Print this Article


ශ්‍රී ලංකාවෙන් තායිලන්තයට සර්වඥ ධාතුන් වහන්සේ නමක්

ශ්‍රී ලංකාවෙන් තායිලන්තයට සර්වඥ ධාතුන් වහන්සේ නමක්

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ආගමික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවෙන් තායිලන්තයට සර්වඥ ධාතුන් වහන්සේ නමක් පුජා කිරීම (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත තායිලන්ත උප අගමැති සොමොකිද් ජට්‍රශ්‍රීපිටක් මහතාගේ සංචාරය හා සමගාමීව මෙය සිදුවූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් එම සර්වඥ ධාතුන් වහන්සේ තායිලන්ත උප අගමැතිවරයා වෙත භාර කෙරිණි.

බෙරගල, ගලේවෙල රජමහා විහාරස්ථානයේ සිට පන්නිපිටිය සත්බුදු මහා විහාරය වෙත වැඩම කිරීමෙන් අනතුරුව රිය පෙරහරකින් මෙම සර්වඥ ධාතුන් වහන්සේ ජනාධිපති කාර්යාලය වෙත වැඩම කරවීම සිදුවිය.

ථේරවාදි බෞද්ධ රටවල් ලෙස දෙරටේ ආගමික සබඳතා තවදුරටත් වැඩිදියුණු කර ගැනීම පිළිබඳ එහි දී ජනාධිපතිවරයා සහ තායිලන්ත උප අගමැතිවරයා අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර දෙරට අතර සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කර ගැනීම තුළින් ශ්‍රී ලංකාවේ ආගමික ස්ථාන නැරඹීම සඳහා තායිලන්ත සැදැහැවතුන්ට අවස්ථාව ලබාදීම පිළිබඳව අවධානය යොමුවිය.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාම ග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද ඇමැති දයා ගමගේ, නියෝජ්‍ය ඇමැති අනෝමා ගමගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.