Print this Article


දැහැමි ධනය සැප ගෙන දෙයි

දැහැමි ධනය සැප ගෙන දෙයි

මෙහි පළමු කොටස මැදින් මස පුර පසළොස්වක පෝදා (22) පත්‍රයේ පළවිය.

භාග්‍යවතුන් වහන්සේ නැවතත් දේශනා කරනවා ගෘහපතිය, ඒ ආර්ය ශ්‍රාවකයා උට්ඨාන වීර්යයෙන්, බාහු බලයෙන්, දහදිය මහන්සියෙන්, දැහැමිව හැසිරෙමින්, ධර්මානුකූලවම උපායගත්ත ධනයෙන් මෙන්න මේ විදිහට පිහිටක් ලබනවා.

ඒ කොහොමද? ගින්නෙන් හෝ ජලයෙන් හෝ රජුන්ගෙන් හෝ පාලකයන්ගෙන් හෝ සොරුන්ගෙන් හෝ සතුරන්ගෙන් හෝ අප්‍රිය අයගෙන් හෝ යම් කරදරයක් වෙනවානම් විපතක් තියෙනවා නම් අන්න එවැනි වෙලාවකදී මේ ධර්මානුකූලව සොයාගත්ත ධනය ප්‍රයෝජනයට ගන්නවා. ඒ ධර්මානුකූලව එකතු කර ගත්ත ධනයෙන් අර දේවල්වලින් ඇතිවෙච්ච විපත්වලින් ගැලවෙන්න පුළුවනි. ඒක පැහැදිලියිනෙ. ගින්නට හසුවුණත්, දිය ගැලීමකට හසුවුණත් තමන් නිවැරැදි වුණත් යම් විටක පාලකයන්ගෙන් රජුගෙන් කරදරයක් ආවොත් සොර සතුරන් ඇවිත් ධනය සොරකම් කරගෙන ගියොත්, නමුත් එකතු කරල තියපු ධනයක් තියෙනවා නම් අර කරදරවලින් බැහැර වෙන්න පුළුවනි. ඒ වගේ ම අකැමැති අය තමන් කොච්චර හොඳින් සිටියත් මේ ලෝකයේ හැම මනුෂ්‍යයෙක් ම සද්පුරුෂ වෙන්නෙ නැහැනෙ.

එවැනි අය කරදර කරන්න පුළුවන් එවැනි වෙලාවකදි පවා තමන් ධර්මානුකූලව සොයාගෙන බැංකුවක වගේ තැනක තැන්පත් කරන ලද මුදලක් ධනයක් තිබුණොත් තමන්ට අර විපත්වලින් බේරෙන්නට, ගැලවෙන්නට පුළුවනි. ඒ නිසා මේ ධනය හොඳම තැනක තමයි පවත්වන්නේ, පවතින්නේ කියල අනුව සිතන්න පුළුවන්. නිවැරැදි විදිහට ධනය පරිහරණය කළා යැයි සඳහන් කළා.

තුන්වනුව සඳහන් කරනවා, මේ ආර්ය ශ්‍රාවකයා උට්ඨාන වීර්යයෙන්, බාහු බලයෙන්, දහඩිය මුගුරු වගුරුවල, ධර්මානුකූලව, දැහැමිව ජීවත්වෙමින් උපයන ලද භෝගවලින් ධනයෙන් බලිපහක් සිදුකරනවා. ධර්මයේ බලියැයි සඳහන් කරන්නේ ඤාති බලි, අතිථි බලි, පුබ්බපේත බලි, රාජ බලි, දේවතා බලි, කියන කරුණු පහයි. ඤාති බලි යනු ඤාතීන්ට කළයුතු යුතුකම්, ඉෂ්ඨ කරනවා. කළහැකි ආකාරයෙන් ස්වල්ප වූ යුතුකමක් වුවත් කළහැකි ආකාරයෙන් කරනවා. අඩුම ගානේ වචනයකින් හරි ආදරයෙන්, කරුණාවෙන්, මෛත්‍රීයෙන් කටයුතු කරන්න පුළුවනි. අතිථි බලි ආගන්තුකයන් වෙනුවෙන් යුතුකම් කරනවා. පුබ්බපේත බලි මියදුණු ඤාතීන් වෙනුවෙන් පින් දෙනවා. රාජ බලි රජයට රටට කලයුතු යුතුකමක් තියෙනවානේ, වර්තමානයේ ආදායම් බදු ගෙවනවා කියන වගේ අදහසක් එහි තියෙනවා. ඒ විතරක් නෙමෙයි මහ මග ගියත් ගම තුළත් පොදු දේවල් පරිහරණය කරන කොට ඒවා කඩන්නෙ විනාශ කරන්නේ නැතිව හොඳින් ආරක්ෂා කරනවා. ඒත් රටක්, රජයක් වෙනුවෙන් කරන්න පුළුවන් යුතුකමක් වෙනවා. දේවතා බලි දෙවියන් වෙනුවෙන් ඉන් අදහස් කළේ ආගම දහම වෙනුවෙන් යුතුකම් කරනවා කියන අදහසයි. මෙහි දී බුද්ධ ශාසනය වෙනුවෙන්, වෙහෙර විහාර වෙනුවෙන් තම යුතුකම් සිද්ධ කරනවා යැයි කියන අදහසයි. පිනට දහමට දෙනවා කියන අදහසයි. දැහැමිව උපයාගත්ත ධනය වැරැදි තැනකට, එනම් මත්වතුර පානය කරන තැනකට, සූදුවකට, සල්ලාලකමකට යොමුනොවී නිසි තැනකට ම යොමුවෙනවා. නිවැරැදි ලෙස පරිහරණය කරනවා කියන අදහසයි.

භාග්‍යවතුන් වහන්සේ ඊළඟට සඳහන් කරනවා මේ ආර්ය ශ්‍රාවකයා එනම් ගෘහස්ත ජීවිතයක් ගත කරන උපාසක උපාසිකාවක් උට්ඨාන විර්යයෙන්, බාහු බලයෙන් ලැබූ දහදිය මහන්සියෙන් උපයාගත්ත දැහැමිව ජීවත්වෙමින් උපයාගත්, ධර්මානුකූලව උපයාගත්ත මේ ධනය තවත් දෙයකට යොමු කරනවා ඒ කුමක් ද? ප්‍රමාදයන්ගෙන් වෙන්වෙලා කුසලයන්ට යොමුවෙච්ච ඉවසීම ඉතාම හොඳින් පුරුදු කරන ආත්ම දමනය කරන ලද එනම් මේ ලැබූ ජීවිතයේ ඉන්ද්‍රියන් සතුටු කරන්නෙ නැතුව, වැරැදි ලෙස සතුටු කිරීම හෝ කාමයන්, රාගයන් උපදනා ආකාරයෙන් ඉන්ද්‍රියන් පවත්වන්නෙ නැතිව රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් සංසිදුවමින් නිවන් මඟ අරමුණු කරමින් ම තෘෂ්ණාව නැති කිරීම පිණිස දහම් මඟ ගමන් කරන වැඩම කරන යම් වූ ද මහණ බ්‍රාහ්මණ කෙනෙක් පැවිදි උතුමන් කෙනෙක් හෝ පිරිසක් වේ නම් අන්න ඒ මහණ බමුණන් හෝ පැවිදි උතුමන් කෙරෙහි ඵලයන් ආනිසංස වශයෙන් ඒ වගේ ම මෙලොවදී වගේ ම පරලොවදීත් සැප පිණිස හේතුවන සුගතියම අරමුණු කරන සැප විපාක ගෙන දෙන දන්දෙනවා. පරිත්‍යාගයට සිත යොමු කරනවා. තමන් ධර්මානුකූලව උපයාගත් ධනය ගෘහස්ථ ජීවිතයේ බැඳීම්වලින් බැහැරවෙලා දුක් නැතිකිරීම පිණිස නිවන අරමුණු කරගෙන වැඩම කරන භික්ෂුවක්, භික්ෂුණියක් හෝ වෙන්නට පුළුවන්. මේ සඳහන් කළ මහණ බමුණන් එදා පාවිච්චි කළ වචනය අනුවයි. වර්තමානයේ නම් ඒ පැවිදි උතුමන් වෙනුවෙන් සිව්පසයෙන් උපස්ථාන කිරීමයි. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිව්පසයෙන් උපස්ථාන කිරීමයි. ඒ පැවිදි උතුමෝ උන්වහන්සේලාත් දහමෙන් සැනසිලා ගෘහස්ථ ජීවිතගත කරන අයගෙ සැපක් තියෙන වෙලාවේ ඒ සැප දහම් මඟ ඔස්සේ නිරාමිස ප්‍රීතියකින් සැපක් ලබන්නට පරිහරණය කරන්නට මඟ කියා දෙනවා. ලෝක ස්වභාවය අනුව ලෙඩදුක් ඇතිවෙන කොට දිරාගෙන යනකොට, ප්‍රියන්ගෙන් වෙන්වෙනකොට බලාපොරොත්තු නොවුණ විපත්වලට මුහුණ දෙනකොට ධර්මානුකූලව ඒ සිත් හැදෙනවා. පැවිදි උතුමන්ගේ ජීවිතයේ ඇති කරගත්ත කෙලෙස් දමනය නිසා ඇතිකරගත්ත සාන්ත ස්වභාවය මුල්කරගෙන දුක්විපත්වලට පත්වෙච්ච ගෘහස්ථ ජීවිත ගත කරන ඇත්තන්ගෙ ජීවිත සුවපත් කරනවා. ඒ ඇත්තන්ට පිහිට වෙනවා. සිතේ තියෙන ඇලීම් ගැටීම්, බැඳීම්, ශෝක පරිදේව බැහැර කරල දහම් මගට යොමු කරල ඒ ඇත්තන්ගෙ මනස පමණක් නොවෙයි. කයත් සුවපත්වෙන ආකාරයට මාර්ගය පෙන්නලා දෙනවා. අන්න ඒ පැවිදි උතුමන්ටත් අර සිව්පසයෙන් උපස්ථාන කරනවා. තමන් ධර්මානුකූලව ලබාගත් භෝග, ධනය ඒ ලෙසින් පරිහරණය කරනවා. නිසි තැනට ම ගියා. ඒ වගේ ම ඉතාම යහපත් වූ තැනක තමයි ස්ථාන ගත වුණේ. ඉතා හොඳින් භෝග පරිභෝජන කලා යැයි සඳහන් කළා.

භාග්‍යවතුන් වහන්සේ අවසානයේ මෙසේ දේශනා කරනවා, මේ ගෘහස්ථ ජීවිතයක් ගත කරන පුණ්‍යකාමී ඇත්තෝ උට්ඨාන වීර්යයෙන්, බාහු බලයෙන්, මහන්සියෙන්, දහඩිය මහන්සියෙන් උපායගත්ත ධනය ඒ භෝග සතර ආකාරයකින් ඉතාම සුදුසු ආකාරයකින් ඒවා පාවිච්චි කරනවා. පරිහරණය කරනවා. ඒවා විනාශයට ගියා වෙන්නෙ නැහැ. අස්ථානයක යොමු වුණා වෙන්නෙ නැහැ. එහෙම නැතිනම් නුසුදුසු දෙයකට යොමු කළා වෙන්නෙ නැහැ. නියම ආකාරයෙන් ම පරිහරණය කළා කියල මෙලොවත් පරලොවත් සැනසෙන්න පුළුවන් ආකාරයෙන් පරිහරණය කළා කියල සැනසෙන්නට පුළුවනි. ඔහුගේ සිත්වලට මේ ලෙසින් දැනෙන්නට පටන් ගන්නවා.

භුත්ථා භෝගා භතා භච්චා
විතිණ්ණා ආපදාසු මේ
උද්ධග්ගා දක්ඛිණා දින්නා
අථො පඤ්චබලි කතා

ධර්මානුකූලව සොයාගත්ත, උපයාගත්ත භෝගයෝ මැනවින් වැළඳුව, එනම් පරිහරණය කළා. පෝෂණය කළ යුතු අය පෝෂණය කළා. විපත් පැමිණුන කල මා විසින් භෝගයෝ යොදාගෙන එයින් අත්මිදුණා. මෙලොවත් පරලොවත් විපාක දෙන දන් දුන්නා. යහපත් වූ දේවල් මා විසින් සිද්ධ කළා. සංඥථ බ්‍රහ්මචාරී සිල්වත් උතුමන්ට මම උපස්ථාන කළා. ගිහි ගෙදර වසන ණුවනැති අය යම් අර්ථයක් සඳහා භෝග පරිහරණ කරනවාද? කැමැතිවෙනවාද? මම අන්න ඒ දේ අර්ථාන්විතව මා පරිහරණය කළා. පසුතැවිලි නොවන ආකාරයෙන් මම භෝග පරිහරණය කළා. පංචශීල ප්‍රතිපත්තියෙන් පිහිටි මනුෂ්‍යයෙක්. මේ දහම් කරුණු නිරන්තරයෙන් ම සිහිපත් කරනවා, නම් මේ ලෝකයේ සද්පුරුෂ මනුෂ්‍යයෝ අන්න එවැනි අය නිරන්තරයෙන් ම ප්‍රශංසා කරනවා. පරලොව ගොස් ස්වර්ගයේ විපාක විඳින කොට මා විසින් වඩ වඩාත් යහපත් වූ ගෘහස්ථ ජීවිතයක් ගතකළා යැයි දිව්‍ය සැපසම්පත් ලබමින් සතුටින් ජීවිතය පවත්වනවා.

තථාගත බුදුරජාණන් වහන්සේ “පත්තකම්ම” සූත්‍ර දේශනාව අවසන් කරමින් සුපසන් ජීවිතයකට හිමිකම් කියන්න කැමැති ඔබටත් මේ උතුම් සූත්‍ර දේශනාවත් උපකාරක ධර්මයක් ම වේවායි ප්‍රාර්ථනා කරනවා.