Print this Article


හග්ගල ශ්‍රී සංඛගිරි විහාරෝත්සවය

හග්ගල ශ්‍රී සංඛගිරි විහාරෝත්සවය

මධ්‍යම පළාතෙන් ඌව පළාත වෙන්වන පළාත් මායිම තුළින් දිස්වන මනස්කාන්ත විහාරය ලෙස හග්ගල ශ්‍රී සංඛගිරි විහාරස්ථානය හැඳින්විය හැකිය. නුවරඑළියේ සිට ඌව පළාතට පිවිසෙන විට හග්ගල උද්භිද උද්‍යානය ආසන්නයේ පිහිටා ඇති මෙම භූමිභාගය දර්ශනීය වූ වැලිමඩ සානුව නෙතට ගැටීමෙන් දෙස් විදෙස් සංචාරකයන්ගේ මනබඳීනා ස්ථානයක් හැටියට ආකර්ෂණය වී ඇත.

ශ්‍රී සංඛගිරි විහාරස්ථානය සියලු විහාර අංගයන්ගෙන් පරිසමාප්ත වී ඇත. දර්ශනීය බෝධිඝරය හා බෝධි ප්‍රාකාරය මෙන්ම වාහල්කඩ සහිත නවාංග රැසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් අපේ‍්‍රල් 04 වන දින විවෘත කිරීමට නියමිතව තිබිණි. රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මැතිතුමන්ගේ ආරාධනයෙන් ජනාධිපතිතුමන් සහභාගි වන එම උත්සවයේ මුලසුන ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත ග්‍රන්ථ විශාරද රාජකීය පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සරාභිධාන ස්වාමිපාදයන් වහන්සේ විසින් දරනු ලැබිණි. ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මැතිතුමන් ඇතුළු දේශපාලන ප්‍රභූවරුන් සහභාගි වන ධර්ම සභාවට මහා සංඝරත්නය සහභාගි වෙති.

හග්ගල ශ්‍රී සංඛගිරි විහාරස්ථානය ප්‍රතිෂ්ඨාපනය කිරීමට උෑමෑලේ ශ්‍රී පඤ්ඤානන්ද මාහිමිපාණන් වහන්සේ මුල් විය. මෙම ආරාමයේ මූලික කර්තව්‍යයන් ඉටුකිරීමට උඩරට අමරපුර මහානිකායේ අධිකරණ සංඝනායක ධුරයට පත් වූ ආභිධම්මික පේරවැල්ලේ පඤ්ඤාසේන නාහිමිපාණන් වහන්සේ සිදුකළ මෙහෙය අප්‍රතිහතය. මෙතුමන් විහාරය හා පන්සල නිර්මාණය කරමින් සීතාඑළිය, කටුමාන, හග්ගල, මහගස්තොට, ගම්මල ජනතාවට සිදුකළ මෙහෙය උත්තුංගය, අනතුරුව, විහාරාධිපති පදවියට පත් වු උඩරට අමරපුර සාමගී‍්‍ර සංඝසභාවේ අධිකරණ නායක ධුරන්ධර දවුල්දෙන ධම්මසිද්ධි නාහිමිපාණන් ශ්‍රී සංඛගිරි විහාරස්ථානය දියුණු කරමින් සිදුකළ උදාරතර මෙහෙය පැසසිය යුතුය.

උන්වහන්සේ බිබිලේ ගුණානන්ද හිමියන්ද , විචිත්‍රභාණක දවුල්දෙන පඤ්ඤානන්ද හිමියන්ද පැවිදි කොට ජාතික, ආගමික, සමාජ සේවාවන් තවදුරටත් පෘථුල කරවූහ. දවුල්දෙන ධම්මානන්ද නා හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයෙකු වු ආචාර්ය බිබිලේ ගුණානන්ද හිමියන් අනුප්‍රාප්තික විහාරාධිපති ධුරයට පත්ව ශ්‍රී සංඛගිරි විහාරස්ථානය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කළේය. ශී‍්‍ර ලංකාවේ විදුහල් රාශියක අධ්‍යාපන සේවය සිදු කළ මෙතුමෝ කැප්පෙටිපොල මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ධුරය ද දැරූහ.

දෙමහල් ධර්ම ශාලාව හා අභිනව සංඝාවාසය තැනු මුන්වහන්සේ බෝධිඝරය හා තොරණ ද වාහල්කඩ ද නිර්මාණය කරවීය. ආරාමික පැරණි අංග නිර්මාණය සංස්කරණය කොට නවාංග රැසක් විහාරස්ථානයට එක් කරමින් රුපියල් අසූ ලක්ෂයක පිරිවැය දරමින් දායක සභාවේ උදව් උපකාර ලබා ආරාමික පරිසරය මනස්කාන්ත පරිසරයක් බවට පත්කරවීය.

මෙතුමන් සපුගොල්ල පියරතන පිරිවෙනේ නියෝජ්‍ය පරිවෙණාධිපති ශාස්ත්‍රවේදි මතුරට විජිතනන්ද හිමිගේ සහාය ලබමින් ගම් රාශියක ආගමික, ජාතික හා සංස්කෘතික මෙහෙවර පෘථුල කරමින් ක්‍රියා කරනු ලැබේ. බොරගස් ශී‍්‍ර ධම්මසිද්ධි දහම් පාසල හා හග්ගල විහාරස්ථාන දහම් පාසල අරඹා ශිෂ්‍යයන්ගේ ගුණ නුවණ දියුණු කිරීමට හග්ගල ශ්‍රී සංඛගිරි විහාරස්ථානයෙන් සිදුවන මෙහෙවර අවියෝජනීය වූවකි.

ශ්‍රී සංඛගිරි විහාරාධිපති ආචාර්ය බිබිලේ ගුණානන්ද හිමියන් විසින් සිදු කරන අනගිතම මෙහෙවර අගය කළ උඩරට අමරපුර සාමගී‍්‍ර සංඝසභාව මගින් මෙතුමන්ට “ශ්‍රී ධම්මසිද්ධි ධම්මානන්ද වංසාවතංස යන ගරු නාම සම්මුතිය සහිත ඌව නැගෙනහිර දෙපළාතේ සංඝනායක පදවිය ද පිරිනමනු ලැබීය.

04 වන දින විවෘත කිරීමේ උළෙලට සමගාමීව පින්කම් රැසක්ද ශ්‍රී සංඛගිරි විහාරස්ථානයේදී සිදුවීමට නියමිතව තිබිණි.