Print this Article


පූජාච පූජනීයානං

ගම්මැද්දේගොඩ පුඤ්ඤාසාර මා හිමි

තොටගමු පුරාණ රත්පත් රාජමහා විහාරය මිටියාගොඩ කුඩාරාජකන්ද, විජය ශ්‍රී පියරතනාරාමය යන උභය විහාරාධිපති ශාස්ත්‍ර විශාරද, සාහිත්‍යාචාර්ය රාජකීය පණ්ඩිත, ගම්මැද්දේගොඩ ශ්‍රී පුඤ්ඤසාරාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වසර අනූහයක් ආයු ශ්‍රී වින්දනය කොට 2016 මාර්තු 28 වෙනිදා පෙරවරුවෙහි අපවත් වී වදාළහ.

දක්ෂිණ ලංකාවේ ගාලු ගඟ බඩ පත්තුවේ ගම්මැද්දේගොඩ නම් වූ සුන්දර ගම් පියසේ දී 1925 අප්‍රේල් 25 දින ජන්මලාභය ලැබූ මුන්වහන්සේගේ මාපියන් වූයේ හේවාවිතානගේ මාර්තේනිස් ලොකු අප්පුහාමි මහතා හා තල්පේ ලියනගේ ඇල්පිනා ලොකුහාමිනේ යන පුණ්‍යකාමී, සත්පුරුෂ, දන්පතීන්ය. මේ කුමරු මූලික පාසල් අධ්‍යාපනය සඳහා ගා/ ගෝනලගොඩ ගම්මැද්දේගොඩ මිශ්‍ර පාඨශාලාවට ඇතුළත් කළ අතර, එහිදී ගුරුන් සිත් පොබයමින් හොඳින් අධ්‍යාපනය හදාළේ ය.

පුරාකෘත පුණ්‍ය බලමහිමයක් ඉස්මතු වී ආ නිසා දෝ 1938 දී, තොටගමු පුරාණ රත්පත් රාජමහා විහාරස්ථානයේ දී රාජකීය පණ්ඩිත ගම්මැද්දේගොඩ ශ්‍රී පියරතනාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් ගම්මැද්දේගොඩ පුඤ්ඤසාර නමින් උතුම් පැවිදි දිවියට ඇතුළත් විය. මූලික වත් පිළිවෙන් සිය ගුරු දේවයන් වහන්සේගෙන් උගත් පුඤ්ඤසාර පොඩිහාමුදුරුවෝ මූලික පිරිවෙන් අධ්‍යාපන කටයුතු සඳහා හැරමිටිගල ශාස්ත්‍රාලංකාර පිරිවෙනට 1942 දී ඇතුළත් කරනු ලැබූහ. එහිදී වසර පහක් පමණ අධ්‍යාපන කටයුතුවල නිරත වන අතර, විසිවයස් සම්පූර්ණව උපසම්පදාව සිටිහෙයින් 1946 මැයි මස 23 දින මල්වතු මහාවිහාරීය මංගල උපෝසථාගාරයේ දී උතුම් උපසම්පදා ශීලයට පත්විය. අනතුරුව උසස් අධ්‍යාපන කටයුතු සඳහා කොළඹ, මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණට ඇතුළත් වූ උන්වහන්සේ එහිදී දක්ෂ ලෙස අධ්‍යයන කටයුතුවල නිරත වී විද්‍යොදය පිරිවෙණේ අවසාන පරීක්ෂණයෙන් ද උත්තීර්ණ විය. 1953 දී ප්‍රාචීන භාෂෝපකාර සමාගම මගින් පැවැත් වූ අවසාන විභාගයට පෙනී සිට රාජකීය පණ්ඩිත උපාධියද හිමිකරගත්හ.

අධ්‍යාපන කටයුතු හමාර කොට ස්ව විහාරස්ථානයට පැමිණි උන්වහන්සේ ගාල්ලේ් විද්‍යාලෝක පිරිවෙනට ආචාර්යයන් වහන්සේ නමක ලෙස කටයුතු ආරම්භ කළහ. අපද එකළ විද්‍යාලෝක පිරිවෙනේ අධ්‍යයන කටයුතුවල නිරතව සිටි අතර පුඤ්ඤසාර මාහිමියන් එහිදී සංස්කෘත විෂය ඉගැන්වීමෙහි නිරත විය. සකු පොත් ඉතා මට සිලිටු ලෙස ශිෂ්‍යයනට පහදා දීමේ හැකියාවක් උන්වහන්සේ තුළ විය. ගැඹුරු හඬින්, එහෙත් සුගමව හිතෝපදේශය, රඝුවංශය, ඵඤ්චතන්ත්‍රය වැනි සකු පොත් ඉගැන්වූ අයුරු තවමත් මතකය. එකල අතිපූජ්‍ය අකුරටියේ අමරවංස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විද්‍යාලෝක පිරිවෙනෙහි පරිවේණාධිපති ධූරය හෙබවීය. ගම්මැද්දේගොඩ මාහිමියන් තුළ සෘජුව අදහස් ප්‍රකාශ කිරීමේ ගුණය එකල සිට අප දැක ඇත්තෙමු. කාට වුවද කිවයුත්ත නොපැකිළිව නොබියව උන්වහන්සේ ප්‍රකාශ කළහ. සැබෑ පණ්ඩිත්‍යකින් හෙබි උන්වහන්සේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති මහතෙරනමක වූහ. පෙළ දහම පිළිබඳ සුනිසිත දැනුමක් උන්වහන්සේ සතු විය. යම්කිසි කරුණක් පිළිබඳව විමසුවහොත් එයට සාරගර්භ පිළිතුරක් ලබා දීමට උන්වහන්සේ ක්‍රියා කළහ. අපට ධර්මශාස්ත්‍රදානය කළ යතිවරුන්ගෙන් අද වන විට වැඩ සිටින්නේ එක් නමක් පමණි. ශිෂ්‍ය ජීවිතයේ සිට උන්වහන්සේ අපවත් වනතෙක් ළඟින් ඇසුරු කිරීමට ලැබීම අපි ලැබූ භාග්‍යයක් ලෙස සලකමු. සුනාමි ව්‍යවසන අවස්ථාවේ දී උන්වහන්සේගේ විහාරස්ථානයෙහි කැඩී බිඳී ගිය පුස්තකාල ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරදීමට අවස්ථාව සලසා දීම ගුරු පූජාවකට මඟ පාදා දීමක් බව මෙහිලා සිහිපත් කරන්නේ ගෞරවයෙනි.

ග්‍රන්ථකරණයෙහිද සමත්කම් පෑ අප මාහිමියෝ සද්ධම්මසංග්‍රහ ශීලය, කරණීයමෙත්ත සූත්‍රය වැනි ලොකු කුඩා ග්‍රන්ථ රාශියක්ම රචනා කළහ. තොටගමු රත්පත් රාජමහා විහාරයේ ගෞරවාන්විත බව අර්ථවත් කරමින් වසර අනූහයක් ආයු ශ්‍රී වින්දනය කොට අපවත් වී වදාළ විනයාචාර්ය රාජකීය පණ්ඩිත ගම්මැද්දේගොඩ පුඤ්ඤසාරාභිධාන අප ධර්මාචාර්යෝත්තමයන් වහන්සේට උතුම් නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරම්හ.


බඩල්කුඹුරේ මේධානන්ද නා හිමි

2016 අප්‍රේල් මස 02 දිනට යෙදෙන කලපුගම ශ්‍රී සුමංගලාරාමාධිපති බඩල්කුඹුරේ මේධානන්ද මාහිමිපාණන් වහන්සේගේ 75වන ජන්ම දිනය වෙනුවෙන් හා පැවිදි දිවියට එළඹ 60 වසරක් පිරීම නිමිති කරගෙන උන්වහන්සේ විසින් සිදුකළා වූ ශාසනික, ආගමික හා ජාතික මෙහෙවර අගයනු වස් සිදු කරන්නා වූ පින්කම් මාලාව වෙනුවෙන් මෙම ලිපිය පළ වේ.

1981 දී බඩල්කුඹුරේ මේධානන්ද මාහිමිපාණන් වහන්සේ අප්‍රතිහත ධෛර්යයෙන් හා දැඩි කැපවීමකින් යුතුව කාලයක් මුළුල්ලේ පරිහානියට පත්වී තිබූ ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයට ආලෝකයක් එක් කිරීමට නිරන්තරව කැපවුණි. පළමුකොට විහාරස්ථ දායක සභාව ප්‍රතිසංවිධානය කොට ගම්වාසීන්ට නව බලාපොරොත්තුවක් ඇති කොට ඒ අයගේ දායකත්වයෙන් විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කොට ජලනළ පහසුකම් ලබා ගැනීම මූලිකව සිදු කරන ලදී.

කලපුගම ශ්‍රී සෝභිත දහම් පාසල ගම්වාසී ගුරු දෙගුරුන්ගේ දායකත්වය තුළින් ප්‍රදේශයේ දිදුලන දහම් පාසලක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගෙන ගම්වාසී දරු දැරියන් 500කට අධික පිරිසක් දහම් අධ්‍යාපනය ලබන ශ්‍රී සෝභිත දහම් පාසල ප්‍රතිනිර්මාණය කිරීම උන්වහන්සේ අතින් සිදු වූ විශාලම ශාසනික යුග මෙහෙවරයි.

ගත වූ වසර 35ක් මුළුල්ලේ ගම්වාසී ලොකු කුඩා ඕනෑම අයෙකු උන්වහන්සේ අතින් අකුරක් ඉගෙනුම නොලැබූ අයෙකු ගම තුළ නැත. සියලුදෙනා දහම් අධ්‍යාපනයට යොමු කරමින් සුවිශාල වූ ජාතික ආගමික මෙහෙවරක් සිදු කරනු ලැබීය. විහාරස්ථානයට අංග සම්පූර්ණ ආවාස ගෙයක් අලුතින් ඉදිකළා පමණක් නොව විහාරස්ථානයට බලවත් අඩුපාඩුවක්ව පැවති චෛත්‍යරාජයාණන් වහන්සේ අලුතින් ඉදිකර විහාරස්ථානයට දැකුම්කළු හා ගාම්භීර පෙනුමක් එක් කිරීමට කටයුතු කරන ලදී. එසේම දහම් පාසල් දූ දරුවන් වෙනුවෙන් දෙමහල් දහම් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකර දරුවන් වෙනුවෙන් තිළිණ කළා පමණක් නොව බෝධි ප්‍රාකාරය හා අලංකාර තාප්පය තුළින් විහාරස්ථානයට දැකුම්කළු පෙනුමක් ලබා දුනි.

1985 තරම් කාල වකවානුවක දුරකථන පහසුකම සිහිනයක්ව පැවති අවධියේ සුමංගලාරාම විහාරස්ථානයට දුරකථන පහසුකම් එක් කිරීම ද, උන්වහන්සේ අතින් සිදු වූ සුවිශාල මෙහෙවරකි. විහාරස්ථානය මෙලෙස සංවර්ධනයේ මාවතට විවර කළ යතිවරයාණෝ ගම්වාසී දායක කාරකාදීන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් මහත් කැපවීමක් සිදු කළේය.

පළමුකොට ගම්මානය පුරා විසිරී තිබූ සියලු සමිති සමාගම් ප්‍රතිසංවිධානය කරනු ලැබීය. ඒ තුළින් අද දවසේ ගම්වාසී සියලු දෙනාට මහත් සවියක් ශක්තියක් වූ සණස සමිතියේ වසර ගණනාවක් සභාපති ධුරය දරමින් දිනෙන් දින දියුණුවට පා නඟන සමිතියක් ලෙස සංවර්ධනයට පියවර ගනු ලැබීය. ග්‍රාමෝදය මණ්ඩල ව්‍යාපාරය හරහා ගමේ සංවර්ධනයට මාවත විවර කරන ලදී. උන්වහන්සේගේ දායකත්වය තුළින් සංවර්ධනය නොවූ මාර්ගයක් ගම තුළ නොමැති තරම්ය. අද මෙන් නොව යන්ත්‍ර සූත්‍ර නොවූ කාල වකවානුවක ගම්වාසී ජනතාව ඒකරාශී කරමින් ශ්‍රමදාන සංවිධානය කරමින් ඒවාට නායකත්වය ලබා දෙමින් මුල සිට අවසානය දක්වා රැඳී සිටිමින්, ගෙයින් ගෙට වැඩම කරමින් මේ කටයුතුවලට දායකත්වය ලබා දීම තුළින් ගමට ආලෝකයක් එක්කලා විතරක් නොව ගොවිතැනට අවශ්‍ය ඇළ වේලි ටික ගොවි ජනතාව ඒකරාශි කරමින් කපා දීමට ලොකු වෙහෙසක් ගත්තහ.

දහම් පාසල් දූ දරුවන් තුළ මිහිඳු මහා රහතන් වහන්සේ පිළිබඳ හැඟීමක් ඇති කිරීම අරමුණු කර මල් පෙරහරක් ලෙස ආරම්භ කළ මිහිඳු මහා පෙරහර අද දවසේ අලි ඇතුන් පිරිවරා රාත්‍රී කාලයේ වීථි සංචාරය කිරීම දක්වා කටයුතු කරමින් ගමට ගෞරවයක්, ආලෝකයක් එක් කිරීමට සමත් වී ඇත.

කලපුගම ගම තුළ පන්සල, පාසල, ආරාමය යන මේ සියලු තැන්හිදී නායකත්වය ලබා දෙමින් ආගමික සහජීවනය ගම තුළ ඇති කිරීමට කැප වූහ. තවදුරටත් සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම වෙනුවෙන් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා අතරින් පරණගම ජිනානන්ද ස්වාමීන්වහන්සේ ඇතුළු අනෙකුත් ස්වාමීන්වහන්සේලා හතර නමක් දායක කරමින් ් විහාරස්ථානයේ සියලු වගකීම් පවරමින් ඒ සියල්ල මනාව අධීක්ෂණය කරමින් කටයුතු කිරීම හා හෙට දවසේ විහාරස්ථානයේ චිර පැවැත්මට අඩිතාලම යෙදීම ද උන්වහන්සේ අතින් සිදුවන තවත් විශාල ම ශාසනික මෙහෙවරකි.


දෙබත්ගම නාරද මා හිමි

ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික ජ්‍යෙෂ්ඨානුවිජ්ජක, ශී‍්‍ර සාරානන්ද පදනමේ අනුශාසක, රාජකීය පණ්ඩිත දෙබත්ගම නාරද මාහිමිපාණන් වහන්සේ අපවත් වී 2016.03.22 දිනට වසර 5 ක් සම්පූර්ණ වේ. 1928 මාර්තු මස 26 වෙනි දින කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙබත්ගම උඩබාගේ පොල්ගස්තැන්න නම් ගමෙහි උපත ලැබූ කුමරුවා වයස අවුරුදු 12 ක් වන විට එවකට කඩුගන්නාව ශී‍්‍ර නිවාස පිරිවෙනේ වැඩ සිටි මහෝපාධ්‍යාය පැළහිටිගම මහින්දානන්ද නායක ස්වාමින් වහන්සේ හා පනංගම්මන ආනන්දමංගල ලොකු ස්වාමින් වහන්සේ වෙත පැවිදි කිරීම සඳහා බාර කරන ලදහ. එවකට නාරම්මල රුවන්ගිරි කන්ද ආරණ්‍ය සේනාසනයෙහි වැඩ සිටි ආචාර්යෝත්තම උඩුනුවර ශ්‍රී සාරානන්දාසභ මහා ස්වාමින් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් ප්‍රවෘජ්‍යා භූමියට පත්වූහ.පැවිදි දිවිය සරුකර ගැනීම අවශ්‍යකරන මූලික බණදහම් හා උගත යුතු සිප් සතර හැදෑරීම ආරම්භ කළේ කඩුගන්නාව ශ්‍රී නිවාස පිරිවෙනෙන්ය. වැඩිදුර අධ්‍යාපනය සඳහා බලගල්ල ශ්‍රී සරස්වතී පිරිවෙනට ඇතුළත් වූ නාරද පොඩි හාමුදුරුවෝ අනතුරුව මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයට ඇතුලත්ව රාජකීය පණ්ඩිත උපාධියද, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධි ලබාගත්හ. නාරද හිමියන් 1951 කොල්ලුපිටියේ ධර්මකීර්තියාරාම මහා විහාරය කේන්ද්‍ර කොට ගෙන කල්‍යාණ නදී උදකුක්ඛේප සීමා මාලකයේ දි ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායික මහානායක මාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය වෙතින් උපසම්පදාව ලැබූහ. කඩුගන්නාව ශ්‍රී නිවාස පිරිවෙනෙහි ආචාර්යවරයෙකු වශයෙන් ශාස්ත්‍රාලෝකය පැතිරවීම ආරම්භ කළ උන්වහන්සේ අනතුරුව නාරම්මල ශ්‍රී සීලවතී පිරිවෙනෙහි ආරම්භක පරිවේනාධිපති වශයෙන්ද පේරාදෙණිය ශ්‍රී සාරානන්ද පිරිවෙන් විද්‍යාස්ථානයෙහි ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයෙකු වශයෙන්ද යලිත් කඩුගන්නාව ශ්‍රී නිවාස පිරිවෙනෙහි පරිවේනාධිපති වශයෙන්ද සසුනට අමිල මෙහෙවරක් ඉටුකළහ.

එපමණක් නොව තමන් වෙත වගකීම් පැවරුන විහාරස්ථානයන්හි ආගමික හා සමාජීය මෙහෙයන් ඉටුකරමින් දහම් පාසල් ආරම්භ කරමින් නොදියුණු ගම්මාන දියුණු කිරීමට කටයුතු ඉටුකළ නාරද හිමියෝ 1993 දී තම ගුරුහිමියන් අපවත්වීමෙන් පසු ගැට්ටුවාන ශ්‍රී මහින්ද පිරිවෙනේ විහාරාධිපති පදවියට පත්විය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ කෑගලු ප්‍රාදේශික සංඝ සභාවේ ශාසනික තනතුරු දරමින් සංඝ සාමගී‍්‍රය උදෙසා ඉටුකළ සේවාව අතිමහත්ය. අපවත්වන විට නියායකාරක සංඝ සභික ධුරය මෙන්ම ජ්‍යෙෂ්ඨානුවිජ්ජක තනතුරු ද හෙබවූහ.

ජාතික, ආගමික හා සාසනික මෙහෙවර උපරිම අයුරින් ඉටු කළ උන්වහන්සේ 2011.03.22 වෙනි දින අපවත්වී වදාළහ. උන්වහන්සේගේ ඉල්ලීම හා නියමය පරිදි ශ්‍රී දේහය පේරාදෙණිය විශ්වවිද්‍යාලීය වෛද්‍ය පීඨය වෙත භාරදෙන ලදී.