Print this Article


මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ

මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ

චරිතාපදානය-4

‘මුල දී මුලදි නම් බණ කියන්න ටිකක් බය හිතුණා. ලැජ්ජාවකුත් ඇති වුණා. ඒත් ලොකු හාමුදුරුවන් වෙනුවෙන් සියල්ල මා කළ යුතුයි කියන හැඟීම එද්දී ටිකෙන් ටික බණ කියන්න පුරුදු වුණා. මා හොඳ ධර්ම දේශකයන් වහන්සේ නමක් වුණා නම් ඒ සියල්ලේම ගෞරවය හිමි වන්නට ඕනෑ නායක හාමුදුරුවන්ටයි.‘

නාග විහාරයේ ඔත්පලව වැඩ සිටි තම ලොකු හාමුදුරුවන් වහන්සේට ඇප උපස්ථාන කටයුතු කරමින් විශ්ව විද්‍යාලයට වැඩම කරන ලද සෝභිත හිමියෝ විහාරස්ථානයේ ගැටලු කිසිවක් විශ්ව විද්‍යාලයට රැගෙන නොගියහ. එහිදී උන් වහන්සේ සිටියේ විශ්ව විද්‍යාල ජීවිතය තුළ පමණි. දහසක් කරදර බාධක මධ්‍යයේ වුවද සෝභිත හිමියන් විශ්වවිද්‍යාල ජීවිතයේදී ඒ කිසිවක් නොපෙන්වා අධ්‍යයන කටයුතුවල නියැළීම සිතා ගැනීමටවත් අපහසුය.

විශ්වවිද්‍යාලය තුළ සිදුවන සියලු අරගලවලදී උන් වහන්සේ පෙරමුණ ගත්හ. ශිෂ්‍ය අයිතිවාසිකම් හා සිසුන්ට එල්ලවන විවිධ අකටයුතුකම් හමුවේ උන් වහන්සේ අභීත සිංහයකු සේ කටයුතු කළහ.

මේ සියල්ලටමත් වඩා උන් වහන්සේ වේගවත් කථිකයකු වීම සැමගේ සිත් ගත්තක් විය. මනාසේ අංග චලනයෙන් තම අදහස් හුවා දැක්වීමට උන් වහන්සේට උපන් හැකියාවක් විය. මේ කථිකත්වය නිසාම විශ්වවිද්‍යාලය තුළ ‘මාදුළුවාවේ සෝභිත හිමි‘ යන නාමය අස්සක් මුල්ලක් නෑර පැතිර යන්නට විය.

ආචාර්යවරුන්ද, සිසුන්ද අනෙකුත් කාර්ය මණ්ඩල අතරද සෝභිත හිමියන් ජනප්‍රිය වූයේ කථිකත්වයට උපන් හපන්කම් ඇති ස්වාමීන් වහන්සේ නමක් ලෙසිනි. මේ නිසා අවසානයේ උන් වහන්සේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ධුරයට පත් වූහ. ගිලන්ව නේවාසිකව සිටින තම ගුරු දේවයන් වහන්සේට ආවතේව කරනු ලබන ගමන් අධ්‍යාපනික කටයුතු සිදුකරනවාට අමතරව සිසුන්ගේ අයිතීන් වෙනුවෙන් කතා කරන්නට හඬ නඟන්නට උන් වහන්සේට සිදු විය.

එහෙත් අවිවේකී බව උන් වහන්සේට ගැටලුවක් නොවීය. ඒ කිසිවකින් උන් වහන්සේ සැලුණේ නැත. තම ශක්තිය ධෛර්යය උපදවාගෙන සියලු ගැටලු වලට මුහුණ දුන්හ.

එමෙන්ම මේ සියලු අරගලවලදී උන් වහන්සේ නිබඳවම පැවසූ දෙයක් විය. ‘මේ සියලුම අරගල මා කරනු ලබන්නේ මහණකම රැකගෙනයි‘ එය වර්තමාන භික්ෂූන් වහන්සේට මහත් වූ ආදර්ශයක් බව කිව යුතුමය.

තවද සෝභිත හිමියන් නිරතුරුවම පැවසුවේ මෙවැන්නකි.

'නාග විහාරයත් විද්‍යෝදය විශ්වවිද්‍යාලයත් අතර දුර සිමිතයි. දායක දායකාදීන් නිතරම හමුවෙනවා. ඒ අයට මා ස්වාමීන් වහන්සේ නමකගේ ගෞරවය තබා ගන්නා බව ආදර්ශවත් විය යුතුය. එම නිසා ශිෂ්‍ය සටන්වලදී මා ක්‍රියා කළේ ඉතාම ප්‍රවේශම් සහිතවයි. අනෙක් කරුණ භිකෂූන් වහන්සේට කැප හා අකැප දේ තිබෙන බව මා හොදින් වටහාගෙන තිබෙනවා.'

එසේම රේවත හිමියන් ගිලන්ව එක්තැන්ව සිටි හෙයින් කෝට්ටේ නාග විහාරයේ සියලු කරුණු කාරණා බලන්නට වූයේද සෝභිත හිමියන්ටය. එය වැඩබලන විහාරාධිපති තනතුරකට සමාන විය. විහාරස්ථානයේ සියලු කටයුතු වලට මෙන්ම ධර්ම දේශනා සඳහාද වැඩම කිරීමට උන් වහන්සේට සිදු වූහ. රේවත නා හිමියන් ඔත්පලවීම නිසා උන් වහන්සේ විසින් කළ යුතුව තිබූ සියලුම ආගමික කටයුතු ඉටු කිරීමට සෝභිත හිමියන්ට සිදු විය. සෝභිත හිමියන්ට එම දිනවල මුහුණ පාන්නට වූ තත්ත්වයන් උන් වහන්සේ විසින්ම මෙසේ පවසන ලදී.

‘මුල දී මුලදි නම් බණ කියන්න ටිකක් බය හිතුණා. ලැජ්ජාවකුත් ඇති වුණා. ඒත් ලොකු හාමුදුරුවන් වෙනුවෙන් සියල්ල මා කළ යුතුයි කියන හැඟීම එද්දී ටිකෙන් ටික බණ කියන්න පුරුදු වුණා. මා හොඳ ධර්ම දේශකයන් වහන්සේ නමක් වුණා නම් ඒ සියල්ලේම ගෞරවය හිමි වන්නට ඕනෑ නායක හාමුදුරුවන්ටයි.‘

ඒ 1965-66 වකවානුවයි. නාග විහාරය ඒ වන විට යම් දියුණු තත්ත්වයකට පත්වෙමින් තිබුණි. ඒ සමගම සෝභිත හිමියෝ විශ්වවිද්‍යාලයේ අවසන් උපාධි පරීක්ෂණයට පෙනී සිටි විශ්වවිද්‍යාලයෙන් පිටවූහ. ඒ 1967 වසරේදීය. සෝභිත හිමියන්ට 1967 වසර ඉතාම ශෝචනීය මෙන්ම ඉතාම දරුණු පහරක් වැදුණු වසරක් විය. ඒ තම ලොකු හාමුදුරුවන් වූ මුල්ලේරියාවේ රේවත නාහිමියන්ගේ අපවත් වීමයි. දීර්ඝ කාලයක් ඇප උපස්ථාන කළ උන්වහන්සේ එයින් දැඩි සංවේගයට පත් වූහ.

නා හිමියන්ගේ අපවත්වීමෙන් පසුව නාග විහාරයේ සියලු කාර්යයන් ඍජුවම පැවරුණේ සෝභිත හිමියන්ටය. නාග විහාර සංවර්ධනය වේගවත් වූයේ ඒත් සමඟය.

ධර්ම දේශකයන් වහන්සේ නමක් වශයෙන් උන් වහන්සේ ක්‍රමයෙන් ජනතා හදවත් තුළට ළංවිය. ‘මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ට බණ කියන්න උපන් හැකියාවක් තියෙනවා‘ මේ ආරංචිය ගම් නියම්ගම් පුරා පැතිර යන්නට විය. ඒ නිසාම හැම ගම් ප්‍රදේශයකටම උන් වහන්සේ වැඩම කරවා ගෙන එන්නට බොහෝ දෙනා උත්සුක වූහ. සෝභිත හිමියන්ගේ දිවි පෙවෙත ඉතා සරලය. තමන්ට ධර්ම දේශනයට ආරාධනා කරන්නේ කවුදැයි උන් වහන්සේට වැදගත් නොවීය. තමන්ට ඉඩ ප්‍රස්ථාවක් ඇත්නම් දුර පවා ප්‍රශ්නයක් නොවීය.

මේ ආකාරයෙන් ධර්ම දේශනා සඳහා ආරාධනා කරන්නට පැමිණි අය අතර මෙරට ප්‍රභූ ව්‍යාපාර පෙළැන්තියේ බොහෝ අයද වූහ. ඒ බව මෙහිදී විශේෂයෙන්ම පැවසිය යුතුය.

ඒ අතර අභාවප්‍රාප්ත දේශබන්ධු එච්.කේ ධර්මදාස නවලෝක සමූහ අධිපතිවරයා මෙන්ම නුගේගොඩ සව්සිරි සමූහ ව්‍යාපාරයේ අධිපති නාග විහාර සංවර්ධන කමිටුවේ සභාපති ධුරය බාරගත් ලොකු කොඩිකාර මහතා නාග විහාර සංවර්ධන සභාවේ ලේකම් දානපති අශෝක පෙරේරා මහතා. වෝග් ජුවලර්ස් අධිපති චන්ද්‍රා හේමචන්ද්‍ර මහත්මිය එතුමියගේ පුතුණුවන් වන අනුර හේමචන්ද්‍ර මහතා වැනි පිරිස් සඳහන් කළ හැකිය. ඒ දේශීය වශයෙනි. එමෙන්ම ලෝකය පුරා විවිධ රටවල රැදී සිටි ශ්‍රී ලාංකික බොහෝ පිරිස්ද උන් වහන්සේ ගේ සියලු කටයුතු සඳහා තම උපරිම ශක්ති ප්‍රමාණයෙන් සපයා දිමට උත්සුක වූහ.

ඒ අතර විදේශිකයෝද වූහ. කෝට්ටේ නාග විහාරය ලොව සුපතළ වන්නට පටන් ගත්තේ එතැන් පටන්ය. ඒ සුපතළ නාමය ඉදිරියට ගෙන යන්නට සෝභිත හිමියන්ට හැකි වූයේ කෙසේද

නවම් අමාවක පෝදා මාර්තු 08වනදා පත්‍රයෙන්...ඒ ගැන විවරණය කරමු


පසුගිය සතියෙන් - මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ - චරිතාපදානය-3