Print this Article


බුදුපිළිමයේ උපත - 11 : සිදුහත් කුමරාගේ උපත

බුදුපිළිමයේ උපත - 11 :

සිදුහත් කුමරාගේ උපත

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ
හිටපු සහූකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසූමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

දීඝනිකායේ මහාපදාන සූත්‍රය බුද්ධචරිතයේ ප්‍රධාන කරුණු රාශියක් දැක්වෙන සූත්‍ර දේශනාවකි. මහාපදාන සූත්‍රයේ සඳහන් වන එම දේශනාව අනුව බුදුපියාණන් වහන්සේ පෙර ආත්ම භවයන් සිහිපත් කරන නුවණින් (පුබ්බේ නිවාසානුස්සති ඤාණ) විපස්සි, සිඛී, වෙස්සභූ, කකුසඳ, කෝණාගම, සහ කස්සප යන බුදුරජාණන් වහන්සේලා සය නම දේශනා කළහ. උන්වහන්සේලා මේ නාමයන්, මේ ගෝත්‍රයන්, මේ සීලයන්, මේ ධර්ම මේ ප්‍රඥා මෙබඳු විහරණ, මෙබඳු විමුක්ති ඇතිව විසූහයි කියා විස්තර කළහ. ඊට සමාන්තරව බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ පිළිබඳ තතු පුවත් ද දේශනා කළහ. ‘මහණෙනි, මේ භද්‍ර කල්පයෙහිම මෙකල මම අර්හත් සම්බුද්ධ වෙමි. මම ජාතියෙන් ක්ෂත්‍රියව උපනිමි. ගෝත්‍රයෙන් ගෝතම නම් වෙමි. සුද්ධෝදන රජු පියා විය. මහාමායාදේවිය මව වූවා ය. කපිල වස්තුව රාජධානියයි. (දීඝනිකායේ මහා පදාන සූත්‍රය. පි. 10)

මහාපදාන සූත්‍රගත මෙම තොරතුරුවලින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදු සිරිතට අදාළ ප්‍රධාන පුවත් රාශියක් සඳහන් වේ. පශ්චාත් කාලීන බුද්ධ චරිත ග්‍රන්ථවල මේ පුවත් දීර්ඝ ලෙස විස්තර කර ඇත. සිදුහත් කුමරාගේ ජන්ම භූමිය කපිලවත්ථු රාජධානිය බව සඳහන්ව ඇත. ලුම්බිනියෙහි දී සිදුහත් උපත සිදු වූ බව ආදී (පැරණි) බෞද්ධ ග්‍රන්ථ අතර පැරණිම ග්‍රන්ථයක් සේ ගැනෙන සුත්ත නිපාතයෙහි හමුවෙයි.

බුදුන් වදාළ බුද්ධ චරිතය මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි සහ කීර්ති නාරම්පනාව - පිටු 17 (1999), සිදුහත් කුමරු උපන් ලුම්බිනියේ මහාමායාදේවි විහාරය, සිරිසමන් විජේතුංග පි. 50 – 51 – 2014 ) සිදුහත් කුමරු ලුම්බිනි ග්‍රාමයෙහි උපන් බව සුත්ත නිපාතයේ මෙසේ සඳහන් වේ. අසමසම උතුම් රත්නයක් වැනි ඒ බෝසතාණෝ මිනිස් ලොව හිත සුව පිණිස ශාක්‍ය ජනපදයෙහි ලුම්බිනි ග්‍රාමයෙහි උපන්හ. (සුත්ත නිපාතය මහා වග්ග - නාලක සූත්‍රය පි. 214)

සිදුහත් කුමරු ලුම්බිනි ග්‍රාමයෙහි උපත ලද බව ‘හිද භගවම් ජාතෙති ලුම්බිනි ගාමේ’ යනුවෙන් අසෝක රජු විසින් (ක්‍රි.පූ. 272 – 232) පිහිටුවන ලද ලුම්බිනි ටැම්ලිපියෙහි සඳහන් වී ඇත.එය පුරාවිද්‍යාත්මක මෙන්ම ඓතිහාසික සාක්ෂියකි. (Asoka – D.R. Bhandarkar, P 332 – Unversity of Culcutta – 1925)

මහාපදාන සූත්‍රයෙහි සඳහන්වන පරිදිද බෝධිසත්වයන් වහන්සේගේ පියා සුද්ධෝදන රජතුමා නම් වේ. එතුමා රජකෙනෙකු බව ‘සුද්ධෝදනෝ රාජා’ යන යෙදුමෙන් පැහැදිලි වේ. රාජධානිය කපිලවත්ථුනම් වූ අතර එය ශාක්‍ය ජනපද රාජ්‍යයට අයත් වූයේ ය. බෝසත් උපත ගැන ඇසූ අසිත තාපසතුමා කුමරු දැකීම පිණිස සුදොවුන් රජුගේ මාළිගයට ගිය බව සඳහන් වේ. (සුත්ත නිපාත – නාලක සූත්‍රය පිටු අංක 214) සිය පියාණන් ගැන සඳහන් කළ අවස්ථාවලදී පිතුසක්ක (ශාක්‍යපියා) යන වදන් භාවිතා කළ බව අයුරු දක්නට ලැබේ. මේ අනුව ශාක්‍ය ජනපදයෙහි “කපිලවත්ථුපුර” සුද්ධෝදන ශාක්‍ය රජ ගෞතම බෝසතාණන් වහන්සේගේ පියාණන්ය. වැදූ මව මායා දේවිය බව මහාපදාන සූත්‍රයේ සඳහන් වේ. එය තහවුරු කරන ප්‍රකාශයක් ථෙර, ථෙරී ගාථාවෙහි සඳහන්වේ. ප්‍රජාපති ගෝතමී තෙරණියෝ එහිලා මෙසේ සඳහන් කරති. “බොහෝ දෙනාට වැඩ පිණිස මායාදේවිය ගෝතම බෝසතුන් ප්‍රසූත කළාය. ව්‍යාධි, මරණ ආදියෙන් පීඩාවට පත් වූවන්ගේ දුක්කඳ උන්වහන්සේ දුරු කළහ. (ථෙර ථෙරී ගාථා - ප්‍රජාපතී ගෝතමී ථෙරි ගාථා - පිටු අංක 162 )

ධර්මතාවයක් වශයෙන් බෝසත් මාතාව බෝසත් ප්‍රසූතියෙන් සත් දිනකට පසු මියයන බව මහාපදාන සූත්‍රයෙහි සඳහන් වේ. ඒ අනුව ගෝතම බෝසතුන්ගේ උපතින් සතියකට පසුව මහාමායා දේවිය කළුරිය කළා ය. ඉන්පසු බෝසත් කුමරු හදාවඩා ගැනීමේ වගකීම ඇයගේම සොහොයුරිය වූ ප්‍රජාපතී ගෝතමියගෙන් ඉටු විය. ගෝතමියගේ කාර්ය භාරය ශ්‍රේෂ්ඨත්වය ඇගෙන් සිදු වූ සේවය ප්‍රකාශ වන තොරතුරු බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන්ව ඇත. බෝසත් උපත සැලවීමෙන් රජගෙට පැමිණි ප්‍රාරම්භක ගාථාවලින් පැවසේ. (සුත්ත නිපාත මහාවග්ග නාලක සූත්‍රය. පි. 214) ඒ අනුව රජගෙට පැමිණි අසිත සෘෂිවරයා කුමරා කොහිද? මම දකිනු කැමැත්තෙමියි කීය. ශාක්‍යවරු රූපශ්‍රීයෙන් යුතු කුමරු දැක්වූහ. විපුල පී‍්‍රතියෙන් ඔද වැඩී ගිය අසිත සෘෂිවරයා සොම්නසින් කුමරු පිළිගත්හ. අසිත වේදයෙහි මෙන්ම ලක්ෂණ ශාස්ත්‍රයෙහි ද පාරප්‍රාප්තයෙකි. මේ කුමාරයා අනුත්තරය. දීපදෝත්තම යැයි කඳුලු වැගිරිණ. කුහුලට පත් ශාක්‍යයෝ කුමරුට අන්තරාවක් දැයි කනස්සල්ලෙන් විමසූහ. අසිත පිළිතුරු දෙමින් මේ ළාමක පුද්ගලයෙක් නොවේ. අනුත්තර සම්බෝධියට පැමිණ දම්සක් පවත්වයි. එතුමාගේ ශාසනය පහළ වෙයි. මෙලොව මාගේ ආයුෂ දිගු කල් ඉතිරි නොවෙයි. මරණය සිදුවෙයි. මට මේ අසමසම වීරයාණන්ගේ දහම් අසන්නට නොලැබෙයි. එයින් ආතුර වෙමි. සැප නොලබමි. දුකට වැටෙමි කියා ඔවුන් සනසා රජ ගෙයින් පිටව ගියේ ය.

(බුදුන් වදාළ බුද්ධ චරිතය – පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි සහ කීර්ති නාරම්පනාව පි. 22 – 23 (1999) සිදුහත් කුමරු උපන් ලුම්බිනියේ මහා මායාදේවි විහාරය, සිරිසමන් විජේතුංග. පි. 54 – 2014 )


පසුගිය සතියෙන්:  බුදුපිළිමයේ උපත - 10 : සිදුහත් උපත හා ශාක්‍ය වංශය