Print this Article


කැමරා අතර දියුණුම කැමරාව ප්‍රඥා ඇසයි

කැමරා අතර දියුණුම කැමරාව ප්‍රඥා ඇසයි

ප්‍රඥා ඇස පහළ කර ගැනීමෙන් මුළු විශ්වයම දැකීමට පුළුවන. එය ලොව්තුරා බුදුහිමි විනිවිද දුටහ. ප්‍රඥා ඇස දියුණු කර ගත් බුද්ධශ්‍රාවක පිරිස්ද එයින් කීපයක් හෝ දුටු ආකාරය චරිත කතා තුළින් පැහැදිලි වේ. බුදුරදුන් ප්‍රඥා ඇස තුළින් අෂ්ට විද්‍යා පසක් කරගත් ආකාරය ඉතා ගාම්භීරය.

මිනිසුන්ගේ ඉන්ද්‍රියයන්වලට ගෝචර වන සීමාවක් ඇත. එතැනින් එහා දැකීමට තරම් පුහුදුන් සත්වයා ප්‍රඥාවන්ත නොවේ. නවීන ලෝකය තුළ කැමරා භාවිතය සිදු වේ. එය අද බොහෝ දුරට සොරු ඇල්ලීමට හා දූෂණ භීෂණ වළක්වා ගැනීමට විවිධ තැන්වල භාවිතා වන තාක්ෂණ උපකරණයක්ද වී ඇත. නමුදු එතුළින් වුවද දැකිය හැක්කේ එයට ගෝචර වූ සීමාව පමණි. එය ඇත්තෙන්ම ආයතනයකට, කාර්යාලයකට, විශේෂ වශයෙන් මිනිසුන් ගැවසෙන ස්ථානයකට තරමක් දුරට තම වස්තූන් රැකගැනීම උදෙසා උපකාරී වේ.

මනස නොදියුණු මිනිසුන්ට කැමරාව තරමක් දුරට ප්‍රයෝජනවත් වේ. ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංච ඉන්ද්‍රියයන්වලට නිතර ගැටෙන්නේ පුහුදුන් මනසට අදාළ දේ පමණි. එය සිදුවන්නේ තමන්ගේ කැමැත්ත පරිදි නොවේ. සොරු මුලක් ජීවත්වන තැනකට නිරන්තරයෙන් කැමරාව අවශ්‍ය වේ. තමන්ගේ ධන සම්පත් රැක ගැනීම උදෙසා එය උපකාරී වේ. කැමරාවටත් හොරා හොරකම් කිරීම හා විවිධ දූෂණ භීෂණ වගේම අකටයුතුකම්ද සිදු කරනු ඇත. ඔවුන් හොරකම් කරන අතර ආයතනයක හෝ කාර්යාලයක ප්‍රධානියාගේ මනසත් වෙනස් කරනු ඇත. ඔවුන් හොරකම් කරමින් එහි චෝදනාව නැති කර ගැනීම උදෙසා කරන ලොකුම වරද නම් අනුන්ට චෝදනාවන් පැටවීමට කේලාම් කීමයි. කේලාම් කීමේ අනිසි ප්‍රතිඵල පිළිබඳ බුදුරදුන් දේශනා කොට ඇැත. අනුන් මුලා කරන අදහසින් ඇති දෙය නැත යයිද, නැති දෙය ඇත යයිද, වූ දෙය නොවූයේයයිද, කීම කේලමයි. එය සිදුවන අංග සතරක්ද දේශනා කළහ.

1. කියන කරුණ බොරුවක් වීම, . 2.ඇඟවීමේ උත්සාහය,

3. අනුන් රවටන අදහසය,

4. අනෙකා කී දෙය තේරුම් ගැනීමය.

ප්‍රඥාවන්තයෙක් නොවේනම් තමන් ජීවිතයේ ඇසුරු විසුරු කළ අය කියන ඕනෑම දෙයක් පිළිගෙන ඒවා ක්‍රියාත්මක කිරීමටද අදාළ අය පෙලඹෙනු ඇත. නමුදු එහි විපාක විඳීමට සිදුවන්නේ කේලාම් කියන අයට පමණක් නොව අනුමත කරමින් ඒවා අසා ඒවාට තීරණ ගන්නා උදවියත් සමඟය. ඒවාගේ විපාක දැන ගැනීම මැනවි එනම්, නින්දාවට භාජනය වීම, අන්‍යයන් විසින් අවිශ්වාස කිරීම, දඬුවම් ලැබීම, මරණින් මතු නරකයෙහි ඉපිද අනේකවාරයක් දුක් විඳීම, ප්‍රේත ආත්මවල ඉපදීම, තිරිසන් ආත්මවල ඉපදීම, මිනිස් ලොව ඉපදුනහොත් නින්දා ලැබීම, මෝඩයෙකු වීම, දුප්පත් වීම, ගොළුවෙකු වීම, කට ගඳ ගසන්නෙකු වීම, අශෝභන දත් ඇත්තෙක් වීම, මුඛ රෝගවලින් පෙළීම, කැත රූපයක් ඇතිව ඉපදීම, අවිශ්වාස කරන්නෙකු වීම, අමිහිරි කටහඬ ඇත්තෙකු වීම.

යනාදී නොයෙක් දුක්වලට මුහුණ දීමට සිදුවනු ඇත. සොරුනට ඊළඟ ආත්ම ගැන බියක් නැත. ඔවුන් පව් පින් විශ්වාස නොකරති. නමුදු ජීවිතයේ කාලයක් ශ්‍රේෂ්ඨත්වයෙන් තම චරිතය රැකගෙන ආ මිනිසෙකුට එය බලපානු ඇත. සොරු නිසා මෙතෙක් කල් පැවතගෙන ආ ශ්‍රේෂ්ඨ චරිතය අවසන් කාලය තුළ රාගය, දෝෂය, මෝහය උත්සන්න කර ගන්නා අවස්ථාවකට පත්වීම ඉතා භයංකාරය. මුළු ජීවිතයම කණපිට හැරවීමට හොරුනට පුළුවන. එතුළින් සිදුවන්නේ උත්තමයන්ගේ ජීවිත පව්කාර ජීවිත කිරීම නොවේද

ප්‍රඥා ඇස පහළ කර ගැනීමෙන් මුළු විශ්වයම දැකීමට පුළුවන. එය ලොව්තුරා බුදුහිමි විනිවිද දුටහ. ප්‍රඥා ඇස දියුණු කර ගත් බුද්ධශ්‍රාවක පිරිස්ද එයින් කීපයක් හෝ දුටු ආකාරය චරිත කතා තුළින් පැහැදිලි වේ. බුදුරදුන් ප්‍රඥා ඇස තුළින් අෂ්ට විද්‍යා පසක් කරගත් ආකාරය ඉතා ගාම්භීරය. එනම්,

1. විදර්ශනා ඥානය

2. මනෝමය සෘද්ධි ඥානය

3. සෘද්ධිවිධ ඥානය

4. දිව්‍යශ්‍රෝත ඥානය

5. පරචිත්ත විජානන ඥානය

6. පූර්වෙනිවාසානුස්මෘති ඥානය

7. දිව්‍ය චක්ෂුර්භි ඥානය

8. ආශ්‍රවක්ෂය කර ඥානය

මෙම අෂ්ට විද්‍යාවලින් තුනක් විශේෂ ඥාන වශයෙන් ‘ත්‍රිවිද්‍යා’ නමින් දක්වා ඇත. එනම් අෂ්ඨ විද්‍යාවලට අයත්වන පුබ්බේනිවාසානුස්සති, චුතූපපාත, ආශ්‍රවක්ෂය යන ඥාන තුන ‘ත්‍රිවිද්‍යා’ යනුවෙන් වෙන් කොට ඇත. මෙම ඥාන ශක්තීන් බුදුහිමි තුළ පිරිපුන්ව තිබුණි. පෙර පසු ආත්ම බැලීමේ ශක්තිය පුබ්බේ නිවාසානුස්සති ඥානයයි. ආත්ම පන්සිය පනස් හතරක් ආපස්සට බලපු ආකාරය පන්සිය පනස් ජාතක පොත් වහන්සේ තුළින් අනාවරණය වේ.

පරචිත්ත විජානන ඥානය තුළින් අනුන්ගේ සිත් දැන ගැනීමේ ශක්තිය ඇත. බුදුහිමි ධර්ම දේශනා කිරීමේ දී අන් අයගේ සිත්වල ස්වභාවයට අනුව එය සිදු කළහ. පේෂකාර දියණිය, රට්ඨපාල කුමරු, තෝදෙය්‍ය වැනි අයට ඔවුනගෙ සිතිවිලි අනුවම ධර්මය දේශනා කොට සතර මාර්ග හා ඵලවල පිහිට වූ සේක.

දම්සක් පැවතුම් සුත්‍රය තුළ කොඤ්ඩඤ්ඤ තාපසයා ඒ බව දැනගත් බැවින් ‘චක්ඛුං උදපාදි’ ‘ඤාණං උදපාදි’ ‘ආලෝකෝ උදපාදී වශයෙන් බුදුරදුන් දේශනා කළහ. මෝහය නමැති අන්ධකාරය පහව ගොස් ප්‍රඥාව නමැති ආලෝකය පහළ වීම එහි ස්වභාවයයි. ඊට පසු ලෝකය හා සත්වයා පිළිබඳ විනිවිද දැකීමට තරම් දියුණුම කැමරාවක් තමනට සැමදා ලැබෙනු ඇත. එනම් ප්‍රඥා ඇසයි. එම ඇස බුදුරදුන් ලබාගෙන තුන්ලෝකයම විනිවිද දුටහ. එබැවින් යම් තරමකින් හෝ පුහුදුන් අපත් එම ලොව දියුණුම කැමරාව වූ ප්‍රඥා ඇස ලැබීමට නිරන්තරයෙන් උත්සාවත් විය යුතු ය.