මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ


චරිතාපදානය-3

එක් තැන්ව සිටින ලොකු හාමුදුරුවන්ගේ සියලු ඇප උපස්ථාන රාත්‍රිය මුළුල්ලේම කරනු ලබන සෝභිත හිමියන් පසු දින උදෑසනම විභාග ශාලාවට වැඩම කරන්නේ දානය පවා හරි හැටි ලබා නොගෙනය. රාත්‍රිය නිදි වර්ජිතව සිටි උන්වහන්සේ ජ්‍යෙෂ්ඨ විභාගයට පෙනී සිට යළිත් දානය පවා නිසියාකාරව ලබා නොගෙන වැඩම කරන්නේ රෝහල වෙතය. එතැන් සිට පසුදින උදෑසන වන තුරුම නායක හාමුදුරුවන්ගේ සියලු ඇප උපස්ථාන සිදු වන්නේ උන්වහන්සේ අතිනි. උදෑසන යළිත් වැඩම කරන්නේ විභාග ශාලාවටය. මේ සෝභිත හිමියන් ජ්‍යෙෂ්ඨ විභාගයට මුහුණ දුන් අයුරුය.

මාදුළුවාවේ සෝභිත පොඩි හාමුදුරුවන් වහන්සේ 1962 වසරේ ජූනි මස 15 වැනිදා උපසම්පදාව ලැබීමෙන් පසුව උන්වහන්සේට විශාල අභියෝගයකට මුහුණ දීමට සිදු වූහ. සෝභිත හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවන් එනම් මුල්ලේරියාවේ සිරි රේවත නායක හාමුදුරුවන් ඔත්පල වී එක්තැන් වීම නිසා සෝභිත හිමියන්ගේ සියලු අධ්‍යාපනික කටයුතු අඩපණ වන ලකුණු පහළ විය. අංශභාග රෝගය වැළදීම නිසා රේවත හිමියෝ කිසිදු කාර්යයක් තනිව කරගත නොහැකි තත්ත්වයට පත්ව සිටියහ. රේවත හිමියන්ට සිටි එකම ශිෂ්‍ය නම සෝභිත හිමියෝ වූහ.

විසිවයස් සම්පූර්ණ ව සිටි උපසම්පදා ශීලයට පත් තරුණ භික්ෂූන් වහන්සේ නමක් ලෙසින් උන්වහන්සේ පත් වූ අසීරුතාව සුළු පටුනොවේ. පිහිටට කිසිවකුත් නොසිටියද උන්වහන්සේ කිසිවකින් පසුබට නොවූහ. ඒ වන විට සෝභිත හිමියන් ජ්‍යෙෂ්ඨ සහතික පත්‍ර විභාගයට මුහුණ දීමට නියමිතව සිටීම උන්වහන්සේගේ අධ්‍යාපනික ගමන් මඟ වෙනස් කරවීමට තරම් තීරණාත්මක අවස්ථාවක් විය.

සියල්ල සිතින් දරා ගත් සෝභිත හිමියන් රාත්‍රිය නිදිවර්ජිතව සිට උදෑසන අධ්‍යාපනික කටයුතුවලට සහභාගි වූහ. රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රේවත ලොකු හාමුදුරුවන්ගේ සියලු කටයුතු උන්වහන්සේගේ අතින්ම සිදුවූහ.

ජ්‍යෙෂ්ඨ විභාගය ඇරැඹීමත් සමඟම සෝභිත හිමියන් විසින් විඳින ලද අත්දැකීම දෙනෙතට කඳුළු උනන සුළුය. රාත්‍රිය පුරා සිය ලොකු හාමුදුරුවන්ගේ සියලු ඇප උපස්ථාන කරනු ලබන සෝභිත හිමියන් පසු දින උදෑසනම විභාග ශාලාවට වැඩම කරන්නේ දානය පවා හරි හැටි ලබා නොගෙනය.

රාත්‍රිය නිදි වර්ජිතව සිටි උන්වහන්සේ ජ්‍යෙෂ්ඨ විභාගයට පෙනී සිට යළිත් දානය පවා නිසියාකාරව ලබා නොගෙන වැඩම කරන්නේ රෝහල වෙතටය. එතැන් සිට පසුදින උදෑසන වනතුරුම නායක හාමුදුරුවන්ගේ සියලු ඇප උපස්ථාන සිදු වන්නේ උන් වහන්සේ අතිනි. උදෑසන යළිත් වැඩම කරන්නේ විභාග ශාලාවටය.

තම අධ්‍යයන කටයුතු පවා නිසියාකාරව කර ගන්නට අපහසුවෙන් වුවත් ගතින් මෙන්ම සිතින් දැඩි උන්වහන්සේ සියල්ල උපේක්ෂාවෙන් ඉවසා වදාළහ.

රෝහලෙන් පිටව යළි නාග විහාරයට ලොකු හාමුදුරුවන් වහන්සේ වැඩම කරවාගෙන ගියද උන්වහන්සේට යහනින් නැගිට ගන්නටවත් ශක්තියක් නොතිබූ හෙයින් තමන් වහන්සේගේ ඇප උපස්ථානය දිගින් දිගටම ලොකු හාමුදුරුවන් වහන්සේට අවශ්‍ය වන බව සෝභිත හිමියෝ හොඳින්ම දැන සිටියහ.

මේ නිසා සියල්ලට පෙර නායක හාමුදුරුවන්ගේ ඇප උපස්ථානය කරන්නට සෝභිත හිමියෝ කටයුතු කළහ.

මේ අතර ජ්‍යෙෂ්ඨ විභාගයේ ප්‍රතිඵල නිකුත් විය. සෝභිත හිමියෝ විභාගය සමත්ව සිටියහ. රෝහලත් විභාග මධ්‍යස්ථානයත් අතර හිඳ පෙනී සිටි විභාගයේ ප්‍රතිඵල ඇතැම් විට උන්වහන්සේ බලාපොරොත්තු වුවාටත් වඩා වැඩිය.

එහෙත් උසස් අධ්‍යාපනයට යන්නේ කෙසේද? යන ගැටලුව උන්වහන්සේ ඉදිරියේ විය. නා හිමියන් තනිව කිසිවක් කරගත නොහැකිව යහන මතය.

නාග විහාරයේ සිට විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට වැඩම කිරීම කළ නොහැකි නිසා උන්වහන්සේ කැලණිය වනවාසල පන්සලේ නේවාසිකව වැඩම කර සිටියේද ඒ නිසාය. දැන් කුමක් කරන්නේද යන්න බරපතළම ගැටලුවකි. නාග විහාරය හා විද්‍යාලංකාරය අතර දුරද සුළු පටු නැත. අද මෙන් එදා ප්‍රවාහන පහසුකම්ද දියුණු තත්වයක නොතිබුණේය. සියල්ලටම තිබුණේ බස් රථ කිහිපයක් පමණි. උන්වහන්සේ තීරණයක් ගත්හ. ඒ නායක හාමුදුරුවන්ද රැක බලා ගෙන උසස් අධ්‍යාපනයේ නිරත වීමටය. ඒ අනුව උන්වහන්සේ විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට අධ්‍යාපනය පිණිස වැඩම කිරීමේ තීරණය අත් හළහ.

අද උසස් පෙළ විභාගය සමත් වුවහොත් තමන්ට විශ්වවිද්‍යාල ලැබෙන්නාක් මෙන් ක්‍රමයක් එකලනොවූ අතර එකල ජ්‍යෙෂ්ඨ විභාගය සමත් වීමෙන් පසුව විද්‍යාලංකාර සහ විද්‍යෝදය විශ්වවිද්‍යාල සඳහා ප්‍රවේශ පරීක්ෂණයකට පෙනී සිටිය යුතු විය. එයින් සමත් වූ අයට එම විශ්වවිද්‍යාල වරම් ලැබුණි. එහෙත් උන්වහන්සේ එම තීරණය ගෙන තිබුණේ කිසිවකුට හෝ නොදන්වා හුදකලා තීරණයක් ලෙසිනි. ඒ අනුව 1963 වසරේ විද්‍යෝදය විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට පෙනී සිටි සෝභිත හිමියෝ එහි අධ්‍යයන කටයුතු ආරම්භ කළහ. දිනපතාම ලොකු හාමුදුරුවන්ගේ ඇප උපස්ථාන කරමින් උන්වහන්සේ විශ්ව විද්‍යාලයට වැඩම කළහ. එම දිනවල සෝභිත හිමියන්ගේ කාල සටහන සැකසී තිබුණේ මේ අයුරිනි.

උදෑසන පිබිද විහාර භූමිය ඇමදීම, උදෑසන ගිලන්පස සකස් කිරීම, නායක හිමියන්ට අවශ්‍ය ආවතේව ආරම්භ කිරීම ඉන්පසුව හාල් ගැරීම,පොල් ගෑම මිරිස් ඇඹරීම සිදු කෙරෙන්නේය. ඉන් පසුව නා හිමියන්ගේ සියලු ශරීර කටයුතු සිදු කර නහවා පිරිසිදු කර උදයට සහ දහවලට දානය පිළියෙළ කරති. නා හිමියන්ට දානය ලබා දී සියලු ඔසු ලබා දී දවල් දානය වෙනමම පිළියෙල කර එය හොඳින් වසා තබා සෝභිත හිමියෝ විශ්ව විද්‍යාලයට වැඩම කරති. උන්වහන්සේ එසේ නා හිමියන්ට අවශ්‍ය සියලු ඇප උපස්ථාන කරමින් වැඩම කරන බව දන්නා අය සිටියා නම් ඒ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙනි. මෙසේ දහසක් බාධක මැද්දේ එසේ විශ්ව විද්‍යාලයට වැඩම කරනු ලබන උන්වහන්සේට කුමන ආකාරයේ පිළිගැනීමක් ලැබෙන්නට ඇතිද? එම තත්ත්වයන් හමුවේ උන්වහන්සේ ගේ ඉදිරි අධ්‍යාපනික කටයුතු කෙසේ සිදුවන්නට ඇත්ද?

නවම් අව අටවක පෝදා මාර්තු 01වනදා පත්‍රයෙන්...ඒ ගැන විවරණය කරමු


පසුගිය සතියෙන් - මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ - චරිතාපදානය-2