Print this Article


පිරුවානා පොත්වහන්සේ පිළිබඳව කෙතරම් දැනුවත්ද?

අප හැම දෙනාම දැනගත යුතු පරිහරණය කරන වටිනා ධර්ම ග්‍රන්ථයක් වන්නේ ඒ පිරුවානා පොත් වහන්සේයි. “පිරුවානා” කියන සිංහල වචනය ගොඩනැඟී ඇත්තේ ‘පරිවහන’ කියන පාලි වචනයෙනුයි. පරිවහනය යනු කටපාඩම් කිරීමයි. කටපාඩම් කළ යුතු සූත්‍ර සමූහයකින් සැදුම් ලත් නිසා මෙය පිරුවානා පොත් වහන්සේ ලෙස හඳුන්වනවා.

මේ පිරුවානා පොත් වහන්සේ පාලියෙන් හඳුන්වන්නේ ‘චතුහාණාවාරපාලි’ කියායි. ‘චතු’ කියන්නේ හතරටයි. ‘භාණවාර’ කියන්නේ බණවරටයි. සතර බණවර හෙවත් බණවර හතරකින් යුක්ත පොත චතුභාණවාර නම් වෙනවා.

බණවරයක් හැදෙන්නේ කෙසේද? කියා අටුවාවේ විස්තර වෙනවා. පාලි අට්ඨ කථාවට අනුව පදයක් හැදෙන්නට අකුරු අටක් අවශ්‍යයි . අකුරු අටක එකතුව පදයක් නම් වෙනවා. පද හතරක එකතුවට ගාථාවක් කියනවා. ගාථාවක අකුරු 32 ක් තිබෙන අතර එසේ අකුරු 32 යුක්ත ගාථා 250 ක් එකතු වූ විට එක බරණවරයක් වෙනවා. මෙය සරළව කිව්වොත් බණවරකට ගාථා 250 යි. ගාථාවක පද හතරයි. පදයකට අකුරු 8 යි. ඒ වාගේම ගාථා නැත්නම් ග්‍රන්ථ 250 ක බණවර හතරකුත් මේ හතර බණවාරයේ අකුරු 32,000කුත් පිරුවානා පොත් වහන්සේ තුළ අඩංගු බව සඳහන්.

මේ පිරුවානා පොත් වහන්සේගේ ප්‍රධාන බණවර හතරක් තිබෙන නමුත් මෙහි සඳහන් වන ඉතාම වටිනා සූත්‍ර කිහිපයක් කිසිම බණවරයකට ඇතුළත් කොට නැහැ. ඒවා ඇත්තේ අතිරේක සූත්‍ර වශයෙනුයි. ගම්භීර වූ ප්‍රධාන සූත්‍රයක් වන ධම්මචක්කපවත්තන සූත්‍රයත් අඩංගු අතිරේක සූත්‍රයක් ලෙසයි. දම්සක් පැවතුම් සූත්‍රය මෙන්ම මහාසමය, අලාවක, පරාභව, වසල, කසීභාරද්වාජ, අග්ගිකභාරද්වාජ, ඒ වගේම සච්චවිභංග සූත්‍ර හතම පිරුවානා පොත් වහන්සේගේ අතිරේක සූත්‍ර ලෙසයි ඇතුළත් කොට ඇත්තේ. ඒවා බණවරක් ලෙස ගණන් ගන්නේ නැහැ.

“පරියත්ත සුත්ත”කියා තෝරාගත් සූත්‍ර ටිකක් තිබෙනවා. අපට අධ්‍යාත්මිකව හෝ භෞතිකව, කායිකව හෝ මානසිකව ආරක්ෂාව සලසා ගත හැකි විශ්වාසයක් තිබෙන සූත්‍ර එකතුවක් අඩංගු කොට ඒවාට “සූත්‍ර” කියා නමට අමතරව “පරිත්ත” කියන වචනයක් යොදා තිබෙනවා. පරිත්ත කියන වචනයෙහි තේරුම හාත්පසින්ම ආරක්ෂාව රැකවරණය සලසා දෙනවා යනුයි.

පිරිතක් කියවා ගැනීමෙන් බලාපොරොත්තු වන්නේ විපත්ති නැති කර ගැනීම සහ සම්පත්ති උදාකර ගැනීමයි. විපත්ති ලෙස දුක්, භය, රෝග සැලකෙනවා. ලෙඩ, දුක් කරදර, භය, සන්ත්‍රාසය, ජීවාදීය විපත් හැටියට සැලකෙනවා. පිරිත් දේශනා කරන්නේ සැපය සලසා ගන්නයි. ඒ වාගේම පිරිත කියන පුද්ගලයා තමා කියන පිරිතේ අර්ථය දැනගැනීම වටී. එය නියමාකාරයෙන් සත්‍ය ක්‍රියාවක් හැටියට කරන්න පුළුවන්කම ලැබෙන්නේ එහි අර්ථය දන්න පුද්ගලයාට යි. අසන පුද්ගලයාට වඩා පිරිත් කියන පුද්ගලයා එහි තේරුම දැන ගැනීම වැදගත්. වචනයෙන් විස්තර කරන ධර්ම කාරණය කුමක්ද? කියා පිරිත් කියන්නා දැනගැනීම වැදගත් වෙනවා.

පිරිත් පොතේ මුලින්ම සඳහන් වන්නේ සරණාගමනය යි. සරණාගමනය යනු තෙරුවන් සරණ යාමයි. නැතිනම් සරණ සොයා යාමයි. ඒ වගේම පිරිතේ ආරක්ෂාව ලැබීමට නම් ශ්‍රද්ධාව සහ සීලය තිබිය යුතු අතර එය ප්‍රඥාවෙන් ගලපා ගන්නට අවබෝධයද තිබිය යුතු වෙනවා.

අප දන්නවා පිරිත් පොතේ ද්වත්තිංසාකාරය දක්වා තිබෙනවා. ඒ කියන්නේ දෙතිස් කුණුපයන්ට යි. ශරීරයේ තිබෙන කුණප කොටස් තිස්දෙක ගැන සිහිය යොමු කිරීමට කියා දෙනවා. කෙනෙකුගේ සිතේ යම් රාගයක්, ද්වේශයක්, මෝහයක් ඇතිවෙයිනම් එවිට පිරිතෙහි ආශිර්වාදය ලබා ගැනීමේ අවස්ථාව අහිමි වෙනවා. එනිසා ආශිර්වාද පිණිස දෙතිස් කුණපය ගැන සිතන්න ඕන.

ඒ වගේම පිරිත් පොතේ ප්‍රත්‍යවේක්ෂාව ගැනත් සඳහන්. ඒ කියන්නේ පිරිතක් අසන්න සුදුසු මානසිකත්වය අවශ්‍යයි. මුලින්ම ශ්‍රද්ධා, ඊළඟට සීලය,ඒ වගේම ප්‍රඥාවෙත් පිහිටන්න ඕන. ඒ එක්කම රාගාදී කෙලෙස් අඩු කරගන්නත් ඕන. ප්‍රත්‍යවේක්ෂාවෙන් කෙරෙන්නේ ඒකයි.

ඊළඟට පිරිත් දේශනාවෙන් මහාපිරිත ලෙස හඳුන්වන පිරිත් තුන අඩංගුයි. ඒ මහාමංගල සූත්‍රය, රතන සූත්‍රය සහ කරණීය මෙත්ත සූත්‍රයයි. මංගල සූත්‍රයෙන් කියන්නේ කෙනෙකුගේ මෙලොව පරලොව දෙලොව දියුණුවට උපකාර වන මංගල කාරණා 38ක්. ඊළඟට රතන සූත්‍රය වදාළේ විශාල මහනුවර පැවතුන අමනුෂ්‍ය, දුර්භික්ෂ, රෝග කියන තුන්බිය දුරුකිරීම සඳහායි. එය මහානුභාව සම්පන්නයි. තුණුරුවනේ උතුම් ගුණ සහිත, කෝටියක් සක්වල ආඥා චක්‍රය පතුරවමින් දේශනා කළ මේ රතන සූත්‍රය පිරිත් පොතේ පිරිත් අතර ප්‍රමුඛතම බලසම්පන්න සූත්‍ර දේශනාවක්. ඒ වගේම කරණීය මෙත්ත සූ‍්‍රත්‍රය පිරිත් පොතේ ඇති සුන්දර පිරිතක්. එය මෛත්‍රී භාවනාවේ කර්මස්ථානයක් ලෙසයි ගැනෙන්නේ. මෛත්‍රි භාවනාව වැඩීමේ ආනිසංස එහි විස්තර වෙනවා.

ඊළඟට ඛන්ධ පිරිත සජ්ඣායනාවෙන් සර්පයන්ගෙන් හෝ වෙනත් අයුරකින් වන විපත් වළක්වා ගැනීම පිණිස උපකාරි වෙනවා. එක් හිමිනමකට සර්පයෙකු දෂ්ඨ කිරීම හේතුවෙන් අපවත් වුණා. එහිදී තථාගතයන් වහන්සේ මේ ඛන්ධ පිරිතේ ගුණ කියා එය අනුදැන වදාළා. ඒ වගේම මෙත්තානිසංස සූත්‍රයෙන් කියන්නේ මෛත්‍රිය කිරීමෙන් ලැබෙන ආනිසංස පිළිබඳවයි. මෙහි ආනිසංස එකොළහක් සඳහන්. ඒ වගේම මිත්තානිසංස සූත්‍රය ඇසුරෙන් පැහැදිලි කරන්නේ ඇසුරු කරන මිතුරන්ට ද්‍රෝහී නොවීම නිසා ලැබෙන ආනිසංසයි. මිතුරන්ට උපකාර පිණිස මේ සූත්‍රය උන්වහන්සේ විසින් වදාළා.

ඒ වගේම මෝර පිරිත, චන්ද පිරිත, සූරිය පිරිත ආරක්ෂක පිරිත් ලෙස සතුරු උවදුරුවලින් බේරීම සඳහා උපකාරි වෙනවා. ධජග්ග පිරිත විශේෂයි. අපට භය සන්ත්‍රාසය ආදිය නැති කර ගැනීම පිණිස දේශනා කළ පිරිතක්. ධජග්ග කියන්නේ කොඩියේ අගටයි. තථාගතයන් වහන්සේ වදාළා භයක්, තැතිගැනීමක්, ලොමුඩැහැගැන්වීමක් ඇතිවූවිට රාග, ද්වේෂ, මෝහ නැති තමන් වහන්සේ සිහි කරන්න. එසේ නොමැතිනම් ශ්‍රී සද්ධර්මය සිහිකරන්න. නැතිනම් ආර්ය මහා සංඝරත්නයේ ගුණ සිහි කරන්නැයි වදාළා.

දෙවැනි බණවර ලෙස බොජ්ඣංග සූත්‍ර ඇතුළත්. මේ බණවරයේ බොහෝ පිරිත් වලින් රෝගයන් නැතිවීමට හේතුවන උපකාර පිරිත් තිබෙන්නේ. මහාකස්සප පිරිත කස්සප තෙරුන් වහන්සේ අසනීප වූ අවස්ථාවේදීත්, මහාමොග්ගල්ලාන පිරිත මොග්ගල්ලාන තෙරුන් උදෙසාත්, ගිරිමානන්ද සූත්‍රය ගිරිමානන්ද තෙරුන් උදෙසාත් වදාළා. ඒ වගේම ඉසිගිලි සූත්‍රය පසේබුදුරජාණන් වහන්සේලාගේ මහානුභාවය ඉස්මතු කරන පිරිතක්. මේ පිරිතෙන් දෙවැනි බණවර අවසන් වෙනවා.

අතිරේක සූත්‍ර ලෙස ධම්මචක්කපවත්තන සූත්‍රය අයත්. මේ දේශනාව සත්‍යාවබෝධය තුළින් නිවන් දැකීම සඳහායි. නිවන පිණිස දේශනා කළ සූත්‍ර අතරේ උතුම්ම මැණික මෙම සූත්‍රයයි. මහාසමය සූත්‍රය දෙවිවරුන් සතුටු කරන්න වදාළ සූත්‍රයක්. දෙවියන්ගේ නම් සඳහන් මෙම සූත්‍රය සජ්ඣයනා ශ්‍රවණය තුළින් දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්නට පුළුවනි. ඒ වගේම ආලවක යකු අරභයා වදාළ දේශනාව ආලවක සූත්‍රයේ සඳහන්. මෙලොව පරලොව දියුණුව ආලවක යකු ඇසූ ප්‍රශ්නයත් තථාගතයන් වහන්ස්ගේ පිළිතුරුත් එහි ඇතුළත්.

කසීභාරද්වාජ සූත්‍රය වදාළේ කසීභාරද්වාජ කියන ගොවියා මුල් කොටගෙනයි. ඔහුගේ මානය බිඳීම පිණිස මේ දේශනාව වදාළා. ඊළඟට පරාභව සූත්‍රය මෙන්ම වසල සූත්‍රයත් ඛුද්දක නිකායට අයත්. මේ දේශනා මෙලොව පරලොව ජීවිත පිරිහෙන්න හේතු කියා දෙනවා. කෙනෙකු උපතින් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙකු වන්නේ කෙසේද? යන්න එහි සඳහන්. ඊළඟට සච්චවිභංග සූත්‍රයේ සඳහන් වන්නේ සැරියුත් මහ රහතන් වහන්සේ විසින් චතුරාර්ය සත්‍යය පිළිබඳව ඉතාමත් විශිෂ්ඨ විවරණයක් සහිතව කළ දේශනාව යි.

අනතුරුව තුන්වෙන බණවරයට ආටානාටිය සූත්‍රයේ පළමු කොටසයි. ආටානාටිය කියන්නේ නගරයකට යි. ඒ නගරය ආරක්ෂා කර ගැනීම සඳහා අතීතයේ සිට සතරවරම් දෙව් මහාරජ දරුවන් භාවිතා කළ පිරිත මේ ආටානාටිය. ඒ පිරිතට සත්බුදු පිරිත කියා කියනවා. එය සත්‍ය ක්‍රියාවක්් වෙනවා. සතරවරම් දෙවිවරු තථාගතයන් වහන්සේ බැහැදැක දෙවියන්ගේ ප්‍රධානියා වන කුවේර නැත්නම් වෛශ්‍රවණ දෙවියන් කියු දෙයක්. තථාගතයන් වහන්සේ ඒ දෙව්රජුන් කියු දේ අනුමත කරමින් නැවත වදාළා.

පිරිත් පොතේ සංයුතිය හැටියට මේ කරුණු දැක්විය හැකියි. උප ග්‍රන්ථ ලෙස ජිනපඤ්රජය, අටවිසි පිරිත, සහ පසුකාලීනව තවත් පිරිත් ඇතුලත් වී තිබෙනවා. එනිසා ඔබත් පිරුවානා පොත් වහන්සේ ශ්‍රද්ධාවෙන් පරිහරණය කරමින් පිරිත් කීපයක් හෝ කටපාඩම් කරගෙන සජ්ඣායනා කිරීමෙන් මෙලොව පරලොව යහපත සලසා ගත හැකියි.