Print this Article


සිත ක්ෂේමභූමියක් කරගන්නේ කෙසේද

සිත ක්ෂේමභූමියක් කරගන්නේ කෙසේද

අනේපිඬු සිටාණන්හට තථාගත බුදුරජාණන් වහන්සේ විසින් පැහැදිලි කළ උතුම් දහම් කරුණු සතරෙන්, සතරවන දහම් කරුණ පිළිබඳව අද සුපසන් ජීවිතයකට මාතෘකාව යටතේ විස්තර කර බලමු.

හතරවන දහම් කරුණ ලෙස භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නෙ, ධර්මයෙන් බැහැර වෙන්නෙ නැතිව, ඥාතීනුත් බැහැර කර ගන්නෙ නැතිව, ගුරු දෙමව්පියනුත් එකතු කරගෙන, පරිවාර සම්පත්තියත් ලබල, කාලයක් දීර්ඝායු සම්පත්තිය ලබාගෙන ජීවත්වෙලා මියදුනාට පසුව සැප ගෙන දෙන සුගතියක ඉපදෙන්නට අවස්ථාවක් සැලසිය යුතුයි කියන අදහසයි.

මොනතරම් පිරිසක් තමාගේ ළඟ සිටියත්, මොනතරම් ධන ධාන්‍යය, ගේ දොර යාන වාහන තමාට අයිතිව තිබුණත්, කලක් ජීවත් වුණත්, මරණයෙන් පසු කොතැනක උපදියි ද කියලා සිතට බියක් දැණුනොත් ඒක මේ ජීවිතයේ ම සතුටක් වෙන්නෙ නැහැ. එහෙත් යම් සිතකට මරණයෙන් මතු සුගතිය උරුමවෙයි කියල දුගතියකට නම් යන්නෙ නැහැ කියල ඒ සිතට දැනුණොත් සැබෑවට ම ඒ සිත සතුටින් පවත්වන සිතක් බවට පත්වෙනවා. ධර්මයේ පෙන්වා දුන්නේ

“ඛේමෝ මග්ගෝ සෝවස්තිකෝ ප්‍රීති ගමනියෝ”

“ඛේමෝ මග්ගෝ” යැයි සඳහන් කළේ අපේ ජීවිතයට සිත ක්ෂේමභූමියක් වගේ දැනෙන්න ඕනෙ ක්ෂේම භූමියක් කියල කියන්නෙ ජීවත්වෙන කොට බියක්, සැකයක්, දුකක් කරදරයක්, නැතිව ජීවත්වෙන්න පුළුවන් ස්ථානයක් ප්‍රදේශයක් ධර්මයේ සඳහන් කළේ ජාති, ජරා, ව්‍යාධි, මරණ නිසා සිතට බිය නැතිවන මනසක් ඇති කර ගන්න පුළුවනි නම්, ඒක ක්ෂේම භූමියක් වගෙයි. මට මොනවා වෙයිද ඉපදුණාට පස්සෙ මට මොනවා වෙයි ද ලෙඩදුක්වලට පත්වෙලා මට දුක් විඳින්න වෙයි ද ධර්මානුකූල ජීවිතයක ඉහත සඳහන් කළා වගේ කටයුතු කරන කොට ඒ සිත්වල තිබෙන ඒ සැකය බැහැරවෙලා යනවා. සිත නිදහස් වෙනවා. ධර්මයට එකතු වෙච්ච සිත්වලට කායික ලෙඩ දුක් දුකක් වෙන්නෙ නැහැ. කායික දුක්වලට ප්‍රතිකාර කරනවා. එහෙත් එය ලෝක ස්වභාවයක් හැටියට දැකල, කය ගිලන් වුණත් සිත ගිලන් කරගන්නෙ නැතිව මනස පවත්වගන්න තරම් හැකියාවක් තියෙනවා. එවැනි සිතක් නිදහස් වූ සිතක් මරණයෙන් මතු මට දුක්විඳින්න වෙයි කියල සතර අපායේ තැනක උපදින්න වෙයි කියල සිතට බියක් ඇතිවෙන්නෙ නැහැ. ඒ තමයි සඳහන් කළේ ක්ෂේමභූමියක් වගේ සිතක් කියල.

“සෝවස්ති කෝ සුවසේ ප්‍රීති ගමනියෝ”

නිරාමිස ප්‍රීතියෙන් යුතු ගමනක ම ජීවිතය පවත්වන්න පුළුවන් අපට පැහැදිලියි නේ, කෙසේ ජීවත් වුණත් වර්තමාන පරිසරය තුළ අවුරුදු සියයක් ගත කරන්නෙත් බොහොම අපහසුවෙනුයි. අවුරුදු සියයකට වඩා දීර්ඝායුෂ ලබන අය ඉතාම දුර්ලභයි. එසේ ජීවත් වුණත් අවුරුදු එකසිය විස්සකට විසිපහකට වඩා ජීවත්වීම නම් වර්තමාන කාලයේ සිතන්නට අපහසුයි.

බුදුරජාණන් වහන්සේගේ කාලයේත් එනම් ගෞතම බුද්ධ ශාසනයෙත් වැඩිපුරම දීර්ඝායුෂ ලැබුවේ අවුරුදු එකසිය හැටක් ජීවත් වූ බක්කුල ස්වාමීන් වහන්සේයි. එහෙම නම් දීර්ඝායු සම්පත්තිය ලබන්න සිතීමත් සද්පුරුෂ මනුෂ්‍යයන්ගේ සිතේ පවතින කරුණකුයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, ගෘහපතිය ඉටුවඩන සිත සතුටු කරන තමන් කැමැති ලෝකයේ දුර්ලභ මේ කරුණු සතර ලබන්නට නම් කුමක් ද සිද්ධ කරන්නට ඕනෙ. මේ කතාව ඔබේ කතාව වෙන්නට ඕනෙ. නොසන්සුන් වූ මනසක් ඇති යම් කෙනෙකුට කලබලකාරී පරිසරයක, කාලයක ජීවත්වන කෙනෙකුට දුර්ලබව ලබාගත්ත මනුෂ්‍ය ජීවිතයෙන් සැබෑ සතුටක්, සැනසිල්ලක් ලබන්නට අවශ්‍ය නම් මේ පහත සඳහන් දහම් කරුණු සතර අනුගමනය කළ යුතු බව භාග්‍යවතුන් වහන්සේ පෙන්නල දෙනවා. ඒ කරුණු සතර නම් සද්ධා සම්පදාව, සීල සම්පදාව, චාග සම්පදාව සහ පඤ්ඤා සම්පදාවයි.

භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා ගෘහපතිය, සද්ධා සම්පදා කියල කියන්නේ කුමක් ද මේ ලෝකයේ මේ ගෘහස්ථ ජීවිතය ගත කරන ශ්‍රාවකයා භික්ෂුවක්, භික්ෂුණියක්, උපාසකයෙක් හෝ උපාසිකාවක් වෙන්න පුළුවනි. මේ අය ඉතාම ශ්‍රද්ධාවන්ත වෙනවා. ඒ කොහොමද මේ කරුණෙන් එය භාග්‍යවතුන් වහන්සේ අරහත්ය, සම්මා සම්බුද්ධය, විජ්ජාචරණ සම්පන්නය, සුගත ගුණයට ඇතුළත්ය. ලෝකවිදුයි. අනුත්තර පුරිස දම්ම සාරතී නම් වන සේක. සියලු දෙවි මිනිසුන්ට ශාස්තෘ වන සේක, බුද්ධ නම් වන සේක, භගවත් නම් වන සේක. මේ ලෙසින් තථාගත බුදුරජාණන් වහන්සේ ගේ ඒ නව අරහාදි බුදුගුණ මුල්කොටගත් සම්බෝධිය අවබෝධයෙන් ම විශ්වාස කරනවා. අවබෝධයෙන් ම අනුගමනය කරනවා. මෙයට කියනවා ශ්‍රද්ධා සම්පත්තිය කියලා.

ඉහත සඳහන් කළ ප්‍රිය මනාප, සිත සතුටු කරන කැමැති දුර්ලභ දහම් කරුණු තමන්ගෙ ජීවිතයට එකතු කර ගන්න නම් යම් වූ ද ගෘහස්ථ ජීවිතයක් ගත කරන අය විසින් ද පළමුකොට මේ ශ්‍රද්ධා සම්පත්තියෙන් පිරිපුන් විය යුතුමයි. අපේ සිත සියලු දේටම මුල්වෙනවනෙ. මොනතරම් ධනයක් ලැබුණත් තමන්ටම කියල ගෙයක් දොරක්, යාන වාහන තිබුණත්, සිත සකසාගන්න බැරි වුණොත් ඒ සිත් තුළ දුක, සෝකය, සන්තාපය, කණගාටුව ඇතිවෙයි. මේවා එක පැත්තකින් දැඩි ආශාව, ලෝභය, රාගය වෙන්න පුළුවන්. තවත් ආකාරයකින් තරහව, වෛරය, පළිගැනීම වෙන්න පුළුවණි. එතකොට තමන්ට කියල නිවහනක් තිබුණත් ඒ නිවහන තුළ ජීවත්වෙන්න වෙන්නෙ දුකකින්, කණගාටුවකිනුයි. නිදාගන්න ගියත් නින්ද යන එකක් නැහැ. ආහාර පාන තමන්ගේ ඉදිරියේ තිබුණත් කොයිතරම් මිහිරි වුණත් කුසගින්න දැනෙන එකක් නැහැ. ඒ සිත නොසන්සුන්ව තියෙන නිසා, එහෙත් සිත සන්සුන් වුණාම ඉතාම ස්වල්ප දේකින් පවා නිවැරැදි ආකාරයෙන් ලෞකික ලෝකයේ දියුණුවක් ජීවිතයේ ලබන්න පුළුවන්. ඒ නිසා සද්ධා සම්පත්තිය පළමු කොට බොහෝම වටිනවා. ඒ සද්ධා සම්පත්තිය සකස් කරගන්නෙ කවුරුන් කෙරෙහි ද

සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂයක් දානාදි පාරමී ධර්ම සම්පූර්ණ කරල, ත්‍රිවිධ්‍යා අවබෝධයෙන් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් සම්මා සම්බුද්ධත්වය ලැබූ තථාගත බුදුරජාණන් වහන්සේ පිළිබඳවයි. මිනිස් සිතක පහළ කරගන්න පුළුවන් සෑම ගුණයක් ම භාග්‍යවතුන් වහන්සේ ඒ සිතේ ඇති කර ගත්තා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයයි. මිනිස් සිතේ ඇතිවෙන්න පුළුවන් හැම දුර්ගුණයක් ම භාග්‍යවතුන් වහන්සේ බැහැර කළා. ඒ ප්‍රධාන වශයෙන් රාග, ද්වේෂ, මෝහ නම් වූ කරුණුයි. දැන් අපට මනා වූ අවබෝධයකින් භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම මාර්ගයට බුදු සිරිතට සිතින් හදවතින් ළංවෙන්න පුළුවනි. මේ නව අරහාදී බුදු ගුණවලින් එක කරුණක් අපි මෙහි සලකා බලමු.

“රහසත් පව් නොකොට,

කෙලෙසරයනුත් දුරුකොට

නිසි වූයෙන් පුදට අරහ යන නම කියති මුනිඳුට”

තථාගත බුදුරජාණන් වහන්සේ රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙසුන් මුළුමනින් ම බැහැර කළා. රහසින්වත් පාපයක් කළේ නැහැ. සියලු දෙවි මිනිසුන්ගේ ආමිස, ප්‍රතිපත්ති පූජාවනට සුදුසු වුණ තථාගත බුදුරජාණන් වහන්සේගේ මේ ‘අරහං’ බුදුගුණය මෙනෙහි කරල, සිතින් දැකල, අපේ සිත පහදවා ගන්නවා. එනම් ඒ ගුණ අපේ සිතට කැඳවාගන්නවා. ඒ ගුණයන් කෙරෙහි අප සිත ඔසවා තබනවා. එනම් නිරන්තරයෙන් ම අප ජීවත්වන්නෙ, ජීවිතය පවත්වන්නෙ ඒ අරහං ආදී බුදුගුණයන් කෙරෙහි සකස් කළ මනස හා සමගිනුයි. සිත හා සමඟිනුයි. සද්ධා සම්පදාව ඒ ලෙසිනුයි පැහැදිලි කළේ. ඒ බුදුගුණයන් සිතින් දකින්න දකින්න අවබෝධයට එන්න එන්න සිත පහදිනවා. ප්‍රසාදය ඇතිවෙනවා. තමන් ඒ බුදුගුණ තුළ ජීවත්වෙනවා වගේ තමන්ට දැනෙන්න පටන් ගන්නවා. දහසක් වැඩකටයුතු තිබෙනවා කියා සඳහන් කළත්, ලැබූ මේ මනුෂ්‍ය ජීවිතයේ හැම කෙනෙකුට ම මුහුණපාන්නට සිදුවෙන ලාභ අලාභ ආදී අෂ්ඨ ලෝක ධර්මය ඉදිරියේ පවා තණ්හා මද මාන දෘෂ්ඨියට හසුවෙන්නෙ නැතිව හෝ හැඬීම්, වැළපීම්, සෝක පරිදේවයන්ට, හසුවෙන්නෙ නැතිව උපේක්ෂාවෙන් ම ජීවිතය පවත්වන්නට අවස්ථාව සැළසෙනවා.