Print this Article


හෝමාගම කිරිවත්තුඩුවේ ඉදිවන ගුරුදෙව් සුවඅරණ භික්ෂු රෝහල

හෝමාගම කිරිවත්තුඩුවේ ඉදිවන ගුරුදෙව් සුවඅරණ භික්ෂු රෝහල

“පූතිගත්තතිස්ස” තෙරුන් වහන්සේ රෝගීව කිසිවෙකුගේ පිළිසරණක් නොමැතිව සිටි අවස්ථාවේ අසරණ සරණ වූ, අනාථනාථ වූ මාගේ බුදුපියාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් සමඟ එම ස්ථානයට වැඩමකොට පැන් උණුකර පූතිගත්තතිස්ස තෙරුන් නහවා, කයට යම් සුවයක් ලබා දී ධර්ම දේශනා කර මනස සුවපත් කළ සේක. එවේලෙහි බුදුපියාණන් වහන්සේ දේශනා කළේ යමෙක් රෝගීනට උපස්ථාන කෙරෙත් නම් ඔහු මට උපස්ථාන කළ හා සමාන බවයි.

බුද්ධ ශාසනයට ඇතුළත්වන ශ්‍රාවක සංඝයාට - සංඝයා වහන්සේම පිහිට විය යුතු බවද බුදුරදුන් එහිදී වැඩිදුරටත් දේශනා කර ඇත. මේ බුද්ධ දේශනාවට ගරු කළ අපේ පැරැණි ඇත්තන් මෙන්ම දැනටත් දායක දායිකාවන් දානයක් පූජා කළත්, ආගන්තුක හිමිවරුනට ගමින් ගමට වඩින හිමිවරුනට හා විශේෂයෙන් රෝගී හිමිවරුනට දානයක්, ගිලන් පසක් පූජා කිරීමෙන් විශේෂ කුසලයක් අත්වන බව දනිති.

නුගේගොඩ කොහුවල ශ්‍රී ධාතුමළු විහාරාධිපතිව වැඩවිසූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී විචිත්‍ර දේශකයාණන් නමක් හා ග්‍රන්ථ කර්තෘවරයාණන් වහන්සේ නමක් වූ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී මාපලගම සිරි සෝමිස්සර හිමිපාණන් වහන්සේගේ අදහසක් ක්‍රියාත්මක කරමින් උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය වර්තමාන විහාරාධිපති ශාස්ත්‍රපති පිටිගල සෝණුත්තර හිමිපාණන්ගෙන් ගුරු උපහාරයක් ලෙස හෝමාගම කිරිවත්තුඩුවේ ‘ගුරුදෙව් සුව අරණ’ නමින් භික්ෂු රෝහලක් සඳහා ඉකුත් 20 වැනි දින මුල්ගල් තබන ලදී.


ආරාධිත අමුත්තන් විසින් මුල්ගල් තබමින්...

එම උත්සවය ආරම්භ වූයේ එදින උදේ 09.30 ට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිල නිවසෙනි. මෙම උත්සවය සඳහා ශ්‍රී ධාතුමළු විහාරාධිපති පිටිගල සෝණුත්තර හිමියන්ගේ ආරාධනයෙන් දකුණු කොරියාවේ තෙගු නුවර බෞද්ධ රෝහලෙහි නිර්මාතෘ හා අධ්‍යක්ෂ නෙන්හෙයුන් භික්ෂුණිය ප්‍රධාන හැටපස් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මේ සඳහා පැමිණි අතර විහාරස්ථානය සතුව පැවති සර්වඥ ධාතූන් වහන්සේ නමක් ජනපතිතුමන්ගේ සුරතින් රාජ්‍ය ගෞරව සහිතව එම විශේෂ දූත පිරිසට පිළිගන්වන ලදී.

සර්වඥ ධාතූන් වහන්සේ ඉතාම ගෞරවයෙන් භාරගත් එම භික්ෂුණිය අතිගරු ජනපතිතුමන් සමඟ පැයක පමණ කාලයක් භික්ෂු රෝහල පිළිබඳව හා ඒ තුළින් දෙරටෙහි සබඳතා ගොඩනැගෙන ආකාරය පිළිබඳව ඉතා සුහදව සාකච්ඡා කරන ලදී. භාෂා පරිවර්තනය කරමින් ඉමහත් සහයෝගයක් දැක්වූයේ මේ සියල්ලෙහි නියමුවාණන් වහන්සේ වන දකුණු කොරියාවේ තේගු නුවර ශ්‍රී ලංකාරාමාධිපති ශාස්ත්‍රපති කටුවන විජිතවංස හිමිපාණන්ය.

ජනපති නිලමැදුරෙන් අලංකාර ලෙස සරසන ලද “සිද්ධාලේප” රියෙහි තැන්පත් කරන ලද සර්වඥ ධාතූන් වහන්සේ සහිත කරඬුව ශ්‍රී ධාතුමළු විහාරයට රිය පෙරහරකින් වැඩම කර ගෙන ආ අතර විහාරස්ථානයෙහි දායක සභාව ශ්‍රී දේවානන්ද දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් දූ දරුවන් විසින් පිළිගන්නා ලදී. එම අවස්ථාවට ඇමැති දයා ගමගේ මැතිතුමන් බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමැති දුෂ්මන්ත මිත්‍රපාල මැතිතුමන් සමඟ දායක සභාවේ සභාපතිනි හිටපු ඇමැතිනි සුනේත්‍රා රණසිංහ මැතිනිය ප්‍රධාන බොහෝ පිරිසක් සහභාගී වූහ.

විහාරස්ථානයේ අලංකාර මණ්ඩපයක සධාතුක කරඬුව තැන්පත් කර කෙටි උත්සව සභාවකින් පසු කොරියානු චාරිත්‍රානුකූලව විශේෂ පූජාවක් පවත්වන ලදී. දහවල දානයෙන් අනතුරුව විශේෂ දූත පිරිසක් කිරිවත්තුඩුව බලා ගියේ විශේෂ කටයුත්තක් ඉටුකිරීමටයි. එළඹුන සුබ මොහොතින් මුල්ගල් තැබූ අතර ඒ සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක ඇමැතිතුමන්, පළාත් සභා අමාත්‍ය ගාමිණී තිලකසිරි මැතිතුමන් සමඟින් කොරියාවේ ප්‍රධාන භික්ෂුණිය හා බොහෝ පිරිසක් සහභාගී වූ අතර මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයාධිපති බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය නාගොඩ අමරවංස හිමිපාණන්, බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් ජේතවන විහාරාධිපති, බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක කැප්පෙටියාගොඩ ගුණවංස හිමියන්, කොරළවැල්ල වාළුකාරාමාධිපති විනයාචාර්ය නෑහින්නේ අරියඤාණ හිමියන්, වාද්දූව ශ්‍රී ලංකාරාමාධිපති වාද්දුවේ ධම්මවංස හිමියන්, වාද්දූව සමුද්‍රාරාමවාසී ගම්මන විජයධම්ම හිමියන්, කිරිවත්තුඩුව පුරාණ විහාරාධිපති පිටිපන සුමනසාර හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේලාගේ පිරිත් සජ්ඣායනය මධ්‍යයේ මුල්ගල් තැබීම සිදුවිය.

අලංකාර පරිසරයක ඉදිවෙන මෙම භික්ෂු රෝහලෙන් මහත් සහනයක් ලැබෙනු ඇත.


 


ජනමාධ්‍ය අමාත්‍යවරයා උත්සව සභාව අමතමින්...