Print this Article


බුදුන් වහන්සේගේ වෛද්‍ය ඥානය

බුදුන් වහන්සේගේ වෛද්‍ය ඥානය

බුදුන් වහන්සේ වූ කලී සත්වයාගේ දුක් ව්‍යසන දුරුකිරීම සඳහා සාංසාරිකව දීර්ඝ කාලයක් තිස්සේ අනවරත පර්යේෂණයක නිරතව එහි ඵලප්‍රාප්තිය ළඟා කරගත් උතුමන් වහන්සේ නමකි. උන්වහන්සේගේ මූලික අභිප්‍රාය වූයේ කායික රෝග ව්‍යපසමනය කිරීම නොව මානසික රෝග මූලිකව පවතින දුක සමනය කිරීමයි. එහෙත් කායික රෝග ව්‍යපසමනයකින් තොරව මානසික සමනයක් ඇති කිරීමේ දුෂ්කරතාව උන්වහන්සේ මැනවින් දැන සිටියහ.

මේ නිසා කායික ස්වස්ථතාව පවත්වාගෙන යාමට අවශ්‍ය නිර්දේශයන් උන්වහන්සේගේ පැනවීම තුළ බහුලව දක්නා ලැබේ. කායික ස්වස්ථතාව හා මානසික ස්වස්ථතාව යන උභය ස්වස්ථතා පිළිබඳ මනා අවබෝධයක් තිබූ හෙයින් හා උපන් රෝග මැඬ පැවැත්වීම විෂයෙහි උසස් ක්‍රමවේදයන් හඳුන්වා දුන් බැවින් වෙජ්ජුපමො මහාවීරො (ජිනේන්ද්‍රයන් වහන්සේ වෙදෙකු වැනිය) අගදූපමො මහාවිරො (ඖෂධයකට උපමා ඇති මහවිරයන් වහන්සේ) හිසක්කො (වෛද්‍යවරයා) සල්ලකත්තො (ශල්‍ය වෛද්‍යවරයා) යනාදී විශේෂණ නාම කිහිපයක් බුදුන් වහන්සේ විෂයෙහි භාවිත වී ඇත. මේ බැව් මැනවින් දත් ආයුර්වේද ග්‍රන්ථ රචනා කළ පැරණි පඬිවරු පවා භෛෂජ්‍යගුරු, අපූර්වවෛද්‍ය යනාදී විශේෂණ නාමනයන්ගෙන් බුදුන් වහන්සේ හැඳින්වීමට පසුබට නොවූහ. අෂ්ටාංගහෘදය නම් ආයුර්වේද ග්‍රන්ථය රචනා කළ වාග්හට නම් ආචාර්යවරයා ග්‍රන්ථාරම්භයේදී ම බුදුන් වහන්සේට ප්‍රණාම දැක්වීම මෙයට නිදසුනකි. බුද්ධ දේශනාවෙහි හමුවන යම් යම් ප්‍රකාශන විමසා බලන විට ස්වස්ථතාව යන්න පිළිබඳ බුදුන් වහන්සේගේ දැක්ම අපූර්ව බව පිළිගැනීමට සිදුවේ. ලෝක සෞඛ්‍ය සංධානය ( World Health Organization) කෙනෙකු සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකු යැයි නිර්ණය කිරීමට අවශ්‍ය සාධක කවරේදැයි අර්ථ නිරූපණය කොට ඇත්තේ කරුණු හතරක් යටතේ ය.

1.  Physical Healt (කායික ස්වස්ථතාව) 2. Mental Health (මානසික ස්වස්ථතාව) 3. Social Health (සාමාජයීය ස්වස්ථතාව) 4. Spiritual Health (ආධ්‍යාත්මික ස්වස්ථතාව) යනුවෙනි. බුදුදහමෙහි අතිශය ප්‍රකට කියමනක් වන ආරොග්‍යපරමා ලාභා යනාදී ගාථාවේ මෙම අදහස සම්පූර්ණයෙන් ම අන්තර්ගතව ඇති බව විද්වතුන්ගේ මතයයි. ඒ අනුව ආරොග්‍ය පරමා ලාභායන්නෙන් අදහස් වන්නේ මෙහි පළමුවැන්න වන කායික ස්වස්ථතාවයි. සන්තුට්ඨිපරමං ධනං යන්නෙන් අදහස් වන්නේ, මානසික ස්වස්ථතාවයි. විස්සාසා පරමා ඤාති යනු සාමාජයීය ස්වස්ථතාව වන අතර නිබ්බාණං පරමං සුඛං යන්නෙන් ආධ්‍යාත්මික ස්වස්ථතාව අදහස් වේ. බුදුදහමේ මෙම නිර්වචනය සැබැවින්ම ලෝක සෞඛ්‍ය සංධානයේ නිර්වචනයටත් වඩා පුළුල් අර්ථ නිරූපණයකින් යුක්ත වූවක් බව කිවයුතු වන්නේ කාලීන හා ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයන් අනුව ද සලකා බැලීමෙනි.

විශාල පිරිසක් පරිපාලනය කිරීමේ වගකීමක් ඇතිව කටයුතු කළ කෙනෙකු වශයෙන් බුදුන් වහන්සේ භික්ෂු සංස්ථාව තුළ උද්ගතවන සෙඛ්‍යමය ගැටලු සම්බන්ධයෙන් යෙදූ පිළියම් පිළිබඳව විමසා බලන විට සහ අර්ථකථන ටිකා ග්‍රන්ථවල එම ඥානය ඉදිරියට පවත්වාගෙන යාමට කරන ලද විවරණයන් ද සාරාර්ථසංග්‍රහය, භෛෂජ්‍යමඤ්ජුසා, ප්‍රමේභෞෂධමඤ්ජරී, යෝගසේකරය, අරිෂ්ටමාලාව, සූතකාරෝග චිකිත්සා, සාරසංග්‍රහය වැනි දේශීය ආයුර්වේද ග්‍රන්ථ පරීක්ෂා කරන විට පෙනී යන්නේ ආයුර්වේදයේ දියුණුවට ද බුදුහිමියන් ගෙන් ලැබුණු දායකත්වය සුළු පටු නොවන බවයි.

රෝග සහ ආබාධ යන පද දෙක එකට ම යෙදෙන පද දෙකකි. එහෙත් රෝග සහ ආබාධ යන පද දෙකෙහි සියුම් වෙනසක් ඇති බව පෙනේ. රෝග යන පද සෑදී ඇත්තේ රුජ ධාතුවෙන් වන අතර රිදීම යන අර්ථයෙන් රෝග නම් වේ. මේ නිසා සකලවිධ රෝගී තත්ත්වයන් රෝග ගණයට ඇතුළත් කළ හැකිය. ආබාධ යනු ඊට වඩා බරපතළ තත්ත්වයේ රෝග වේ. පිළියම් නොකළ හැකි තත්ත්වයේ රෝගවලට ආබාධ යන්න වඩාත් යෝග්‍ය බව සැලකිය හැකිය. ආබාධ යන මෙයින් පිළියම් කළ නොහැකි වාත අපස්මාර ආදී රෝගයෙන් යුක්ත වූ නිෂ්ටාප්‍රාප්ත රෝගියා කියන ලදී. ‘ආබාධාති ඉමිනා අතෙකිච්ඡෙන වාතාපමාරාදිනා රොගෙන සමන්නාගතො නිට්ඨාප්පත්තගිලානො කථිතො) යන අටුවා විග්‍රහයෙන් එය තහවුරු වේ. රෝග යන්න නිර්වචනය වන්නේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවීම යනුවෙනි. සැබැවින්ම එය හේතුව සොයා නොගත් කිසියම් දුර්වල සෞඛ්‍ය තත්ත්වයකි. බටහිර වෛද්‍ය විද්‍යාවේ එය හඳුන්වනුයේ ඪතතදඥඵඵ යනුවෙනි. එහෙත් ආබාධයක් යන්න එහි නිර්වචනය වන්නේ වෛරසයක් වැනි කිසියම් රෝගකාරක තත්ත්වයක් නිසා ශරීරය හෝ ශරීරාවයවයක් අසාමාන්‍ය තත්ත්වයට පත්වීමයි. එයින් මරණයට පවා පත්විය හැකිය. රෝගයක් සෑදුණ කෙනෙකු එයින් පෙලීමකට පත්විය හැකි අතර එයින් නොපෙලෙන තත්ත්වයෙන් ද සිටිය හැකි ය. ආබාධයකට පාත්‍ර වූවෙකුට දැඩි පෙලීමකට පත්වීමට සිදුවේ. එහෙයින් දැඩිසේ පෙලෙන පිළියම් කිරීමට අපහසු තත්ත්වයේ රෝගයන් ආබාධ ලෙස ගැනීම වඩා යෝග්‍ය බව නූතන අර්ථකථන මෙන්ම බෞද්ධ අර්ථකථනවලින් ද පැහැදිලි වේ.

රෝගාබාධ වූ කලී භෞතික ශරීරයක් පරිහරණය කරන කවරෙකුට වුවත් මුහුණ දීමට සිදුවන තත්ත්වයකි. ආයුර්වේදයේ මූලික ප්‍රයත්නය වන්නේ භෞතික ශරීරයක් තුළ පවතින ධාතු සාම්‍යය අඛණ්ඩව පවත්වාගෙන යාමයි. භෞතික ශරීරයේ දෝෂ ධාතු මල විෂම වූ කල්හි වැඩි වූ දෝෂයන් අඩු කිරීමත් අඩු වූ දෝෂයන් වැඩි කිරීමත් මඟින් සම තත්ත්වයකට ගැනීම එයින් අපේක්ෂිතයි. බෞද්ධ සාහිත්‍යයේ ද මෙම තත්ත්වයන්ට සමාන විග්‍රහයන් දක්නා ලැබේ. ආයුර්වේදයේ මෙන්ම වාත පිත්ත කඵ යන ත්‍රිදෝෂයෙන් අසමතුලිත වීමෙන් විවිධ රෝගාබාධයන් උපදින බව බෞද්ධ සාහිත්‍යයෙහි ද දැක්වේ. ඇතැම් විට මෙයින් මරණයට පවා පත්විය හැකි බව සඳහන් වේ. පිත්තං වා මෙ කුප්පෙය්‍ය සෙම්හං වා මෙ කුප්පෙය්‍ය සත්ථකා මෙ වාතා කුප්පෙය්‍ය තෙන මෙ අත්තා කාලකිරියා සො මමස්ස අන්තරායො යන්නෙන් ඒ බව පැහැදිලි වේ. මීට අමතරව පීත්තසමුට්ඨානා ආබාධා සෙම්හසමුට්ඨානා ආබාධා වාතසමුට්ඨානං ආබාධා යනුවෙන් වා පිත් සෙම් ආශ්‍රයෙන් රෝගාබාධ හට ගැනෙන බව ද දක්වා ඇත.

භෞතික ශරීරයේ සැකැස්ම පිළිබඳ බෞද්ධ අර්ථකථනකරුවන්ගේ විග්‍රහය සුශ්‍රැත චරකසංහිතාදී ආයුර්වේද ග්‍රන්ථවල විග්‍රහයට ද වඩා පුළුල් බව පැවසීම අතිශයෝක්තියක් නොවන බව බෞද්ධ හා ආයුර්වේදීය ග්‍රන්ථ තුළනය කරන්නෙකුට පැහැදිලි වන කරුණකි. අටුවා ග්‍රන්ථ අතුරින් විසුද්ධිමග්ගයේ එන විග්‍රහය පමණක් විමසා බැලීමෙන් වුවද මෙය තේරුම් ගත හැකි ය.

බෞද්ධ ආචාර්යවරුන්ගේ මෙම අවබෝධය තියුණු වූයේ විදර්ශතාව වැඩීමට කායව්‍යවවිඡෙදනය ගැඹුරින් සිදුකිරීමේ ප්‍රතිපලයක් නිසා විය යුතු ය. එහිදී ඔවුන් ආයුර්වේදීය පසුබිමක් ගොඩ නො නැගුයේ එය මූලික අරමුණ නොවුණ නිසා බවට සැක නැත. ශරීර අශුචි පුඤ්ජයක් බවත් පිළිකුල් කටයුතු කෙස් ලොම් ආදියටත් අක්ෂි රෝග ආදී සියගණන් රෝගවලට ආයතනයක් වූ බැවිනුත් මෙයට කය යැයි නමක් වන බවත් බුද්ධඝෝෂ හිමියෝ පවසති. එසේම මෙය අසූවක් පණු කලයන්ට පොදු තැනකි. මෙම කෘමීහු සම මස් නහර ඇට ඇටමිඳුළු ආදී ශරීර කොටස් ඇසුරු කරමින් මේවා කා දමති. ශරීරයෙහි ම ඉපද එහිම මල මුත්‍ර දමමින්, එහිම පැටවුන් බිහිකරමින්, මියෙමින් වෙසෙන අයුරු විමසන විට කය වූ කලි ප්‍රසූතිකාගාරයක් වැසිකිළියක් රෝහලක් හා සුසානයක් බඳුය. මෙබඳු කය සමතුළිතව පවත්වාගෙන යාමට අවශ්‍ය පිළියම නො යෙදුවහොත් මරණයට ද පත්විය හැකිය.

මෙම ශරීරය තුළ කෙස් ලොම්, නිය, සම, මස්, නහර, ඇට, ඇටමිඳුළු, වකුගඩු, හෘදවස්තුව, අක්මාව, මහාප්‍රාචීරය, ප්ලීහාව (හදවතට වම්පස උදර පටලයේ මතුපිට පිහිටියකි.) පෙනහළු, බඩවැල්, අතුණු බහන්, ආමාශය, මල, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, මේදය, කඳුළු, වුරුණු තෙල, කෙළ, සොටු, ලසිකා, මුත්‍ර, හිස් මොළය යනාදිය මෙහි අභ්‍යන්තරයේ වේ. මේ සියල්ලේ එකතුවක් වන කයේ සැබෑ ස්වරූපය ග්‍රහණය කිරීමට යම් පමණකින් හෝ හැකි වන්නේ යෝගාවචරයෙකුට හෝ වෛද්‍යවරයෙකුට පමණකි. සාමාන්‍ය කෙනෙකුට මෙහි ප්‍රත්‍යක්ෂ වශයෙන් අවශෝෂණය කළ නොහැකි වන්නේ එය කණ්ඩරා හෙවත් සංඛ්‍යාවෙන් හැටක් වන මහශිරාවලින් ගැටගසන ලද මස්වලින් තවරා ඒ මතුපිට චර්මයකින් වසා සකසන ලද අස්ථි පඤ්ජරයක් වන බැවිනි. මෙම ශරීරය දරා සිටින්නේ අස්ථිවල ශක්තිමත්භාවය අනුවය. බුද්ධඝෝෂ හිමියන්ට අනුව සමස්ත ශරීරයේ විලුම් ඇටය, ගොප් ඇටය, කෙණ්ඩා ඇටය, උකුළු ඇටය, දණ ඇටය ආදී වශයෙන් අස්ථීන් 300ක් පමණ වේ. අස්ථීන් සම්බන්ධ බුද්ධඝෝෂ හිමියන්ගේ මෙම මතය සුශ්‍රැතාචාර්යවරයාගේ පිළිගැනීම සමඟ සමාන වන බව ද මෙහිලා සඳහන් කළ යුතු ය.