Print this Article


බුදුපිළිමයේ උපත - 7: 

බරණැස සාරානාත් පුදබිම

අසෝක රජුගේ රාජ්‍යය මගධ අධිරාජ්‍යය ලෙසින් සඳහන් වේ. එම අධිරාජ්‍යයේ ආරම්භක රජු චන්ද්‍ර ගුප්ත (ක්‍රි.පූ. 321 – 297ය ඔහුගේ පුතා ඉන්පසුව රජ වූයේ ය.) ඔහුගේ නාමය වූයේ බින්දුසාර රජුය. (ක්‍රි.පූ. 297 – 269 ) බින්දුසාර රජුගේ පුත්‍රයකු වූයේ අසෝක රජුය. ඒ අනුව අසෝක රජු මෙම රාජවංශයේ (මෞර්ය රාජ වංශයේ) තුන් වැනි රජතුමාය. එතුමා ක්‍රිස්තු පූර්ව 272 සිට ක්‍රිස්තු පූර්ව 232 තෙක් රජකම් කර ඇත. අසෝක රජුගේ ශිලා ලේඛන සිය අධිරාජ්‍යය පුරාම පිහිටුවා ඇත. අසෝක රජතුමාට ඊට ඉහත සිටි ඔහුගේ පියාගෙන් සහ ඒ පියාගේ පියා (චන්ද්‍ර ගුප්ත රජු) විසින් අල්ලා ගන්නා ලද රටවල් නිසා විශාල අධිරාජ්‍යයකට උරුමකම් කියන්නට අවස්ථාව ලැබුණි. අසෝක රජුට ඒ වන විට අලුතින් අල්ලා ගැනීමට සිය අධිරාජ්‍යයට ඈඳා ගැනීමට තිබුණේ කාලිංග රාජ්‍යය පමණි. මෙකල ඔරිස්සා ප්‍රාන්තයට පුරාණ කාලිංගය අයත්ය.

කාලිංග යුද්ධයෙන් ඉතා විශාල මනුෂ්‍ය සංඛ්‍යාවක් මිය ගිය බව පමණක් නොව ඒ සංඛ්‍යාවන් ශිලා ලේඛනවල සටහන් කිරීමට අසෝක රජු කටයුතු කළේ ය. එම කාලිංග යුද්ධය නිසාම ඉතා දැඩි කම්පනය ට පත් වූ අසෝක රජතුමා නැවත යුද්ධ කර රටවල් යටත් කිරීම නොකරන ලෙස අසෝක රජතුමා ගේ ශිලා ලේඛනවලින් ඉල්ලා සිටියේ තමාගේ දරුවන්ගෙන් සහ මුණුබුරන්ගෙනි.

රජුගේ අභිෂේකයෙන් අටවැනි වර්ෂයේ දී කාලිංගය දේවානම්පි‍්‍රය දර්ශි (අසෝක) රජු විසින් ජය ගන්නා ලදී. ගණනින් එක් ලක්ෂ පනස් දහසක් එරටින් පිටුවහල් කරන ලදී. එක් ලක්ෂයක් පමණ ජනතාව මරා දැමුවේ ය. ඊට වඩා අධික සංඛ්‍යාවක් විනාශ විය. කාලිංගය ජය ගැනීම ගැන දේවානම් පි‍්‍රයයන් (අසෝක රජු) තුළ මෙබඳු පසු තැවිල්ලක් හටගෙන ඇත. මෙම ධර්ම ලිපිය ලිවීමේ අදහස මෙසේ ය. එනම් මාගේ පුත්‍ර හෝ (ප්‍රපෞත්‍ර) මුණුබුරන් කෙනෙක් වෙත්නම් අලුතෙන් ප්‍රදේශ ජය ගැනීමට නොසිතත්වා යනුයි.

ඔවුන් අවිබලයෙන් කරන ජයග්‍රහණයේ දී වුවද සමාවදීම හා ඉතා සුළු දඬුවම් දීමට කැමැති වේවා ඔවුන් ධර්ම විජය ජය ගැනීම ජයග්‍රහණය ලෙස සලකත්වා එය මෙලෝ පරලෝ පිණිස වන්නේ ය. (ධර්මාශෝක සුවිනිශ්චිත ජීවන චරිතය – ආචාර්ය ආනන්ද ඩබ්ලිව්. පී. ගුරුගේ පිටු අංක 686 – 87 ( 2005)

අසෝක රජුගේ පුතා සහ දියණිය මිහිඳු මහරහතන් වහන්සේ සහ සංඝමිත්තා මෙහෙණිය අප රටේ බුදු සසුන පිහිටුවීමෙහි උපකාරී වූ බව ඉතා ප්‍රකට ඓතිහාසික කරුණකි. මහාවංසයට ලියන ලද මහාවංස ටීකාවේ සඳහන්වන පරිදි බින්දුසාර රජුගේ ධම්මා නම් බිසවකගේ පුතා අසෝක කුමරුය.

අසෝක තරුණ කාලයේ දී තමන්ගේ පියා වූ බින්දුසාර රජුගේ රාජධානියේ තක්ෂිලා සහ අවන්ති යන ප්‍රදේශවල උප පාලකයා ලෙසින් සේවය කරන කාලයේ දී තක්ෂලාවේ ඇති වූ කැරැල්ලක් මැඬලීමට අසෝක තරුණයා යවන ලද්දේ බින්දුසාර රජු විසිනි. අවන්ති දේශයේ ප්‍රාදේශීය පාලකයා ලෙසින් අසෝක කුමරු යවන ලද බව දීප වංසයෙහි සහ මහා වංසයෙහි ද සඳහන් වේ.

"(සිදුහත් කුමරු උපන් ලුම්බිනියේ මහාමායා දේවි විහාරය "සිරිසමන් විජේතුංග පි. 109 (2014) මෙකල දඹදිව වන්දනාවේ යන සැදැහැවතුන් පමණක් නොව බොදුනුවන් වන අප අසෝක රජතුමා කවුරුන්ද යන්න ගැන අවබෝධ කර ගැනීම ඉතා වැදගත්ය. ඒ සඳහා වැදගත් වන පළමු වැනි කරුණ නම් අප රටේ බුද්ධාගම පිහිටුවීමට උපකාර වූ මිහිඳු මහරහතන් වහන්සේගේ ගිහි කල පියාණන් නිසාම පමණක් නොවේ.

පුරාණ දඹදිව ලුම්බිනි (සිදුහත් උපත සිදු වූ පුද බිම, බුද්ධගයාව (සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ පුදබිම සාරානාතය හෙවත් බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය පැවැත් වූ පුදබිම මෙන්ම තවත් පුදබිම් රැසක්ම හඳුනා ගැනීමට හැකි වී ඇත්තේ මෙම අසෝක රජතුමා නිසාය. ඒ ඒ පුදබිම්වලට රාජකීය වන්දනාවේ යෑම පමණක් නොව එතුමා විසින් ඒ පුදබිම්වලට ගිය බව අසෝක රජු විසින් පිහිටුවන ලද ශිලා ලේඛනවල සටහන් කර ඇත. ඉතා වැදගත්ම ශිලා ලේඛනය වන්නේ ලුම්බිනියේ පිහිටුවන ලද ශිලා ස්තම්භයයි.

ඉසිපතනාරාමයේ සාරානාතයෙහි බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය පැවැත් වූ පුදබිමෙහි අසෝක රජතුමා විසින් ශිලා ස්තම්භයක් ඉදිකරවන ලදී. ඒ ශිලා ස්තම්භයේ ශීර්ෂයෙහි සතර දිසාව බලාගෙන සිංහ නාද කරමින් සිටින සිංහ රූප සතරක් නිර්මාණය කර ඇත. එම සිංහ රූප පාමුල ධර්ම චක්‍රය ද නිර්මාණය කර ඇති අන්දම (දැනට එම ස්තම්භයේ ශීර්ෂය සාරානාත පුදබිමේ කෞතුකාගාරයේ තිබෙන අන්දම අපි දුටුවෙමු) මෙකල ඉන්දියාවේ රාජ්‍ය ලාංඡනය වන්නේ මෙම සාරානාතයෙහි පිහිටුවන ලද අසෝක ස්තම්භයේ ශීර්ෂයයි. ඒ රටේ ජාතික කොඩියේ ලාංඡනය වන්නේද ධර්ම චක්‍රයයි. එයද එම ශිලා ස්තම්භයෙහිම මූර්තිමත් කර ඇත. අසෝක රජතුමා විසින් කරන ලද රාජකීය වන්දනාව පිළිබඳ අපි තවදුරටත් විමසා බලමු.

ඊළඟ සතියේ අසෝක රජතුමා කකුසඳ කෝණාගම හා කාශ්‍යප බුදුරජාණන් වහන්සේලා වැඳ පුදා ගත් අන්දම විමසමු.


පසුගිය සතියෙන් - බුදුපිළිමයේ උපත - 6:  ලුම්බිනි පුදූබිම නැවත සොයා ගැනීම