Print this Article


මහා දාගැබේ තැන්පත් කිරීමට ද්‍රෝණයක් ධාතුන් වහන්සේ ලැබුණේ කෙසේද ?

අසූරියන් උස,දිග, පළල ඇති සමචතුරශ්‍රාකාර රන්මැලි මහ සෑයේ ධාතු ගර්භයේ අපූරු විස්තරය ඔබ මෙතෙක් ඉගෙන ගත්තා. අද එතැන් සිට. . .

ඒ මහාසෑ ගර්භයේ පූජා ද්‍රව්‍ය කෙතරම්ද යත්, දැන් තිබෙන සෑ මළුව මෙන් හතර පස් ගුණයක් විශාල විය. එසේනම් පූජා ද්‍රව්‍ය අසූ රියන් ගැබ තුළ තැබුවේ කෙසේද? එය ඉන්දසාල ගුහාවේ උපමාවෙන් දැනගත යුතුය. ඉන්දසාල ගුහාව පුංචි ගුහාවකි. නමුත් ඒ ගුහාවේ බණ අසන්න ශක්‍ර දේවේන්ද්‍රයා සහිත දෙදෙව් ලොව සියලු දෙවියෝ පැමිණෙන විට ගුහාවේ ඉඩ විශාල වෙමින් විසිරී පැතිරේ. එකිනෙකාගේ ශරීර ස්පර්ශවීමක් නොමැත. එසේ වන්නේ දෙවියන්ගේ සෘර්ධිය නිසාවෙනි. එලෙසම මේ මහා සෑ ගර්භයට කෙතරම් වස්තුව ඇතිරුවත් ඉඩ ඇහිරීමක් සිදු නොවේ.

මහසෑ දාගැබට ධාතුන් වහන්සේ කොහිද?

ධාතු ගර්භයේ සියලු කටයුතු අවසන් නමුත් ධාතුන් වහන්සේ තවමත් නැත. මහා සඟරුවන රැස්කොට දුටුගැමුණු නිරිඳා මේ ගැන පැවසීය. ඇසළ පුන් පොහෝ දිනක ධාතු නිදානය සිදුවේ. ඒ හෙට දිනයයි. ධාතු ලබාදීම සංඝයා බාරගත් නමුත් තවමත් ධාතුන් වහන්සේ නොමැත. සංඝයා විසින් අතීතයේ මෙවැනි වික්‍රමයක් කොට ධාතුන් වහන්සේ රැගෙන ඒමට පින සැකසී තිබූ සෝනුත්තර රහත් සාමණේරයන් වහන්සේ මේ සඳහා සුදුසු යැයි තෝරා ගෙන උන්වහන්සේට ධාතුන් වහන්සේ ලබා ගැනීමේ බලය පැවරිණි.

අනුරපුරය සුධර්මා දිව්‍ය සභාව මෙන් දිස්විය

සංඝරත්නය ධාතුන් වහන්සේ පිළිබඳව එසේ කතිකා කරගනිද්දී ඒ මහා පුණ්‍යවන්ත ගැමුණු රජු අනුරාධපුරය දෙව් විමනක් සේ සැරසවීය. දුටු දුටු තැන්හි මල් පිරවූ පුන්කළස් ය. අහස පුරා විහිදුනු ධජ පතාකයෝ ය. එදින මුළු ලක්දිව මල් පිපෙන සෑම වෘක්ෂයකම මල් පිපි තිබූ අතර, දෙව්ලොව මේ වගේ සුවඳවත් ඇති කියා ලක්වැසි මිනිසුන් දසත පැතිරෙන සුවඳ ගැන කථා කළේය. සෑම පොකුණකම පියුම් පිපුණි. රත් නෙළුම්, සුදු නෙළුම්, නිල් මානෙල්, ඕළු, මානෙල්, තවත් කුසුම්ය. මංමාවත වල සුදුවැලි ඇතිරු අතර දෙපස තොරන් බැඳ පුන්කළස් තැබිණ. නිල් ජලය පිරි විල් දිය හිස් වුණි. සතර දොරටුව දහ අටක් පාන වර්ගද, දන්සල් පිණිස තැබිණ. සැදැහැවතුනට සුදු වස්ත්‍ර උතුරු සළු, මල් සුවඳ, බුලත්, පුවක් ආදි නොයෙක් දේ පරිත්‍යාග කෙරිණ. අතීතයේ තෙරණුවෝ පොත්වල ලියා ඇත්තේ ඒ සියල්ල ධාතුන් වහන්සේගේ ආනුභාවයටම සිදු වූ බවයි.

අද ධාතුන් වහන්සේ නිධන් වන දිනයයි. මහරජතුමා උදේම සුවඳ පැන් කළ දහසයකින් හිස සෝදා රන් සළු ඇඳ සූසැට ආභරණ වලින් සැරසී මිහිරි ආහාර අනුභව කොට අශ්වයන් හතර දෙනෙකු යෙදවූ රථයකට නැඟ රථය පෙරටු කොට තමන්ට රට එක්සේසත් කරන්නට උපකාර කළ කඩොල් ඇතාද, දසමහා යෝධයන්ද පිරිවරාගෙන රජු හේවිසි නාද මධ්‍යයේ ශක්‍ර දේවේන්ද්‍රයෙක් ලෙස රාජශ්‍රීයෙන් මහා සෑය වෙත රජ ගමන් කළේය.

දැන් සෑයේ කටයුතු සූදානම්. රජතුමාත් පැමිණ සිටී. නමුත් තවමත් ධාතුන් වහන්සේ වැඩමවා නැත. අවුරුදු දහසයක් වයසැති සෝණුත්තර මහ රහතන් වහන්සේ රහතුන්ගේ අනුදැනුම මත මාඤ්ංජරික නම් නාග භවනේ මහකෙළ නා රජු ආරක්ෂා කරමින් වැඳුම් පිදුම් කළ ද්‍රෝණයක් සහිත ධාතුන් වහන්සේ රැගෙන එන්නට ක්ෂණයෙන් පොළොවට කිමිදී නා ලොවට වැඩි සේක.

මහකෙළ නා රජුට ද්‍රෝණයක් ධාතුන් කොහින්ද?

තථාගත පිරිනිවීමෙන් පසු කෝළිය වංශකයින්ට ලැබුණ ධාතුන් වහන්සේ රාමග්‍රාමයේ ගංගානම් ගඟ අසළ තැන්පත් කොට තිබුණි. දිනක් විශාල ගං වතුරකට ඒ ගඟ අසළ තිබූ ස්තූපය කඩාගෙන ගොස් රන් කරඬුව ගඟට වැටුණි. නමුත් කරඬුව පෙරලුනේ නැත. තිබූ පරිදිම ගඟේ පාවිණ. මුහුදයි, ගංගානම් ගඟයි සම්බන්ධ වන ස්ථානයේ විමානයක මහකෙළ නම් නා රජු ප්‍රමුඛ නාගයෝ විසීය. ඒ නාගයෝ දුටුවේ විශාල ආලෝකයක් ජලය මැද විහිදෙන අයුරු ය. පෙන ගොබ දහසකින් වටකරගෙන ඒ කරඬුව රජු වෙත ගෙන ආවේය. නා රජු විනිවිද දුටුවේ කරඬුව ඇතුළතය. “අහෝ මේ අපේ ශාස්තෘන් වහන්සේගේ ධාතුන් වහන්සේ නේදැයි” කියා මහා හරසරින් වැඩමවා තනි මැණික් වලින් කළ මන්දිරයක් කරවා ඒ ධාතුන් තැම්පත් කැරිණ.

නා ලොව වැඩසිටි ධාතුන් වහන්සේ මනු ලොවට

ධාතුන් වහන්සේ ලබාගනු පිණිස සෝණුත්තර මහරහතන් වහන්සේ සෘර්ධියෙන් නා ලොවට වැඩම කළේය. මහකෙළ නා රජු දුරදීම ස්වාමින් වහන්සේ නමක් නා ලොවට වඩින අයුරු දිටීය. නා රජු තැති ගත් අතර, නා රජු තමන්ගේ බෑණනුවන් වන “වාසුලදත්ත” නම් නාගයාට කියා සිටියේ මේ ධාතු කරඬුව ඉක්මණින් සඟවන ලෙසයි. ඉන්පසු නා රජු ඉදිරියට ගොස් “ස්වාමිනි, කුමක් නිසා නා ලොවට වැඩිසේක්දැයි” විචාළේය. ‘රජතුමනි, මනුලොව දුටුගැමුණු නම් රජතෙමේ රත්නමාලි නම් උතුම් සෑයක් ඉදි කරන්නේ්ය. දැන් තිස්දහසක් ස්වාමින් වහන්සේ ඒ මහා සෑය අභියස සිටිති. උන්වහන්සේලා අණ පරිදි මහා සෑයේ තැන්පත් කිරීමට ඔබ වන්දනා කරන ද්‍රෝණයක් ධාතුන් වහන්සේ රැගෙන යාමට පැමිණියෙම්හ” වදාළ සේක. සාමණේරයන් වහන්සේගේ බස ඇසූ නා රජු ඉතාමත් කෝපයටත් ශෝකයටත් පත්විය. නා රජු වාසුලදත්ත නාගයාට ඇසෙන් ඉඟි කළ විට ඒ නාගයා ධාතු මන්දිරයට ගොස් ධාතු කරඬුව ගිල මහමේරු පර්වතයේ පාමුල කරඬුව සඟවාගෙන සිටියේය. සෝණුත්තර සාමණේරයන් වහන්සේ නැවත නැවත මහකෙළ නා රජුගෙන් ඉල්ලා සිටියේ ඔබ ළඟ ඇති ධාතුන් තථාගතයන් වහන්සේගේ අධිෂ්ඨානයක් පරිදි ලංකා ධරණී තලයේ තැන්පත් කිරීමට ලබාදෙන ලෙසයි. අවසානයේ නා රජු කියා සිටියේ “ස්වාමිනි මා ළඟ ධාතුන් නැත. තිබෙන තැනෙකින් ගනිත්වා” යි යන්නයි. එවිට සාමණේරන් වහන්සේ නා රජුට නො පෙනෙන්නට සියුම් අතක් මවා මහාමේරු පර්වතය පාමුල දරන ලා සිටින නාගයාගේ කුසේ ඇති ධාතු කරඬුව නො දැනෙන ලෙස ගෙන ආපසු වැඩි සේක.

මහකෙළ නා රජුට සතුටුය. සාමණේරයන් වහන්සේ අපට රැවටී වැඩිසේක යැයි සිතමින් ධාතු කරඬුවගෙන එන ලෙස අණ කළත්, එය කොහිවත් තිබුණේ නැත. අර සාමණේරයන් වහන්සේ අප රවටා ධාතු කරඬුව රැගෙන ගියේය,. කියමින් කඳුළු සලමින්, විලාප දෙමින් ස්වාමින්වහන්සේ පිටුපසෙන්ම සෑය වෙත ආවෝය. දැන් රුවන්වැලි සෑය වටකොට මහරහතන් වහන්සේ වැඩ සිටියි. එනිසාම නාගයන්ට ඒ අසළට සමීප වීමට පුළුවන් වූයේ නැත.


පසුගිය සතියෙන් - අසිරිමත් ධාතු පුරාණය 15 කොටස : මහා සෑයේ ධාතු ගර්භය අතිශයින්ම විශ්මිතය