UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දියුණුවට හානි කරන සැකය උපදවන මෝහය එපා

දියුණුවට හානි කරන සැකය උපදවන මෝහය එපා

සැකය හෙවත් විචිකිච්ජාව නමැති මනෝභාවය පිළිබඳව අප තුළ අවබෝධයක් තිබිය යුතුය. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමිවලට අනුව, සැකය හෙවත් විචිකිච්ජාව මෝහ මූලික වූ මානසික පසුබිමකි. මෙම විචිකිච්ජාව , සැකය දුරුකර ගැනීමකින් තොරව සත්වයාට නිර්වාණාවබෝධය සඳහා ගමන් කිරීමට කිසිසේත්ම අවස්ථාව ලැබෙන්නේ නැහැ. පළමු මාර්ග අංගය වන සෝතාපන්න තත්වයට පුද්ගලයකු පත්වීමේදී,, සැකය ප්‍රහීණ වන බව ධර්මයෙහි සඳහන් වේ. සක්කායදිට්ඨිය, විචිකිච්ජාව සහ සීලබ්බත පරාමාස යන මූලික මනෝභාවයන් තුනක් ප්‍රහීණ වෙයි.

මෝහය නම් වූ මනෝභාවය මත පදනම්ව, නිර්මාණය වන විචිකිච්ජාව උපේක්ෂා සහගතව පවතින බව පාලි ධම්මික ඉගැන්වීම්වල දැකගත හැකි වෙයි. මෝහ සිත් දෙකක් පිළිබඳව අභිධර්මය තුළ සඳහන් වේ. විචිකිච්ජාව හෙවත් සැකය පිළිබඳ වූ සිත. උද්දච්චය හෙවත් නොසන්සුන්කම පිළිබඳ වූ සිත යන එම සිත් දෙකයි. යම්කිසි පුද්ගලයකුගේ මනසෙහි මෝහය පවතින තාක්කල් ඔහුගේ හෝ ඇයගේ මනස තුළ සැකය විචිකිච්ජාව පැවතිය හැකි බවට නිගමනය කළ හැකියි. සැකය හෙවත් විචිකිච්ජාව සත්ත්වයාගේ අධ්‍යාත්මික ප්‍රගමනයට බාධාකාරී තත්ත්වයකට පත් වී තිබෙනවා පමණක් නොවන අතර එය පුද්ගලයාගේ ලෞකික ජයග්‍රහණවලටද විශාල බාධකයක් බවට පත්වී තිබෙන බව ගෘහස්ත සමාජය මුහුණ දෙන ගැටළු කෙරෙහි අවධානය යොමුකිරීමෙන් අපට වටහාගත හැකියි.

ගෘහ ජීවිතය ගතකරන දෙමව්පියන්ට දූ දරුවන් පිළිබඳව, දූ දරුවන්ට දෙමාපියන් පිළිබඳව බිරින්දෑවරුන්ට සැමියන් පිළිබඳව, සැමියන්ට තම බිරින්දෑවරුන් පිළිබඳව, අසල්වාසීන් පිළිබඳව, ඤාතීන් පිළිබඳව වරින් වර සැකය නම් වූ මනෝභාවය උපදින අයුරු සහ ඒ මත පදනම්ව ගනුලබන තීරණ තුළින් ඔවුන්ගේ ජීවිත විශාල අධ්‍යාත්මික අර්බුදවලට භෞතික අර්බුදවලට ගමන් කරන අයුරු දැකගත හැකියි.

බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙහි මෝහ සිත පිළිබඳව පෙන්වා දෙනු ලබන්නේ සත්‍ය අසත්‍ය ලෙස දකින්නටත්, අසත්‍ය සත්‍ය ලෙස දකින්නටත්, මෝහ මූලික මනෝභාවය අපගේ මනස තුළ ප්‍රබල වන විට අප අප විසින් එළඹසිටි අදහස මත පදනම්ව අනෙකුත් පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් අනෙකුත් අයගේ ප්‍රකාශනයන් අනෙකුත් පුද්ගලයන්ගේ හැසිරීම් නිගමනය කිරීමට අපව පොළඹවනු ලබයි.

වර්තමාන මනෝවිද්‍යාව එවැනි තත්වයන් බින්නෝන්නමාදී රෝගී ස්වභාවක් ලෙස පෙන්වා දෙයි. එනම් යමිකිසි අයකුගේ සාමාන්‍ය හැසිරීමත් පිළිබඳව ඉතාම පටු නිගමනවලට පැමිණිමට යමිකිසිවකුගේ මනස එළඹෙයි. නිදසුනක් ලෙස ගත හොත් රාජකාරියට අදාල කාරණාවක් ස්ත්‍රියක් සහ පුරුෂයෙක් සාකච්ජා කරමින් සිටින අවස්ථාවක එය දුරසිට දකින්නට ලැබුණ හොත්, එම ස්ත්‍රියගේ විවාහක සැමියා හෝ පුරුෂයාගේ විවාහක බිරිඳ ඔවුන්ගේ මනස තුළ නොමනා සම්බන්ධකමක් යැයි සැකයක් පහළ විය හැකියි.

මෙය බින්නෝන්නමාදයේ ප්‍රතිඵලයක් වන අතර දුර තියා දකින්නට ලැබෙන දේ පිළිබඳව තමන් විසින් නිගමනවලට පැමිණෙනු ලබයි. ප්‍රත්‍යක්ෂ අවබෝධයකින් තොරව, තමන් විසින් ගොඩනගාගනු ලබන ච්ත්ත රූප ඔස්සේ සංකල්ප ලෝකය තුළ නිගමනවලට පැමිණිම මෙම මානසික රෝගී තත්ත්වයේ ප්‍රබලම ලක්ෂණයකි. වර්තමානය වන විට අප රටවාසී බොහෝ පිරිසක් මෙම රෝගී තත්ත්වයෙන් පෙළීම ඔවුන් නොදැනීම ඔවුන්ගේත් ඔවුන්ගේ පවුල්වල අයගේත් ඉතාම අවසනාවන්ත තත්වයකි.

පුද්ගලයකු බින්නෝන්මාදය යන රෝගී තත්වයක් කරා රැගෙන යාමට මෝහය අනිවාර්යය හේතු සාධකයක් වෙයි. යම් පුද්ගලයකු හෝ තැනැත්තියක මෙම තත්වයට පත්වන්නේ ඇයි? මෝහයෙන් මුළාවී, සැකයෙන් මුසපත් වී ගෙවන ජීවිතයකට යම් කෙනකු ඇදවැටෙන්නේ ඇයි? දැඩි ආසාවන්ගෙන් පෙළෙන්නන් මෙම තත්ත්වය කරා ගමන් කරනු ලබයි. අනෙකුත් අය මත යැපෙන්නට සිතන, අනෙකුත් අයගෙන් සෑම මොහොතකම තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්නට සිතන ඒ පුද්ගලයා නැතිව ගිය විට තමන්ට කිසිවක් කර කියා ගන්නට නොහැකි වේ යැයි කල්පනා කරන, ස්වාධීනත්වය පිළිබඳව කිසිඳු ආකාරයක මනෝභාවයක් ගොඩනගා ගැනීමට නොහැකියාවෙන් සිටින පිරිස් තුළ අනෙකා මත දැඩි ලෙස ආශක්ත වීම හෙවත් ඇලීම නිසා තමාට අහිමි වේ යැයි සිතෙන බය ඇතුළත බින්නෝන්නමාදී තත්ත්වය විචිකිච්ජා සහගත හැසිරීම.

චෛතසික මත පදනම්ව ගනු ලබන තීරණ තීන්දු අපට බොහෝ විට දැකගත හැකියි. එනිසා ඔබගේ මනස මෙම තත්ත්වයෙන් ගලවා ගැනීමට නම්, විචිකිච්ජාවෙන් පදනම්ව ගනු ලබන තීරණවලින් යමිකිසි දුරකට හෝ ඔබ නිදහස් විය යුතු යැයි ඔබ කල්පනා කරනවා නම්, පුද්ගලයන්ට හෝ යම් යම් දේ වලට දැඩි ලෙස ඇලීමෙන් අප වැළකිය යුතුයි. දැඩි ඇලීම අප මුසපත් කරනු ලබයි. එම මුසපත්භාවය අපව මෝහයට පත්කරයි. මෝහය අප තුළ සැකය විච්කිච්ජාව උපදවනු ලබයි. එනිසා අප පළමුවෙන්ම වටහාගත යුතු කාරණාවකි.

යමි යමි පුද්ගලයන් සහ යම් යම් දේ පිළිබඳව වරින් වර අප මනස තුළ ඇතිවන ගැටුම නිසාවෙන් අපත් නොදැනීම අප ඔවුන් සැක කිරීමට පටන් ගනු ලබයි. ඔවුන් කෙරෙහි සැකයෙන් බැලීමට අප පටන් ගනු ලබයි. ඔබගේ ජීවිතය තුළ ඔබ අකැමැති පුද්ගලයන් හමුවිය හැකියි. අකැමැති පුද්ගලයන් හෝ අකමැති පිරිස් සමඟ ඔබට වැඩ කිරීමට සිදුවිය හැකියි. එම අකැමැත්ත දැඩි ගැටුමක් දක්වා පරිවර්තනය වන තත්වයට ගෙන නොයාමට ඔබ වගබලා ගත යුතුයි. ගැටුම විසින් ඔබව බින්නෝන්නමාදී තත්ත්වයට ඔබ නිර්මාණය කරනු ලබයි. ඔවුන් වෙනත් අයෙකු සමඟ යමිකිසි වැදගත් කාරණාවක් සාකච්ජා කරමින් සිටින මොහොතකදී පවා ඔබ පිළිබඳව කතා බහ කරනවා යැයි ඔබට සිතිය හැකියි. ඔවුන් යමිකිසි දිසාවක් බලාගෙන සිටින විට, ඔබ පිළිබඳව ඔබ පෙන්වමින් කතා කරනවා යැයි ඔබට සැක සිතෙන්නට පුළුවන.

මෙවැනි සැකයන් මත පදනම්ව ඔබ ගනු ලබන තීරණ ඔබගේ ජීවිතයටත් අනෙකුත් පිරිසකගේ ජීවිතවලටත් විශාල බලපෑමක් එල්ලකරනු ලබයි. බුදුපියාණන් වහන්සේ පිළිබඳව, ධර්මය පිළිබඳව, මහා සංඝරත්නය පිළිබඳව, සීලය පිළිබඳව, පෙර ආත්මය පිළිබඳව, නැවත උපදිනවා යැයි කියන පසුභවය පිළිබඳව, පෙර සහ පසු යන ස්වභාවයන් දෙකම පිළිබඳව සහ අවසාන වශයෙන් පටිච්ච සමුප්පාදය පිළිබඳව යන බුද්ධාදී අට තැන පිළිබඳව සැකය තිබෙන තාක්කල් ධර්ම මාර්ගයෙහි වේගවත්ව පුහුණුවක් ලැබීමට හැකිවන්නේ නැති බව බෞද්ධයන් වන අප අවබෝධ කරගත යුතුයි. තුණුරුවන් ඇතුළු කරුණු අට පිළිබඳව ඔබ තුළ පවතින්නා වූ සැකය හේතුකොට ගෙන ඔබගේ පුහුණුව මැලිකරමින්, ඔබගේ පුහුණුව අඩාල කරවනු ඇත.

ඒ වගේම ඔබගේ ගෘහස්ත ජීවිතය තුළත් සමාජ සම්බන්ධකම් තුළත් ඔබ තුළ පැන නගින සැකය යන මනෝභාවය විසින් ඔබ ලෞකික ජීවිතයේ ජයග්‍රහණය කරා අනෙකා සමඟ යාමට තිබෙන අවකාශය නැතිකර දමනු ලබයි. අනෙකා සැක කිරීම නිසා අපගේ කාර්යක්ෂම බව අඩු වී යයි. ඔවුන් පිළිබඳව විශ්වාසයක් නොමැති වෙයි. ඒ ගනු ලබන නිගමන ක්‍රියාවට නැංවීමට යාමේදී නැවත වතාවක් අප පසුබට වීමට පටන් ගනී.ඔබගේ ලෞකික ජයග්‍රහණවලටත් හානිකරන, අධ්‍යාත්මික ජයග්‍රහණවලටත් හානිකරන විචිකිච්ජාව හෙවත් සැකය නිෂ්පාදනය කරන මෝහයෙන් අපගේ මනස ගලවාගැනීමට අප සෑම මොහොතකම යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව, සිහිනුවණින් යුක්තව, එළඹ සිටි සිහියෙන් යුක්තව ඔබ කටයුතු කළ යුතු බව ඔබ අවධාරණය කරගත යුතුයි.

 

 දුරුතු අව අටවක පෝය

  දුරුතු අව අටවක පෝය ජනවාරි 31 වැනිදා ඉරිදා අපරභාග 07.43 ට ලබයි. 01 වැනිදා සඳුදා අපරභාග 10.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 01 වැනිදා සඳුදාය. මීළඟ පෝය පෙබරවාරි 08 වැනිදා සඳුදා ය.

 මීළඟ පෝය පෙබරවාරි 08 වැනිදා සඳුදා ය. 
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 01

Full Moonඅමාවක

පෙබරවාරි 08

First Quarterපුර අටවක

පෙබරවාරි 15

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]