Print this Article


රත්මලානේ සිරි සුනීත අනු නා හිමි

"සිරි ඤාණාභිවංසාලංකාර ධීරානන්ද ධම්මාධාර වංසපාල මහින්දාලෝක වංසාවතංස" යන ගෞරව නාමය සහිත

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අනුනායක පදවියෙන් පිදුම් ලබන

රත්මලාන ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති

රත්මලානේ සිරි සුනීත අනු නා හිමි

සන්නස් පත්‍ර ප්‍රදානය කිරීමේ මහෝත්සවය 21 වනදා රත්මලාන පුෂ්පාරාමයේදී


 

ඉමහත් ශක්තියක්

මිහිඳු මහ රහතන් වහන්සේගෙන් ආරම්භ වූ ශ්‍රී ලාංකේය භික්ෂු ශාසනයේ අභිසංවර්ධනය හා සුපෝෂණය ඇති වූයේ එදා මෙදාතුර ශාසනය වෙනුවෙන් ඇප කැප වූ මහා යතිවරයන් වහන්සේලාගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් වශයෙනි.

ධර්මධර, විනයධර ශාසනානුලෝමික ප්‍රතිපත්ති රැකගනිමින් ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු මහත් ලෝකය පුරාම සම්බුද්ධ ශාසනය ව්‍යාප්ත කිරීමට උර දුන් සංඝ නේතෲන් වහන්සේලාට අනුගත වෙමින් වර්තමාන භික්ෂු වංශය බැබළවීමට සක්‍රීය ලෙස දායක වන පූජ්‍යපාද රත්මලානේ සුනීත මහා ස්ථවිර පාදයන් වහන්සේ සමස්ත අමරපුර මහා නිකායටම ඉමහත් ශක්තියකි.

උන්වහන්සේ තුළ පවතින විශිෂ්ට ගුණධර්ම අද්‍යතන භික්ෂූන් වහන්සේලාට සදූපදේශයන් ලබාගෙන තම පැවිදි දිවිය වඩාත් අර්ථවත් කර ගැනීමට තරම් ආදර්ශ සම්පන්නය.

ත්‍යාගශීලීත්වය නිහතමානිත්වය ආදී භික්ෂුවක සතුවියයුතු ලක්ෂණ වලින් පරිපූර්ණ සුනීත මහා ස්ථවිරයන්වහන්සේට අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකාය මඟින් අනුනායක පදවිය පිරිනැමීම එම පාර්ශ්වයට පමණක් නොව මුළු මහත් ශාසනයටම කරන ලද ගෞරවයක් ලෙස සලකමි.

අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අභිනව අනුනායක පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍යපාද රත්මලානේ සුනීත අනුනායක ස්ථවිර පාදයන් වහන්සේට තවදුරටත් සමාජ හා ශාසනික මෙහෙවරක නිරතවීමට රත්නත්‍රයේ ආශීර්වාදය හිමි වේවායි ඉතසිතින්ම සුභාශිංසනය කරම්හ.

ශික්ෂාකාමී මහතෙරනමක්

සම්බුද්ධ ශාසනය ශෝභාමත් කළ ධර්මධර විනයධර ව්‍යක්ත විශාරද ශාසන භාරධාරී මහා යතිවරයන් වහන්සේලා වෙත භාග්‍යවත් ලොව්තුරා බුදුපියාණන් වහන්සේ පවා උන්වහන්සේලාගේ සේවාව අගය කරමින් අග්‍රස්ථානය පදවි තානාන්තර පුද කළහ. එසේම ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනය ද රක්ෂිත සුරක්ෂිත පෝෂිත සුපෝෂිත කළ මහා යතිවරයන් වහන්සේලා වෙත රාජරාජ මහාමාත්‍යාදීන් පවා නොයෙක් ගෞරව පදවි සම්මාන පුද කළ බව ඉතිහාසය සාක්ෂි දරයි. ඒ මඟ ගනිමින් වර්තමානයේ ද එබඳු යතිවරයන් වහන්සේලාට ශාසනික පදවි ප්‍රදානය කිරීම සිදු කෙරේ.

අප අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ ‘සුධර්මා’ කාරක සංඝ සභාව මඟින් රත්මලානේ ශ්‍රී පුෂ්පාරාම පුරාණ මහා විහාරාධිපති, විනයාචාර්ය රත්මලානේ සිරිසුනීත මහා ස්ථවිරපාදයන් වහන්සේ වෙත නිකායේ අනුනායක පදවිය පිරිනමන ලද්දේ ද යථෝක්ත න්‍යායට එකඟවම බව ප්‍රකාශ කරමි.

දුටුදුටුවන්ගේ නෙත්සිත් පහදන රූප සම්පත්තියෙන් ද, ඇසු ඇසුවන්ගේ සිත් සතුටු කරන දේශනා සම්පත්තියෙන්ද, මහා ගැඹුරු අර්ථ ධර්ම මෝක්ෂයන් දරන ඥාන සම්පත්තියෙන් ද යුත් අප අභිනව අනුනායක ස්ථවිරපාදයන් වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපේශල ශික්ෂාකාමී මහතෙරනමකි. තෛ‍්‍රනිකායික මහා සංඝරත්නයේ සම්භාවනාවට පාත්‍ර වී ඇති අභිනව අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ස්වනිකායේ අභිවෘද්ධිය පිණිස මෙතෙක් ඉටු කරන ලද සේවාවන් තවතවත් ප්‍රාගුණ්‍ය කිරීම සඳහා අභිනව අනුනායක පදවිය හේතු වේවායි ප්‍රාර්ථනා කරමින්ම, උන්වහන්සේට ලෝසසුන් වැඩවඩන්නට දෙව්රැකවරණින් තෙරුවන් සරණින් ශක්තිය ධෛර්යය ලැබේවායි ආශිංසනය කරම්හ.

ආගමික හා සාමාජික කටයුතු වැඩි දියුණු කිරීමේ නියැලී සිටිති

දෙහිවල ගල්කිස්ස මහ නගර සීමා ප්‍රදේශයේ වර්තමාන රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ශ්‍රී ධර්මාරාම මාවතේ ශ්‍රී පුෂ්පාරාම මහා විහාරය අප කථානායක අනුනායක හිමිපාණන්ගේ ප්‍රවෘජ්‍යා භූමියයි.

රත්මලානේ ශ්‍රී පුෂ්පාරාම පුරාණ මහා විහාරයේ වැඩසිටි අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක මාදම්පේ ධම්මාධාර මාහිමි රත්මලානේ පුෂ්පාරාමයත්, ගල්කිස්සේ තපෝධනාරාමයත් යන උභය විහාරයන්හි ආධිපත්‍යය දරමින් ආගමික හා ධර්ම ශාස්ත්‍රීය ප්‍රබෝධයක් ඇති කළහ. ශාසනයේ පැවැත්මට භික්ෂු සංඝයාවහන්සේ අවශ්‍ය නිසාම ප්‍රදේශයෙන් හා ඈත ප්‍රදේශවලින් පැමිණි දරුවන් පැවිදි උපසම්පදා කිරීමෙන් ශ්‍රී ධර්මාධාර නාහිමි මහත් ප්‍රසිද්ධියට පත් විය. උන්වහන්සේගේ පරපුරේ එනම් ධර්මාධාර භික්ෂු වංශයේ වර්තමානයේ විහාරස්ථාන 60ක් හා භික්ෂූන් වහන්සේලා 150 නමක් පමණ වැඩ සිටිති.

ශ්‍රී ධර්මාධාර නාහිමියන්ගේ ශිෂ්‍ය පුත්‍රයන් අතර කනිෂ්ඨ ශිෂ්‍යයා වූයේ රත්මලානේ මහින්දාලෝක නාහිමියෝ ය. උන්වහන්සේ සුපේසල ශික්ෂාකාමී මහතෙර නමකි. විශේෂයෙන් මිහිරි කටහඬක් ඇති වාග් චාතුර්යයෙන්ද සෝභා සම්පන්න දුටුවන් පි‍්‍රය කරන දේහයක් ඇති මෙම නාහිමියෝ තරුණ වියේදීම පරිත්‍රාණ ධර්ම දේශනාවෙහි අති දක්ෂ වූහ. අම්බලන්ගොඩ රන්දොඹේ සංඝරාජ මහා විහාරස්ථ ශික්ෂාලංකාර පිරිවෙනින් අධ්‍යාපනය ලැබූහ. සරභඤ්ඤ විශාරද යන ගරු නාමයෙන් සම්භාවිත වූ උන්වහන්සේට රත්මලානේ විසූ ස්වකීය ඥාතීහු මහින්දාරාමය නමින් විහාරස්ථානයක් නේවාසිකව වැඩ සිටීමට සාදා දුන්හ.

තම පරපුරේ වැඩිහිටි සහෝදර භික්ෂූන් වහන්සේලාගේ අපවත්වීමෙන් පසු තමන් වහන්සේගේ ප්‍රවෘජ්‍යා භූමිය වූ පුෂ්පාරාම පුරාණ මහා විහාරයට වැඩම කොට එහි ආධිපත්‍යය දරමින් ප්‍රදේශයේ ගිහි පැවිදි කාගේත් සම්භාවනාට ලක්ව වැඩ විසූහ. උන්වහන්සේට අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායෙන් බස්නාහිර පළාතේ සංඝනායක පදවියද පිරිණැමිනි.

තමන් වහන්සේගෙන් පසු මෙම විහාරස්ථානය වැඩිදියුණු කර ගනිමින් රැකබලා ගැනීමට ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා අවශ්‍ය බව තේරුම් ගත් රත්මලානේ මහින්දාලෝක නාහිමිගේ ඥාති පරපුරේ රත්මලානේ විසූ සැදැහැවත් මා පිය දෙපළකගේ පින්වත් දරුවෙක් ප්‍රවෘජ්‍යාපේක්ෂාවෙන් සිය මෑණියන් සමඟ පුෂ්පාරාමයට පැමිණ මෙම දරුවා පැවිදි කරන්නැයි නාහිමියන්ගෙන් ඉල්ලා සිටියා ය. ඊට කන්දුන් නාහිමියෝ තමන්ගේ අදහස මුදුන්පත්වී යැයි සිතා ප්‍රගුණ කළයුතු මූලික බණ දහම් උගන්වා වසර 12 දී රත්මලානේ මහින්දාලෝක නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් කරන ලදී. 1958 පෙබරවාරි 21 වනදා උපන් මෙම දරුවා පැවිදිවීමෙන් පසු ආචාර්යයන් වහන්සේ සිය පි‍්‍රයතම ශිෂ්‍යයාට රත්මලානේ සුනීත යන පැවිදි නාමය තැබූහ. සාමණේර පැවිද්දෙකු විසින් උගත යුතු සියලු වත් පිළිවෙත් හා බණ දහම් හදාරා සිටි සුනීත සාමණේරයන් වහන්සේ ගිහි පැවිදි කාගේත් සිත්ගත් නිහතමානී කුඩා හිමි නමක් විය. කාගේත් චිත්තප්‍රසාදයට පත්ව සිටි සුනීත පොඩි හාමුදුරුවන්ගේ අනාගත ශාසන කාර්යභාරය දිවැසින් මෙන් දුටු පවුලේ නක්ෂත්‍රාචාර්යවරයා පොඩි හාමුදුරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදිය යුතු බව පැවසීය. ඒ අනුව රත්මලානේ මහින්දාලෝක නාහිමියෝ තම ගුරුකුලය වූ රන්දොඹේ ශික්ෂාලංකාර පිරිවෙනට සුනීත පොඩි හාමුදුරුවන් භාර කළේ එවකට එහි අධිපතිව වැඩ විසූ අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අනුනායක ධුරයෙන් හා අධිකරණ නායක පදවියෙන් සම්භාවිත ආචාර්ය කොස්ගොඩ පඤ්ඤාසීහ නාහිමියන් වෙතය.

එම පිරිවෙනේ සුවච කීකරු ශිෂ්‍යයෙකු ලෙස මූලික ශ්‍රේණියේ සිට පිරිවෙන් අවසානය දක්වා සිංහල, පාලි, සංස්කෘත භාෂාත්, බුද්ධ ධර්මයත්, මැනවින් හදාළහ. කොස්ගොඩ පඤ්ඤාසීහ නාහිමියන් වෙතින්ම විනය කර්ම පිළිබඳවත් විශේෂ පුහුණුවක් ලබාගැනීමට සුනීත පොඩි හාමුදුරුවන්ට හැකි විය.

1966 වර්ෂයේ අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහානායක ධුරය හෙබවූ රාජකීය පණ්ඩිත කොස්ගොඩ ධම්මවංස මහා නායක මාහිමිපාණන්ගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පදා සීලයෙහි පිහිටුවන ලදහ.

රත්මලානේ සුනීත හිමියෝ සිය පාරිවේණික අධ්‍යාපනය නිමකොට ආපසු රත්මලානට වැඩම කළහ. සිය ගුරුදේවයන් වහන්සේගේ සියලු කටයුතු ඉටු කරමින් විහාරස්ථානයේ දායකකාරකාදීන් සමඟ විහාරස්ථානයේ දියුණුවට නාහිමිගේ උපදෙස් පරිදි කටයුතු කිරීමට වගකීම් පවරන ලදී.

ධර්මාධාර දහම්පාසල ආරම්භ කිරීම, ධර්මාධාර පෙර පාසල ආරම්භ කිරීම, මාදම්පේ ශ්‍රී ධර්මාධාර නාහිමිගේ පිළිරුවක් තැනීම, රන්වැට සහිත බෝධි ප්‍රාකාරයක් තැනීම, අවුකන බුදුරුවේ අනුරුවක් තැනීම, සීමා මන්දිරය නවීකරණය කිරීම, නාහිමියන් වැඩසිටි පැරණි සංඝාවාසය අලුත්වැඩියා කිරීම, අභිනවයෙන් නව දෙමහල් සංඝාවාසයක් තැනීම ආදී විහාරස්ථානයේ දියුණුවට ඉමහත් මෙහෙවරක් කළ සුනීත හිමි විහාරස්ථානයට ඇතුළුවන වාහල්කඩ ද උන්වහන්සේගේ අනුශාසකත්වයෙන් නිමැවිණි.

ශතවර්ෂ දෙකකට අධික පැරණි පුෂ්පාරාම විහාරමන්දිරය පුරා විද්‍යාත්මක සිහිවටනයක් ලෙසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් විහාරය සංරක්ෂණය කිරීමේ කටයුතු ද සුනීත හිමිගේ අධීක්ෂණයෙන් සිදු විය.

දිගු කලක් පුෂ්පාරාම මහා විහාරය කේන්ද්‍රස්ථාන කරගෙන ප්‍රදේශයේ කාගේත් සම්භාවනාවට ලක්ව තිබූ මිහිඳු පෙරහර අභාවයට ගොස් තිබිය දී යළිත් එය ආරම්භ කොට ප්‍රදේශයේ ඉතා දර්ශනීය මහා පෙරහරක් ලෙස පැවැත්වීමට කටයුතු කළේ සුනීත හිමියෝ ය. රත්මලාන ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ධුරය හොබවමින් සුනීත අනු නාහිමි ප්‍රදේශයේ දහම් පාසල් හා ආගමික, සමාජ කටයුතු වැඩි දියුණු කිරීමේ නියැළී සිටිති.

අභිනව අනු නාහිමියෝ විදේශ ධර්ම දූත සේවාවේ නියැළී එම රටවල ජීවත් වන බෞද්ධයන් තුළ ආගමික ප්‍රබෝධයක් ඇති කරන ශ්‍රේෂ්ඨ යතිවරයාණන් කෙනෙක් ද වූහ. උන්වහන්සේගේ හිතවත් දායක පින්වතුන්ගේ ආරාධනයෙන් වැඩම කොට වදාළ රටවල් අතර ඉන්දියාව, නේපාලය, තායිලන්තය, මියන්මාරය, සිංගප්පූරුව, ජපානය, මැලේසියාව හා මැද පෙරදිග රටවල් කීපයකට ද එංගලන්තය, ස්කොට්ලන්තය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය ආදී රටවලට ද වැඩම කොට ඒ රටවල දී සිදු කළ ධර්මදූත සේවාව ද අති විශිෂ්ටය.

විහාරස්ථාන ගණනාවකම ආධිපත්‍යය දරමින් දරුවන් පැවිදි කොට ඉමහත් ශාසනික සේවාවක නියැළී කටයුතු කරන සුනීත හිමියන්ට ප්‍රථමයෙන් අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ බස්නාහිර පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවියද, ඉන් අනතුරුව නිකායේ උප අධිකරණ නායක ධුරය ද, ඉන් පසුව ප්‍රධාන අධිකරණ ධුරය ද ලබා නිකායට ඉමහත් සේවාවක් ඉටු කළහ. නිකායත්‍රයේ ගෞරවයට ලක් වූ සුනීත නාහිමියන්ට පසුගිය දා බලපිටිය වැලිතර මහා කප්පින සීමාමාලක විහාරස්ථානයේ දී අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහා නායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සුධර්මාකාරක සංඝසභාවේ සම්මතයෙන් ස්ව නිකායේ අනුනායක ධුරය පිරිනමන ලදී.

වගකීම් පවරා ඇත

රත්මලාන ශ්‍රී පුෂ්පාරාම මහා විහාරය ප්‍රධාන විහාරස්ථාන කීපයක ආධිපත්‍යයත් එම විහාර ගණයෙහි ප්‍රධානත්වයත් දරන රත්මලානේ සුනීතාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අමරපුර සිරි සද්ධම්ම වංස නිකායේ අතිපූජ්‍ය මහ නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සානුනායක කාරක මහා සංඝ සභාව විසින් සමානච්ඡන්දයෙන් අනුනායක පදවියකට පත්කර ඇත.

ඒ නිමිතිකොට සංඝ සභාවේදීත් රත්මලාන ශ්‍රී පුෂ්පාරාම මහා විහාරස්ථානයේදීත් උන්වහන්සේ පිළිගැනීමට සංවිධානයකොට ඇති උත්සව අවස්ථාවේදී මෙසේ පණිවුඩයක් නිකුත් කරන්නට ලැබීම ගැන මම බෙහෙවින් සතුටු වෙමි.

ශ්‍රේෂ්ඨ සංඝ පීතෘන් වහන්සේලාගේ ආශ්‍රයෙනුත් දැන උගත් සිල්වත් ගුණවත් ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාගෙන් ලබන ලද ශික්ෂණයෙනුත් සකස්කරගත් හොඳ පැවිදි දිවියක් ගෙවන සිරි සුනීත නව අනුනාහිමියෝ රත්මලාන ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයෙහි ප්‍රධාන සභාපති පදවියද දරති.

ස්වකීය සංඝ සභාව විසින් පළමුවරට බස්නාහිර පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් ද දෙවන වරට බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් ද තෙවන වරට නිකායෙහි ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් ද, සිව්වන වරට දැන් මෙම අනුනායක පදවියෙන් ද වගකීම් පවරා ඇත. මෙයින් පැහැදිලි වන්නේ උන්වහන්සේ ලබා ඇති නිකායික ප්‍රගතියයි.

ශාසනික හා සමාජ සේවාවක් ඉතා නිහඬව සිදු කරති

සිත, කය හා වචනයෙන් සංවරවීම සියලු දුකින් මිදීමේ ප්‍රධානතම හේතුව බව බුද්ධ දේශනාවයි. භික්ෂු සීලයට අනුව එය ඉන්ද්‍රිය සංවර සීලයයි. දිවැස්නැත්තෙකුට කවර හෝ කෙනෙකුගේ අභ්‍යන්තරය දැකිය නොහැකිය. එහෙත් ඇස් ඇත්තන්ට ඕනෑම අයෙකුගේ බාහිර ක්‍රියාදාමයන් දැකිය හැකිය. එම බාහිර ක්‍රියාදාමයන් සංයමව හරවත් වන්නේ අභ්‍යන්තරය යහපත් වුවහොත් පමණි.

රත්මලානේ ශ්‍රී පුෂ්පාරාම පුරාණ මහා විහාරාධිපති විනයාචාර්ය රත්මලානේ සිරිසුනීත අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ යථෝක්ත න්‍යායට අනුව බාහිර මෙන්ම අභ්‍යන්තර ශික්ෂණයෙන් යුත් සුහදශීලී අයෙකු ලෙස හඳුනාගෙන සිටිමි. විශේෂයෙන්ම කීමෙහි බිනීමෙහි සමත්කම් ඇති මුන්වහන්සේ සුමිහිරි දේශකයාණන් කෙනෙකු වශයෙන් ජනාදරයට පත්ව සිටිති. ‘රත්මලානේ සිරිසුනීත’ යනුවෙන් හැඳින්වූවත්, උන්වහන්සේ ජන්මයෙන් දකුණු සිරිලක ඓතිහාසික බලපිටි පුත්‍රයෙක් බව මෙහිලා සඳහන් කරන්නේ ඉමහත් සන්තෝෂයෙනි. එසේම බලපිටිය රන්දොඹේ සංඝරාජ විහාරස්ථ ශික්ෂාලංකාර පිරිවෙන් සෙවෙණේ හිඳිමින් බණදහම්, වත්පිළිවෙත් හා සංඝකර්ම යනාදිය ප්‍රාගුණ්‍ය කළ හෙයින් මුන්වහන්සේ බලපිටි සඟ පරපුරේ මහර්ඝනීය පුරුකක් බව ද සඳහන් කරමි. විශාල ශාසනික හා සමාජ සේවාවක් ඉතා නිහඬව සිදු කරන අප අනුනාහිමියන් වහන්සේ ගිහි පැවිදි ලොකු කුඩා සියලු දෙනා සමඟ ඉතා මිත්‍රශීලීව කටයුතු කරන අතර ආගන්තුක සත්කාරය මෙන්ම පරිත්‍යාගශීලීත්වය ද පොහොසත්ව ප්‍රගුණ කරති. අප අභිනව අනුනාහිමියන් වහන්සේට තව තවත් ලෝසසුන් වැඩවඩන්නට ත්‍රිවිධරත්නයේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

සුනීත අනුනාහිමි

රත්මලානේ සිරි සුනීත අභිනව අනු නා හිමි රත්මලානේ නිගමුනි වීරබට් මෙන්ඩිස් (නැසීගිය) මහෝපාසක මහතාගේ හා මඩවිට විතානාරච්චිගේ මේරී ලිලියන් මහෝපසිකා මාතාවගේ පුත්‍රයෙකු ලෙස 1958 පෙබරවාරි 21 වැනි දින ජන්මලාභය ලැබීය. රත්මලාන රෝමානු කතෝලික පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලත් අතර 1972 මාර්තු 16 දින රත්මලාන මහින්දාරාමයේ දී උතුම් වූ ප්‍රව්‍රජ්‍යාභාවයට පත්විය. එහි දී සිරි සුනීත අනු නා හිමියන් ගේ ආචාර්යවරයා වූයේ රත්මලානේ ශ්‍රී මහින්දාලෝකාභිධාන බස්නාහිර පළාතේ සම්මාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේය. ඉක්බිතිව අම්බලන්ගොඩ රන්දොඹේ ශික්ෂාලංකාර මහ පිරිවෙණින් ධර්ම විනය භාෂා ශාස්ත්‍රය මැනවින් හදාළ සුනීත අනුනාහිමි කීමෙහි බිණීමෙහි ද මහත් දස්කම් දැක්වීය. 1978 ජුනි 18 වැනිදා වැලිතර මහාකප්පින වලව්ව අසබඩ මාදු නදී ස්වේජින් සීමා මාලකයේ දී අධිසීල සංඛ්‍යාත උපසම්පදා සම්පත්ති ප්‍රතිලාභය ලැබූ අතර එහි දී එවකට තත් නිකායෙහි මහානායකව වැඩසිටි අතිපූජ්‍ය කොස්ගොඩ ධම්මවංස මහානාහිමියෝ සුනීත අනුනාහිමිගේ උපාධ්‍යායවීම ද සුවිශේෂී සිදුවීමකි.

1975 දී රත්මලාන ශ්‍රී පුෂ්පාරාමස්ථ ධම්මාධාර දහම් පාසලත් 1983 දී පයාගල සූරිය බණ්ඩාර දහම් පාසලත් ආරම්භ වූයේ උන්වහන්සේගේ පුරෝගාමිත්වයෙනි. නොදියුණු තත්ත්වයේ පැවැති විහාරස්ථාන ගණනාවක් සංවර්ධනය කිරීමෙහිලා අනුනාහිමි දැක් වූ නායකත්වය ද මෙහි දී වෙසෙසින් ඇගයිය යුතු ය. දැනට රත්මලාන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ලෙස ක්‍රියා කරන උන් වහන්සේ රත්මලාන තරුණ බෞද්ධ සංගමය, ප්‍රජා මණ්ඩලීය බෞද්ධ සංගමය ඇතුළු පොදු සංවිධාන රැසක අනුශාසක ලෙස ද සුවිශාල සමාජ සේවාවන් රැසක් සිදු කරති.

රත්මලානේ සිරි සුනීත අභිනව අනුනාහිමියන් වෙත ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානය කිරීමේ මහෝත්සවය පෙබරවාරි 21 පෙ.ව. 9.00ට රත්මලාන ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරයේ දී ආරම්භ වේ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය දවුල්දෙන ශ්‍රී ඤාණීස්සර මහනාහිමි, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති දොඩම්පහළ චන්ද්‍රසිරි මහ නා හිමි, අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහා නායක අහුන්ගල්ලේ සිරි සීලවිසුද්ධි මහ නා හිමි, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනාහිමිවරුන් වන මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි, මහාචාර්ය කොටපිටියේ රාහුල අනු නා හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයත්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය, බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපති ධනසිරි අමරතුංග, නියෝජ්‍ය නගරාධිපති කේසරලාල් ගුණසේකර මහත්වරුන් ප්‍රමුඛ සම්භාවනීය විශාල පිරිසක් ද සහභාගි වෙති.