Print this Article


අඳුරෙන් එළියට

අඳුරෙන් එළියට

පුද්ගලයා දහමෙන් ඈත්වීමත් සමඟ ඔහු හෝ ඇය නොදැනීම අකුශලයට, පාපගාමී, මාර්ගවලට නොදැනීම යොමු වීම නිරායාසයෙන්ම සිදුවේ. ලෝකයේ දේව ධර්ම ලෙස හැඳින්වෙන හිරි සහ ඔත්තප්ප යන ධර්මතා පිළිබඳව නොදැනීම හෝ තැකීමක් නොකිරීම මෙහිදී සිදුවන ප්‍රධාන දුර්වලතාවයයි.

හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ යැයි අපේ සිංහල ජන වහරේ කියමනක් ඇත. එයින් කියවෙනුයේ දියුණු වන තැනැත්තා හෝ හරි මඟ යන්නා කලින්ම දැන හැඳින ගත හැකි බවයි. බොහෝ පිරිස් මඟ නොමඟ නොදැන හරි මඟ යැයි සිතා නොමඟ යති. අතලොස්සක් පිරිස යහමඟ යනු බව පෙනේ.

සමාජය තුළ විද්‍යාමාන පුද්ගලයන් අතර ඔවුන් ගමන් කරණු ලබන පැති සතරක් කියවෙන අංගුත්තර නිකායේ තමොතමපරායන සූත්‍රය ජීවිතයට බොහෝ පාඩම් රැසක් කියා දෙන සූත්‍රයකි. එහි පුද්ගලයන් සතර දෙනෙකු පෙන්වා දී ඇත.

1. තමො තම පරායනො
2.තමො ජොති පරායනො
3.ජොති තම පරායනො
4.ජොති ජොති පරායනො

1. ‘තමො තම පරායන’ යන පුද්ගලයා අඳුරෙන් අඳුරටම යන අයෙකු ලෙස පෙන්වා දී ඇත. උපත ද දුක්ඛිත අඳුරු තැනක වන අතර ඔහු තවදුරටත් පාප ක්‍රියාවන් හි නියුතු වන බැවින් අඳුරෙන් තවත් අඳුරට ගමන් කරනු ලබයි.

2.තමො ජොති පරායන ‘ මෙම පුද්ගලයා උපතින් අඳුරු පාපි තැනක උපත ලැබුවද ,පාපයන්ගෙන් මිදී පින් කටයුතු වල නියැළීම හේතුකොට ගෙන අඳුරෙන් එළියට ගමන් කරනු ලබන වීර්යවන්ත තැනැත්තෙකි.

3.ජොති තම පරායන යනු උපතින් ආලෝකමත් පුණ්‍ය වන්ත තැනක උපත ලැබුවද ,පවට බර වීම තුළ ආලෝකයෙන් අඳුරට යන තැනැත්තායි.

4. ‘ජොති ජොති පරයන’ යන තැනැත්තා ආලෝකයෙන් ආලෝකයටම යන තැනැත්තායි. එනම් පුණ්‍යවන්ත තැනක උපත ලබා පුණ්‍ය කටයුතුවලම නියැළීම තුළින් ආලෝකයෙන් ආලෝකයටම ගමන් කරනා සත්පුරුෂයෙකි.

එසේ හෙයින් ආලෝකයෙන් අඳුරට නොගොස් ආලෝකයෙන් ආලෝකයටම ගමන් කිරීමට නුවනැත්තො වෙර වඩත්වා.

හිරි ඔතප්ප පිළිබඳව ඔබ දැනුවත් ද?

පුද්ගලයා දහමෙන් ඈත්වීමත් සමඟ ඔහු හෝ ඇය නොදැනීම අකුශලයට, පාපගාමී, මාර්ගවලට නොදැනීම යොමු වීම නිරායාසයෙන්ම සිදුවේ. ලෝකයේ දේව ධර්ම ලෙස හැඳින්වෙන හිරි සහ ඔත්තප්ප යන ධර්මතා පිළිබඳව නොදැනීම හෝ තැකීමක් නොකිරීම මෙහිදී සිදුවන ප්‍රධාන දුර්වලතාවයයි. “හිරි’ යනු පව් කිරීමට ඇති ලජ්ජාවයි. “ඔත්තප්ප යනුවෙන් හඳුන්වනුයේ පව් කිරීමට ඇති භයයි. සද්පුරුෂ සාධු සම්මත ජනයා අකුශලයට බියවන වැරැදි කිරීමට අකැමැති, වරද පිටු දැකීමේ කරුණු සතරක් බුදුදහමේ පෙන්වා දී ඇත. එනම්

1.අත්තානුවාද භය
2පරානුවාද භය
3.දණ්ඩ භය
4.දුග්ගති භය යනුවෙනි

1.මෙහි අත්තානුවාද භය යනු වරදක් කිරීමෙන් පසු තම සිතෙන් තමාහට පසුතැවිලි වීමට සිදුවීමය. එනම් තම හෘද සාක්ෂිය විසින් තමා හට දොස් නගයි යන බයෙන් වැරැදි නොකිරීමය.

2. පරානුවාද භය යනු සමාජයේ වෙසෙන අනෙකුත් පුද්ගලයන්ගෙන් තමා හට දොස් ඇසීමට සිදුවේ යැයි සිතමින් වැරදි කිරීමට බිය වීමයි.

3.දණ්ඩ බිය යනු රට තුළ පවතින නීතිය මගින් තමන්හට වැරදි කිරීමෙන් දඬුවම් ලැබේයැයි යන බියෙන් වැරැදි කටයුතු වලින් වෙන්වීමයි.

4.දුග්ගති භය යනු වැරැදි කිරීම තුළ මරණින් මතු අපායගාමි වේ යන හැඟීමෙන් වරදින් වෙන්වීමයි.

මෙකී කරුණු හතරෙන් කුමන කරුණක් ගැන සිතා හෝ වැරැදි තුළින් වෙන් වේ නම් එය සමාජයේ ජීවත්වන සියලු සමාජ වැසියනට කරනු ලබන අනුග්‍රහයකි. එමෙන්ම එය තමා හටද කරගනු ලබන්නා වූ සාධු සම්මත ක්‍රියාදාමයකි. එහෙයින් සුදනෙනි එය මෙනෙහි කරණු.