Print this Article


අභිරූපනන්දා මහරහත් තෙරණින් වහන්සේ

අභිරූපනන්දා මහරහත් තෙරණින් වහන්සේ

සතර මහා ධාතූන්ගෙන් සැදුනාවූ අස්ථිර වූ කයක් දරාගෙන සසරෙහි දුරගමනක් ගොස් එම විඩාවෙන් විමුක්ත වන්නට ආර්යමාර්ගය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සේක. මහා කරුණාවෙන් වදාළා වූ සදහම් අවබෝධයෙන් යථාර්ථාවබෝධය ලද්දා වූ නිවනින් සැනසුනා වූ මහරහත් උතුමන්ගේ ගුණ සුවඳ සිහිකිරීම කුදු මහත් වූ ශ්‍රද්ධාවක් ඇති කරවන්නා වූ පින්බර සිතුවිල්ලකි.

ගෙවා දැමූ කාමාදී ආශ්‍රව නිමකළා වූ, බඹසර වැස නිමකළා වූ, චතුස්සත්‍ය අවබෝධයෙන් සසර ගමන නිම කළා වූ බහාතැබූ කෙලෙස් දහම් දුරු කළා වූ ප්‍රත්‍යක්ෂ අවබෝධයට පත් වූ මහරහත් උතුමෝ භාග්‍යවත් බුදුහිමි හදවතින් නිපන්නෝමය.

කුඩා සිදුරු රහිත වූ මහ සිදුරු රහිත වූ ඒක ඝන වූ ගල්පර්වතයක් බලවත් වාතමේඝයන් පෙරදිගින් එන්නේ පර්වතය යම්සේ සොලවාලිය නොහැක්කා සේ, හාත්පසින් සොලවාලිය නොහැක්කේ ද වෙව්ලා බිම හෙළිය නොහැක්කේ ද, එපරිද්දෙන් කිසිදු කෙලෙස් ගින්නක් හමුවේදී මූලික වශයෙන් රාග, ද්වේෂ, මෝහ කෙලෙස් දහම් හමුවේදී රහතන් වහන්සේගේ විරාගී සිත සොලවා කම්පා කළ නොහැක.

එවන් වූ වීතරාගී, සිතකට, එවන් වූ වීතදෝසි සිතකට, එවන් වූ වීතමෝහී සිතකට උරුමකම් කියා නිවනින් සැනසුනු සිතැති පිරිනිවී වැඩමකොට වදාළ අභිරූපනන්දා මහරහත් තෙරණින් වහන්සේගේ උතුම් නික්ලේෂී ජීවිතය පිළිබඳව සිත පහදවා සැනසීම ලබමු.

අභිරූපනන්දාවෝ පෙර බොහෝ පින්කර ඇත්තීය. බන්ධුමතී නුවර බන්ධුම නම් ක්ෂත්‍රියාහට බිරිඳක වූවාය. හුදකලා වූ ක්ෂත්‍රිය බිරිඳ සසරෙහි භයානකත්වය සිතන්නීය. තම ගමන යන විට ගෙනයාම පිණිස ඇය විසින් කරන ලද කුසලයක් නොමැති බව සිතා අතිශය දරුණු වූ නිරයෙහි ඉපදීම ඒකාන්තයයි බිය දැනී පහන් වූ මනසින් යුක්තව රජු වෙත එළඹියාය.

“දේවයන් වහන්ස, අපි හැමදාම පුරුෂයන් පුරුෂයන් අනුව යන ස්ත්‍රීහු වෙමු. දන් වැළඳවීම සඳහා මට එක් භික්ෂුවක් පවරා දෙනු මැනවි.

ලෙසින් ප්‍රකාශකරමින් කුසල් කිරීම පිණිස මහඟු සිතක් පහළ කොටගෙන රජුගෙන් අයැද සිටියාය. ජීවිත යථාර්ථය දකින්නා වූ නුවණැත්තෝ එවැනිම සිත් ඇත්තෝ වෙති. අප්‍රමාදී ව කුසල් දහම් හි නිරත වන්නේ ය.

රජතුමා සන්සුන් ඉඳුරන් ඇති භික්ෂුවක් ඇයට පවරා දුන්නේය. එයින් සන්තෝෂභාවයට පත් වූ ඕ තොමෝ භික්ෂූන් වහන්සේගේ පාත්‍රය ගෙන බොජුනෙන් පුරවා දහසක් අගනා වස්ත්‍ර යුගලයක් පහන් සිතින් පූජා කළෝය.

එම කුසල ධර්මය නිරතුරු මෙනෙහි කරමින් සිට මනස පිහිටුවා මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට ගොස් දෙව්වරුන් දහසකට අගමෙහෙසිය වූවාය. සක්විති රජවරුන් දහසකට අගමෙහෙසිය වූවාය. ප්‍රදේශ රාජ්‍යයන්හි අධිපතිව රාජ්‍යය කළ රජුගේ බිසව වූ වාර අසංඛ්‍යය වේ. ඇයගේ වර්ණය ඡවිවර්ණත විය. උපුල්මලක පැහැගනී. අභිරූපවත් වූ ඕතොමෝ මනහර නාරි ලක්ෂණයන්ගෙන් උපලක්ෂිත වූවෝය.

එමෙන් ම විපස්සී බුදුහිමි හමුවේදී සරණසිල්හි පිහිටා බුදුරජාණන් වහන්සේ පිරිනිවිකල්හි මුතුමැණික්වලින් හෙබවූ රන්සතකින් රත්න චෛත්‍යය පුදා අනන්ත පින් රැස්කරගත්තේය. මෙසේ වූ කරන ලද පින් ඇත්තී දෙව්ලොවෙහි ඉපිද එයින් චුතව අප ගෞතම බුදුපියාණන් වහන්සේ පහළ වූ සමයෙහි කපිල වස්තු පුරයෙහි ඛෙමක ශාක්‍යයාගේ අගමෙහෙසියගේ කුසයෙහි පිළිසිඳගත්තාය. නමින් ‘නන්දා’ වූ ඕතොමෝ දැකුම්කළු වන්නීය. පහන් පෙනුමෙන් යුක්ත වූ ඇය ලගන්නා සිත් ඇති කතක වූවාය. එනිසාවෙන් ‘රූපනන්දා’ නමින් ප්‍රසිද්ධ වුවාය.

ඇය වියපත් කල්හි විවාහවීමට නියමිතව තිබූ දවසෙහි විවාහ ගිවිසගෙන සිටි ශාක්‍යකුමාරයා කළුරිය කළේය. ජීවිතයේ අවිනිශ්චිත භාවය පසක් කරමින් ඇයගේ නිවන් මඟ පහසුකරවීමට මෙවැනි තත්ත්වයක් උදාවන්නට ඇති. දෙමවුපියෝ නොකැමැති වූ නමුදු ඇය පැවිදි කරවූහ.

පැවිදිවීමෙන් පසු ද ඕ රූප මදය ඇතිව වසන්නීය. ශාස්තෘන්වහන්සේ රූපයට නිගරුකරති. දොස්කියති, නොයෙක් අයුරින් රූපයෙහි ආදීනව දක්වති’යි සිතමින් බුද්ධෝපස්ථානයට නොයයි. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ඇයගේ මුහුකළ නුවණ දැක මහාප්‍රජාපති ගෝතමී තෙරණිය අමතා ඔවා දෙනු පිණිස සියලුම භික්ෂූණීන් එකිනෙක්කෙනා බැගින් එවන ලෙස දැනුම් දුන්හ. අභිරූපනන්දාවෝ තම වාරය පැමිණි කළ අනෙක් මෙහෙණක් යැවූවාය. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළේ තමාගේ වාරය පැමිණි කල්හි අන් මෙහෙණක් නොඑවා තමාම පැමිණෙන ලෙසයි.

බුදුරජාණන් වහන්සේ අණ නොඉක්මවා වෙනත් භික්ෂුණියක සමඟින් අභිරූපනන්දාවෝ බුදුපියාණන් වහන්සේ අභියසට උවටැන් කරනු පිණිස ගියෝය.

බුදුරජාණන් වහන්සේ අභිරූපනන්දාවන්ගේ රූපය පිළිබඳව ඇති බලවත් ඇලීම කටුවෙන් කටුවක් ගලවන්නා සේ ම රූපයෙන් ම රූපය පිළිබඳ මදය නැති කිරීම පිණිස ධර්මදේශනයට පෙරාතුව ඉතාමත් අලංකාරමත් වූ සුරූපි යුවතියක විජිනි පතක් ගෙන බුදුරජාණන් වහන්සේට පවන් සලන ස්වරූපයක් සෘද්ධි බලයෙන් මවා අභිරූපනන්දාවට දකින්නට සැලැස්වීය.

බුදුරජාණන් වහන්සේගේ සිරුර දැක පුන් සඳක් බඳු ශෝභාවත් මුහුණ බලන්නේ ආසන්නයේ සිටි ස්ත්‍රී රූපය දුටුවාය. ඇය ඒ රුව බලා තම රූපය පිළිබඳව සිතන්නට විය. තමන් රාජ හංසියක ඉදිරියේ කෙවිඩක සේ තමන්ට ම අවමානයක් ඇතිවිය. මුළු සිරුරේ ශෝභාමත් බව රූ සිරින් අඳනා ලද සිත නිසා ඇගේ රුව කෙරෙහි බලවත් බැඳීමක් ඇතිවිය. බුදුරජාණන් වහන්සේ ඇගේ ඇල්ම දැන ස්ත්‍රියගේ රුව සොළොස්විය ඉක්මවා විසිවයස් බවට පත් කළාය. ස්ත්‍රියගේ රුව වෙනස් විය. පසුව තව දුරටත් වෙනස් කොට මධ්‍යම වයසේ අයකුගේ රූප සොබාවෙන් මධ්‍යම වයසේ කෙනෙකුගේ රූප සොබාවෙන් පසුව ජරාජීර්ණ මැහැලි ස්ත්‍රියකගේ ස්වභාවෙයන් ද දැක්වීය. වැටුන දත් ඇති පැසුනු කෙස් ඇති නැවුන අත්පා ඇතිව සැරයටියෙන් බරවී වෙවුලන සිරුරකින් යුතුව පෙනුම දැක අතිශයින් කලකිරුණි. අනතුරුව බුදුරජාණන් වහන්සේ රෝගයෙන් පෙළෙන තැනැත්තියක ලෙසට දැක්වූහ.

ඇය එකිනෙහිම සැරයටිය ද, තල් අත්තද විසිකර මහ හඬින් විලාපදෙමින් බිම පතිත වී තමන්ගේ ම මල මුත්‍රාවල ගැලී ඒ මේ අත පෙරළුණි. මෙය බලා සිටි රූපනන්දාවෝ බලවත් කළකිරීමට පත්වූවාය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඇයගේ සිත හඳුනාගෙන නුවණින් බලන්නට සිත්වන ආකාරයට සදහම් දේශනාකොට වදාළ සේක. දෙතිස් කුණපයන්ගෙන් සැදුනා වූ මේ ශරීරයේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය මනාව ප්‍රත්‍යක්ෂ වීම උදෙසා සුදුසු දේශනාවක් ම බුදුමුවින් නික්මුණි.

“ආතුරං අසුචිං ඵුතිං - පස්ස නන්දෙ සමුස්සයං

අසුභාය චිත්තං භාවෙහි – එකග්ගං සුසමාහිතං”

“පින්වත් නන්දා, නිතර ලෙඩදුකින් පෙළෙන කුණු වී යන පිළිකුල් ශරීරය දෙස නුවණින් බලන්න. සිත හොඳින් එකඟකොට පිළිකුල් භාවනාව වඩන්න.

“අනිමිත්තඤ්ච භාවෙහි – මානානුසයමුජ්ඡහ

නතො මානාභිසමයා - උපසන්තා චරිසසසිති

“කෙලෙස් සටහන් නැති විදර්ශනාව වඩන්න. හිතේ තිබෙන මානය මුලින් ම දුරු කරන්න. අවබෝධයෙන් ම මානය දුරුකොට මනෝභාවයන් සන්සුන්කොට උපශාන්තව ජීවත් වන්න.”

මෙසේ භාග්‍යවත් මුවින් නික්මුණු යථාර්ථවාදී කථනයෙන් ප්‍රඥාවේ දොරගුළු විවරකොටගත් අභිරූපනන්දාවෝ සකල කෙලෙසුන් දුරුකොට මහරහත් උත්තමාවියක බවට පත්වූසේක.

ඇතුළත ඇට තුන්සියයක් ඔසවා ඒවා නහරවලින් බැඳ තබා මස්, ලේ තවරා සමකින් වසා දිරන ස්වභාවයෙන්, ජරාවට පත්වන ස්වභාවයෙන් මරණ ස්වභාවෙයන් මාරයා විසින් ගන්නා ලද මේ සිරුර පිළිබඳව ආරෝග්‍ය නිසාද, රූපවත් බව නිසා ද යහපතැයි සිතා මානය ඇති කරගත් කල්හි එය සසරට මගකි. එවන් වූ කයෙහි අසාරත්වය නිස්සාර ස්වභාව දකින්නේ ම සසරින් මිදුනෝ වෙති.

මහසාර පින්කම් කොට රූපවත් වූ අභිරූපනන්දාවෝ රූපයෙහිම නිස්සාරත්වය නුවණින් දැක සසරේ මිදුනු සිතැත්තියක වූයේ, අලංකාරත්වය, සුන්දරත්වය, ලාලිත්‍යයට සිත නතුකොට නිසරුදේට ඇලුම් කරන සෑම කතකටම නිවැරදි මාවතේ දොරගුළු විවර කරමිනි. ඒ ගමන් මඟේ නියමුවාණෝ භාග්‍යවත් අප තථාගත බුදුරජාණන් වහන්සේමය.