Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය – අංගුත්තර නිකායේ පත්ත කම්ම සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ අනේපිඬු සිටුවරයාටයි. මේ සූත්‍රයෙහි දැක්වෙන පරිදි ලෝකයෙහි දුර්ලභ කරුණු සතරෙකි. ඒ මොනවාද

පිළිතුර – ධාර්මික ව භෝග සම්පත් උපදවා ගැනීම, ධාර්මිකව පිරිවර සම්පත් දියුණුවීම, ධාර්මිකව බොහෝ කල් ජීවත්වීම, මරණින් මතු ස්වර්ගගාමී වීම.

ප්‍රශ්නය - ලෝකයේ දුර්ලභ කරුණු සතර ලබාගැනීමට උපකාරීවන කරුණු සතරෙකි. ඒ මොනවාද

පිළිතුර - සද්ධා සම්පදා, සීල සම්පදා, ත්‍යාග සම්පදා, පඤ්ඤා සම්පදා.

ප්‍රශ්නය – නිර්මාණවාදය පිළිබඳ ව පැරැණිතම අදහස නම් දෙවියන් වහන්සේ ඔහුගේ ප්‍රතිමුර්තිය අනුව මිනිසා මැවූ බවයි. එහෙත් ඊට පටහැනි ව වර්තමාන චින්තකයෝ ඊට වෙනස් මතවාදයක් ඉදිරිපත් කරමින් මිනිසා ඔහුගේ ම ප්‍රතිමූර්තියෙන් දෙවියන් මැවූ බව පවසති.

එක් අවස්ථාවක සුබ නම් තරුණයෙක් බුදුන් වහන්සේ වෙත පැමිණ මිනිසුන් අතර දීර්ඝායුෂ ඇත්තෝ ද අල්පායුෂ ඇත්තෝ ද වෙති. රෝගීහු ද නිරෝගීහුද වෙති. ලක්ෂණ අය ද අවලක්ෂණ අය ද වෙති. බලවත් ඇත්තෝ ද බෙලහීනයෝ ද වෙති. ඥානවන්තයෝ ද අඥාවන්තයෝ ද වෙති. යනුවෙන් මිනිසුන් අතර උස් පහත් භේදයට කරුණු විචාළේ ය. මේ නිර්මාණවාදී අදහස්වලට පිළිතුරු වශයෙන් පෙළපොතේ එන බුද්ධ දේශනා පැහැදිලි කරන්න.

පිළිතුර - සුබ මානවකට භාග්‍යවතුන් වහන්සේ කෙටි පිළිතුරක් සපයමින් සත්වයෝ කර්මය ස්වකීය කොට ඇත්තාහ. කර්මය දායාද කොට ඇත්තාහ. කර්මය කාරණා කොට ඇත්තාහ. කර්මය උස් පහත් වශයෙන් සත්වයා කොටස් කෙරෙයි වදාළහ.

ප්‍රතීත්‍ය සමුද්පාද ධර්මය අනුව උන්වහන්සේ තවදුරටත් මෙම කරුණ පිළිබඳ ව පැහැදිලි කරමින්, අප විසින් නෙළනු ලබන්නේ අප විසින් ම වපුරන ලද බීජයේ අස්වැන්නයි. අප වපුරන බීජයේ අස්වැන්න අපි කවදා කොතැනක හෝ නෙළන්නෙමු. එක් අතකින් බැලූ විට අපි අපේ ම ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයයි අප අනාගතයෙහි දී පල විඳින්නේ වර්තමාන ක්‍රියාවලියේ ප්‍රතිඵලයයි. අනෙක් අතින් බලන කල සමස්තයක් වශයෙන් අපි අප කළ ක්‍රියාවේ ප්‍රතිඵලය ම නොවේ අප අනාගතයේ දී ඵල විඳින්නේ. වර්තමානයේ දී අපගේ ක්‍රියාවල ම ප්‍රතිඵලය නොවේ. උදාහරණයක් වශයෙන් ගතහොත් අද අපරාධකරුවා හෙට සද්භාවයෙන් යුත්තෙක් විය හැකි ය. බුදුදහම අනුව එක එල්ලේ ම (නියතිවාදයක්) හැටියට කර්මයට පමණක් ම සීමිත යැයි සැලකීමක් නැත.

හැම දෙයක්ම වන්නේ කර්මය අනුව ම නම් මිනිසා නිරන්තරයෙන්ම දුෂ්ඨ විය යුතු ය. එසේ නම් ‘සෑම මිනිසෙක් පව්කාරයෙක්’ ය යන්න ද අප විසින් පිළිගත යුතු ය. ඒ ඔහුගේ කර්මයයි. අසනීපයක් සුවකර ගැනීමට නම් අප වෛද්‍යවරයකු වෙත යා යුතුය. කර්මානුරූපව ලෙඩ රෝග සුවවේ නම් අපට වෛද්‍ය සහාය නුවුවමනා බව ඇත්තකි.

ප්‍රශ්නය – “මම සැප විඳිමි” යන හැඟීම යම්තාක් සත්වයා තුළ බලපවත්වයි නම් ඒ තාක් ඔහු තුළ භවයෙන් ඉවත්වීමේ කැමැත්ත පහළ නොවේ. මේ හැඟීම සත්වයා තුළින් ඉවත් කළ හැකි විසුද්ධි මාර්ගය පැහැදිලි කරන්න.

පිළිතුර – දුක්ඛ නිරෝධ මාර්ග සත්‍යයෙහි ප්‍රථමයෙන් ම සම්මා දිට්ඨිය යෙදී ඇත්තේ මේ දුක්ඛ සමුදායාර්ය සත්‍ය නැසීම සඳහා අත්‍යර්ථයෙන් උපයෝගී කළයුතු මාර්ගාංගය වශයෙනි.

ප්‍රශ්නය – විඤ්ඤාණය නිසා නාමරූප හටගැනේ. මෙම ප්‍රස්තුතය ගැඹුරු කරුණකි. එහෙත් සරලව ධර්මානුකූල ව විවරණයක් කළ හැකි ය. පැහැදිලි කිරීමක් කරන්න.

පිළිතුර – නාම රූප යන්නෙන් ගැනෙන්නේ ස්කන්ධ පංචකයි. වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණය යන ස්කන්ධ හතර ‘නාම’ ස්කන්ධ වශයෙන් ද රූපය රූප ස්කන්ධ වශයෙන් ද වෙන්වෙයි.

නාම ශබ්දය ‘නොයෙක් අතට නැමීම’ යන අදහස දෙයි. නාම ස්කන්ධ එබඳු නොයෙක් අතට නැමීමට පත්වන ධර්ම නිසා ඒ නමින් සංග්‍රහ වී තිබේ. සුඛ දුක්ඛ වශයෙන් පමණක් නොව ධර්ම හෙවත් නාම ධර්මවලින් බවය.

මෙසේ අරූප ධර්ම හෙවත් නාම ධර්මයන්ගේ මූලිකත්වයෙන් රූප – අරූප ධර්ම සංයෝගයෙන් (එක්වීමෙන්) සත්වයා ගේ ඇතිවීමත්, පැවැත්මත් සිදුවන අතර, රූප අරූප ධර්මයන්ගේ වියෝගයෙන් (වෙන්වීමෙන්) සත්වයා ගේ පැවැත්ම නතරවීමත් අභාවය (මරණය) සිදුවීමත් හැර ආත්මය යැයි ගත යුතු මරණයෙන් පසු ශරීරය අත්හැර දමා අනෙක් තැනක පිළිසිඳ ගන්නා නොපෙනෙන අද්භූත ජනක ඵලයක් නැත.

ප්‍රශ්නය – චාරිකා වරණය බුද්ධ චරිතයෙහි දක්නට ලැබෙන තවත් විශේෂ ලක්ෂණයකි. නිදසුන් මඟින් පන්සාළිස් වසක චාරිකා පිළිවෙත පැහැදිලි කරන්න.

පිළිතුර – වස්සාන සෘතුව ආරාමගත වැඩ සිටින භාග්‍යවතුන් වහන්සේ ඉතිරි කාල පරිච්ඡේදය චාරිකා සඳහා යොදා ගනිති. ගම්, නියම් ගම්, ජනපද, රාජධානි වශයෙන් සැරිසරන උන්වහන්සේ භාරතයේ මධ්‍යම දේශය නමින් හැඳින්වෙන විශාල ප්‍රදේශය විෂයකොට ගත් බව සූත්‍රයන්හි සඳහන් නිදාන පාඨ වලින් පැහැදිලි වෙයි. උන්වහන්සේ අත්දැකීම් අනුව චාරික ක්‍රම දෙකක් ඇති බවත් එකක් ආදීනව සහිත වන අතර, අනික ආනිශංස දායක බවත් පෙන්වා දුන්හ. මෙයින් බහුල වශයෙන් අනතුරු ආදීනව බහුල ව දක්නට ලැබෙන බව මෙසේ වදාළහ. “මහණෙනි, අනියම් දීඝ චාරිකාවෙහි ආදීනව පහක් වෙයි.

නොඇසූ දහම් නොඅසයි. ඇසූ දහම් පිරිසුදු නොවෙයි. ඇසූ කිසිවක් විශාරද නොවෙයි. දැඩි රෝග ඇති වෙති. මිතුරෝ ඇති නොවෙති. අවස්ථානුරූපි දෙවන චාරිකා ක්‍රමයෙන් ආනිසංස පහකි. නොඇසූ දහම් අසයි. ඇසූ දහම් පිරිසුදු වෙයි. ඇසූ දෙයින් විශාරද වෙයි. දැඩි රෝග පීඩා ඇති නොවෙයි. මිතුරෝ ඇති වෙති. (අං.නි. දාතිය චාරිත සූත්‍ර)

යහපත් ප්‍රතිඵල ලබා දීමෙන් අප අවස්ථානුරූපී චාරිකාව තමත්ටත්, අනුන්ටත් අධ්‍යාත්මික බාහිර වශයෙන් වැදගත් වෙයි. මෙසේ හෙයින් තථාගතයන් වහන්සේ බුද්ධත්වයේ පටන් පරිනිර්වාණය දක්වා ම චාරිකාවෙහි යෙදීමට සුදුසු අවස්ථා තෝරාගෙන චාරිකා කළහ.

ප්‍රශ්නය – ධම්මපද ධර්ම ග්‍රන්ථයේ පි‍්‍රය වර්ගයේ නවවැනි ගාථා ධර්මයයි මේ.

සීල දස්සන සම්පන්නං
ධම්මට්ඨං සච්චවෙදිනං
අත්තනො කම්ම කුම්බානං
තං ජනො කුරුනෙ පියං

මෙහි සරල අදහස පැහැදිලි කොට, පුද්ගල ජනපි‍්‍රයත්වය සඳහා එක් තැන් විය යුතු මිනිස් ගුණ දහම් පිළිබඳ බෞද්ධ මතය අගය කරන්න.

පිළිතුර - සීලාචාර බව, නැණ නුවණ ඇති බව සත්‍යගරුක බව, ධාර්මික බව තම වගකීම හරියාකාර ව ඉටු කරන සුළු බව.

ශීල, දස්සන, සම්පන්න යන පදයෙන් සඳහන් වන්නේ ශීලාචාර බව හා නැණ නුවණින් යුතු බව නිසා පුද්ගල ජීවිතය අන්‍යයන් අතර කොතෙක් දුරට ඇගැයුමට ලක්වෙනවා ද යන්න ය. අඳ බාල ලෙස අශීලාචාර බවින් ජන සමාජය තුළ හැසිරීම සාමාජික පැවැත්මට අහිතකර බව මෙයින් පැහැදිලි වෙයි.

“ධම්මට්ඨං සච්චවෙදිනං” ජනපි‍්‍රයතාවය සඳහා හේතු වන තවත් සාධක දෙකකි. ධාර්මික බව හා සත්‍යවාදීත්වය. පුද්ගල දිවිපෙවෙත මෙන් ම පොදු සමාජයට අත්‍යවශ්‍ය වූවකි සාධාරණ බව හා අවංක බව, ඒවා ජනපි‍්‍රභාවය සඳහා බෙහෙවින් ම බලපාන ගුණාංග “අත්තනො කම්ම කුම්ඛානං” තමා සතු වගකීම හඳුනාගෙන එය නිසි ලෙස ඉටු කිරීම, විශ්වාසනීයත්වය නිසා ජනපි‍්‍රයවීමට හේතු වෙයි.