Print this Article


බුද්ධ ශාසනයට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය ආරක්ෂා කිරීමට කටයුතු කරනවා - අගමැති රනිල් වික්‍රමසිංහ

බුද්ධ ශාසනයට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය ආරක්ෂා කිරීමට කටයුතු කරනවා - අගමැති රනිල් වික්‍රමසිංහ

 

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අයුරු.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක ගලගම ශ්‍රී අත්ථදස්සී මහා නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අයුරු.

 

බුද්ධ ශාසනය සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබෙන පනත් කෙටුම්පත් මහ නායක හිමිවරු ප්‍රමුඛ කාරක සංඝ සභික හිමිවරුන්ගේ අවශ්‍යතාව පරිදි ක්‍රියාත්මක කැරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු අස්ගිරි මහ නා හිමිවරු දෙනම හමුවේ (13) පැවසූහ.

ඒ සම්බන්ධව අවශ්‍ය දේ මහ සඟරුවන අවශ්‍ය පරිදි සාකච්ඡා කැර අවසන් එකඟතාවකට පැමිණ රජයට බාර දෙන ලෙසත්, යෝජනා ක්‍රියාත්මක කිරීමට පමණක් රජය මූලිකත්වයෙන් කරන බවත් ඒ මහතා කීය.

අරලියගහ මැඳුරේදී මාර්තු මස 08 දා මහ සංඝරත්නය දහස් නමක් විෂයෙහි පැවැත්වෙන දානමය පින්කමක් සඳහා මහා නා හිමිවරු දෙනම පුම්‍රඛ මල්වතු අස්ගිරි උභය මහ විහාරීය භික්ෂූන් වහන්සේට ආරාධනා කිරීම පිණිස අගමැතිවරයා පැමිණි අවස්ථාවේ මේ බව ප්‍රකාශ කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් බුද්ධ ශාසනය සඳහා ලබා දී ඇති ප්‍රමුඛස්ථානය ඒ ආකාරයෙන් ම ආරක්ෂා කිරීමට රජය ක්‍රියා කැරන බව ද මෙහි දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.

ජාතික සංවර්ධන සැලැසුම් සකස් කිරීම සඳහා ඒ ඒ පළාත්වල ඇමතිවරු, පළාත් සභා මහ ඇමතිවරු හා ඇමතිවරු ඇතුළු නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පිහිටුවා එමඟින් ප්‍රශ්න හා ගැටලු සාකච්ඡා කැර අවසන් වාර්තාවක් ලබා ගැනීමට අපේක්ෂා කැරන බවත් ඒ සඳහා පළාත් මට්ටමින් තමන් රැස්වීම්වලට සහභාගි වන බවත් ඒ මහතා කීය.

මහනුවර නගර සංවර්ධන සැළැස්ම පිළිබඳව ද මෙහි දී අගමැතිවරයා මහානාහිමිවරුන් දෙනම දැනුවත් කැර තිබේ. එජාප, ශ්‍රී ලංකා හෝ මහ ආණ්ඩුව, පළාත් සභා වශයෙන් බෙදී වැඩක් නොමැති බවත් අවශ්‍ය වන්නේ පැහැදිලි ප්‍රතිපත්ති බවත් මෙහි දී අගමැතිවරයා පැවසුවේ ය.

ඒ අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාව නියෝජනය කැරන ආණමඩුවේ ධම්මදස්සී හිමි, මැදගම ධම්මානන්ද හිමි, ගොඩගම මංගල හිමි, කුඹුක්කඳන්වල පුඤ්ඤරතන හිමි, නාරංපනාවේ ආනන්ද හිමි යන් සහ අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම, ලක්ෂ්මන් කිරිඇල්ල මහත්වරු ද සහභාගී වූහ.

අගමැතිවරයා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක ගලගම ශ්‍රී අත්ථදස්සී මහා නා හිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභික හිමිවරු සමඟ සාකච්ඡා කළ අයුරු