දී ද රැකියාව හා සම්බන්ධ සියලු කටයුතු සාර්ථකව පවත්වාගෙන යාම මෙහි අදහසයි. මෙහිදී පළමුව තෙරුවන් වන්දනා කොට දෙවියන්ට පින් දී නියමිත වර්ණයෙන් යුත් ඇඳුම් හැඳ රැකියාවට නික්මයාම සිරිතයි.

අද බොහෝදෙනෙකු ගත කරනුයේ ඉතා කාර්යබහුල ජීවිතයයි. එයින් මොහොතකට මිදී පවුලේ සාමාජික පිරිස හා අවට ඤාතිහිතවතුන් සමඟ නිදහසේ සොම්නසින් කාලය ගත කිරීමට මෙම අවුරුදු චාරිත්‍ර බෙහෙවින්ම මහෝපකාරී වනු ඇත. මෙහිදී සිදු කෙරෙන තවත් වැදගත් කාර්යයක් නම් අසල්වාසීන් සමඟ යම් සුළු සුළු කරුණු මුල්කරගෙන පවත්නා අසමගි අමනාපකම් දුරුකර ගැනීමයි. ඒ සඳහා බුලත් අතක් දී ආචාර කිරීමෙන් සුහදතාව පළ කිරීම සිදු කෙරේ. එබැවින් පලුදු වී යන සමාජ සබඳතා ගොඩනගාගෙන සුහදත්වයෙන් යුතුව කටයුතු කිරීමට ද මෙම අවුරුදු සමයේ අවස්ථාව උදාවෙයි.

සංස්කෘතික වශයෙන් පමණක් නොව සමාජ විද්‍යාත්මකව විමසා බැලූ කල ද ඉතා වටිනා චාරිත්‍ර ලෙස අවුරුද්ද වෙනුවෙන් සිදු කෙරෙන නැකතට එකාවන්ව එක්සිත්ව සිදුකරන කණ්ඩායම් ක්‍රියාකාරකම් පෙන්වාදිය හැකිය. මුළු රටම එසේ එකමුතුව ක්‍රියාත්මක වුවහොත් එය රටට ද මහත් ආශිර්වාදයක් වනු ඇත. එසේ කරනු වෙනුවට ඇතැම්හු මෙම සද් චාරිත්‍ර අවතක්සේරුවෙන් බැහැර කරති. හරවත් සංස්කෘතික අංග කෙරෙහි අනවබෝධයෙන් පසුවන එවැනි විපරීත අදහස් ඇත්තවුන් ගේ ක්‍රියා පිළිවෙත අපට රටක්, ජාතියක් වශයෙන් ඉදිරියට යාමට බාධාවක් වෙයි. මෙම බක්මහ උළෙල ආගමික වටපිටාවක් තුළ සද්ධාව පෙරදැරි කරගෙන ධාර්මික විනෝදයෙන් ගත කිරීමට ලොකු කුඩා සැවොම අදිටන් කර ගත යුතු ය.