Print this Article


භාෂාව තුළින් සාමය හා සන්හිඳියාව

භාෂාව තුළින් සාමය හා සන්හිඳියාව

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව අනුග්‍රහයෙන් මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ භික්ෂූන් වහන්සේලා උදෙසා දියත් කළ දෙමළ භාෂා පුහුණූ වැඩසටහනේ සමාරම්භක සැසිය 2002 අගෝස්තු 24 වනදා පැවැත්විණි.

යුධ ගැටුම් ඉතා දරුණුව පැවති යුගයක, මෛත්‍රීය, කරුණාව හා දයාවෙන් ඔපවත් වූ සම්බුද්ධ ධර්මය ප්‍රචලිත කිරීම තුලින් ජාතීන් අතර සමඟිය හා සන්හිඳියාව ඇති කිරීම අතිශයින් වැදගත් විය .ඒ සඳහා භික්ෂූන් වහන්සේලාට දෙමළ භාෂා දැනුම ලබා දීම සාර්ථක මාවතකි. මේ පිළිබඳව රාජ්‍ය භාෂා කොමසාරිස් වශයෙන් සේවය කළ (2001-2004) කාලය තුළදී රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුග්‍රහය ඇතිව ප්‍රධාන පන්සල් කීපයකම භික්ෂූන් වහන්සේ සඳහා දෙමළ භාෂා පුහුණු ව්‍යාපෘති රැසක් දියත් කරන ලදී.

එම වැඩ පිළිවෙළ පිළිබඳව එවකට ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ අධිපතිධූරය දැරූ අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ඡා කළ අවස්ථාවේදී ප්‍රමාද වී හෝ මෙම කාලෝචිත වැඩපිළිවෙළ ආරම්භ කිරීම ඉතා වැදගත් බව පෙන්වා දෙමින් උන්වහන්සේගේ පූර්ණ ආශිර්වාදය ලබාදී ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමට අවශ්‍ය විධිවිධාන යෙදවීම ගෞරව පූර්වකව සිහිපත් කරමි. මහානායක ස්වාමීන් වහන්සේ ආරම්භක අවස්ථාවට කෙසේ හෝ සහභාගි වන බව මා වෙත දැන්වූයේ තවදුරටත් ධෛර්යමත් කරමිනි.

දෙමළ භාෂා පුහුණු වැඩසටහනේ සමාරම්භක සැසියට මහානායක ස්වාමින් වහන්සේ සහභාගි වූයේ පොරොන්දුව ඉටු කරමිනි. එදින ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේද ධර්මායතනයේ වැඩ සිටි අතර මා හදිසියේම කළ ආරාධනාව සතුටින් පිළිගෙන සමාරම්භක සැසියට සහභාගි වී අවශ්‍ය ගුරුහරුකම් දෙමින් අවසානය දක්වාම මඟ පෙන්වීම කෘතඥතා පූර්වකව අගය කරමි.

මල්වතු අස්ගිරි මහා පිරිවෙන්හි අධිපති අතිපුජ්‍ය නායක ස්වාමින් වහන්සේලා දෙනම මුණගැසී භික්ෂූන් වහන්සේලාට දෙමළ භාෂාව ඉගැන්වීම පිළිබඳව සාකච්ඡා කළ අවස්ථාවේදී මහත් පී‍්‍රතියෙන් යුතුව පූර්ණ එකඟතාවය දක්වන ලදී. අස්ගිරිය පිරිවෙනේ දියත් කළ දෙමල භාෂා පුහුණු වැඩසටහන ඉතා සාර්ථකව අවසන් කළේය. ජාතීන් අතර සාමය සන්හිඳියාව අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා සිංහල අය දෙමළත්, දෙමළ අය සිංහලත් ඉගෙනීම ශක්තිමත් දම්වැලකි.