UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිතීමේ හා විමසීමේ නිදහස

දුරුතු අව අටවක පෝදා දම් දෙසුම

සිතීමේ හා විමසීමේ නිදහස

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

චථ තුම්හෙ කාලාමා මා අනුස්සවෙන, මා පරම්පරාය, මා ඉති කිරාය, මා පිටකසම්පදානේන මා තක්කහේතු මා නය හේතු මා ආකාරපරිවිතක්කෙන, මා දිට්ඨි නිජ්ඣානක්ඛන්තියා , මා භබ්බරූපකාය, මා සමණො නො ගරු”ති

සැදැහැවත්නි,

මෙලොව උපන් සෑම සත්ත්වයෙකුටම උපතින්ම යම් නිදහසක් උරුම වී තිබේ. ජීවත්වීමේ නිදහස ඉන් පළමුවැන්නයි. අනවශ්‍ය බැඳීම් යටත්වීම් සහ පීඩනයන්ගෙන් තොරව නිදහසේ ජීවත්වීමට සැවොම පි‍්‍රය කරති.

සියලු සත්ත්ව වර්ගයා, ජීවත්වනුයේ එකම සමාජයක ඒකාකාරී රාමුවක් තුළය. එක් මිනිස් වර්ගයක නිදහස පිළිබඳ යම් යම් සීමාවන් පැනවීම හෝ නිදහස සහමුලින්ම අහෝසිකර දැමීම මානුෂික වශයෙන් මෙන්ම සදාචාරාත්මක වශයෙන්ද කිසිදු හේතු යුක්තිසහගත ක්‍රියාවක් නොවේ. ලොව ජීවත්වන සියලු සත්ත්ව වර්ගයාට උත්තරීතර මානව නිදහසක් උදාකරදීම සඳහා වූ සර්වකාලීන හා සර්වභෞමික දේශනයක් පළමුවෙන්ම ලෝකයාට ඉදිරිපත් කළේ බුදුරජාණන් වහන්සේය. ප්‍රාග් බෞද්ධ හා බුද්ධකාලීන භාරතීය සමාජ පසුබිම පිළිබඳ විමසා බැලීමේදී එකල මිනිසුනට යටත් පිරිසෙයින් ජීවිතය පවත්වාගෙන යාමටවත් කිසිදු නිදහසක් උරුමව නොපැවතිණි. බමුණන් විසින් වර්ග කරන ලද චතුර්වර්ණය පදනම් කරගෙන එකල සමාජය සකස්ව තිබුණි. බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය , වෛශ්‍ය හා ශුද්‍රයනු එම චතුර්වර්ණයි. මෙම වර්ගීකරණයට අනුව බමුණන් පූජකයන් හා ගුරුවරුන් ලෙසද රජුගේ උපදේශකරුවන් ලෙසද පෙනී සිටි අතර මිනිස් සමාජය උසස් පහත් වශයෙන් මහා බ්‍රහ්මයා විසින් මවන ලදැයි, යන්න ඔවුන්ගේ නිසැක පිළිගැනීම විය. ක්ෂත්‍රිය වංශිකයිනට රාජ්‍ය පාලන තන්ත්‍රය මෙහෙයවීමත්, කෘෂිකර්මාන්තය කරවීමත්, යාග කරවීමත් නියමිතව පැවතිණ, වෛශ්‍යයනට වාණිජමය කටයුතු පැවරී තිබුණ අතර ශුද්‍ර වංශිකයාට උරුම වූයේ පූර්වෝක්ත වර්ණත්‍රයට බැල මෙහෙවර කිරීමයි. මෙකී වර්ණත්‍රයට උරුම වූ මිනිස් අයිතිවාසිකම් කිසිවක් ඔවුනට උරුම නොවීය.

එමතු නොව තත් යුගය වන විට භාරතීය සමාජයේ කාන්තාවනට හිමි වූයේද ඉතා පහත් තත්ත්වයකි. ශුද්‍රයිනට සේම සාමාන්‍ය මිනිස් අයිතිවාසිකම් වූ ඉගෙනීම හා ආගමික කටයුතුවල යෙදීම ආදී කටයුතු පවා ඔවුනට අහිමි විය. රටේ පවත්නා පොදු නීති පවා කාන්තාව සම්බන්ධයෙන් වෙනස් වූ අතර එදා සමාජයේ කාන්තාවක මැරීම පිරිමියෙකු මැරීම තරම් බරපතළ ක්‍රියාවක් නොවීය. යන අදහසද මුල් බැසගෙන පැවතිණි, එබැවින් එකල ස්තිය‍්‍රක වී ඉපදීම ද බරපතළ පාපයක් සේ සැලකීය. මෙසේ සකස්ව පැවති විෂම සමාජ රටාවෙහි පවත්නා නිස්සාරත්වය මනාව මහජනයාට තේරුම් කරදුන් බුදුරජාණන් වහන්සේ උපතින් කෙනෙකු බ්‍රාහ්මණයෙකු හෝ වසලයෙකු නොවන බවත්, එය පුද්ගල ක්‍රියාකාරකම් මත තීරණය වන බවත් තර්කානුකූලව පැහැදිලි කළහ. ඒ ඇතුළු මිනිස් සමාජයේ නිදහස වෙනුවෙන් උන්වහන්සේ සිදුකළ දේශනා සියල්ල මංමුලා වූ ජන සමාජයකට නිසි මග පෙන්වාදීමක්ම විය.

ඒ අතර සිතීමේ හා විමසීමේ නිදහස වැනි ඉතා සාරවත් ඉගැන්වීමක් එම විෂය පිළිබඳ වූ ආගමික ඉතිහාසයෙහි අන් කවර තැනෙකවත් දක්නට නොමැත. තමාම සත්‍යය අවබෝධ කරගැනීමෙන් හැර බාහිර පිළිවෙතක පිහිටෙන් මිනිසෙකුට දුකින් මිදිය නොහැකි බව උන්වහන්සේ දේශනා කළහ.

මෙම දේශනාව සඳහා මුල් වූ පසුබිම මෙසේය. වරක් කොසොල් දනව්වෙහි චාරිකා කරන සමයෙක බුදුරජාණන් වහන්සේ කාලාමයන් ගේ “කේසපුත්ත” නම් නියම් ගමට වැඩම කළහ. කාලාමයෝ උන්වහන්සේ හමුවී මෙම කරුණ ප්‍රකාශ කළහ.

“ස්වාමීනි කේසපුත්තයට වරින්වර පැමිණෙන මහණ බමුණෝ වෙති. ඔවුහු ස්වකීය ලබ්ධිය වැළඳගැනීම ප්‍රකාශ කරති. අන්‍ය ලබ්දීන් සියල්ල හෙළා දකිති. බැහැර කරති. පරිභව කරති. ස්වාමීනි, මෙහිදී කවුරු ඇත්ත කියත්ද? කවුරු බොරු කියත් ද? යනුවෙන් අපට සැකයක් ඇතිවේ.

මෙහිදී බුදුරදුන් ඔවුනට අවධාරණය කළේ ආගම් පිළිබඳ ඉතිහාසයේ සෙසු කිසිම තැනෙක දක්නට නොලැබෙන උපදේශයකි.

කාලාමයෙනි, ඔබ සැක කිරීමත් විමතියට පැමිණීමත් සුදුසුමය. ඔබගේ සැකය ඇතිවූයේ සැක ඇතිවිය යුතු තැනකෙමය. කාලාමයෙනි, අනුශ්‍රැතියෙන් හෙවත් කුඩා කල සිට පුරුදු පමණින් හෝ පරපුරෙන් පරපුරට පිළිගෙන පැමිණි පමණින් හෝ මෙය මෙසේ වී යැයි මිනිසුන් අතර කතා පැතිර පවතින පමණින් හෝ තමා උගත් ග්‍රන්ථවල සඳහන් පමණින් හෝ තර්කයට එකඟ නිසා හෝ කිසියම් න්‍යායකට ගැලපෙන නිසා හෝ පෙනෙන හැටියට හරි යැයි කියා හෝ තමන් පිළිගෙන ඇති කිසියම් දෘෂ්ටියකට ගැලපෙන නිසා හෝ කියන පුද්ගලයා ගේ යහපත්කම සලකා හෝ මේ අපේ ගුරුතුමා යැයි කියා හෝ යමක් නො පිළිගන්න.

යම් විටෙක මේ දේ අයහපත්ය.අකුසලය වරදය යි, ඔබට ම වැටහෙන්නේද එවිට එය අත්හැර දමන්න. එසේම යම් විටෙක මේ දේ යහපත්ය. කුසලය. නිවැරදියයි ඔබටම වැටහෙන්නේද එවිට එය පිළිගෙන පිළිපඳින්න.

කාලාමයෝ මෙම දේශනාව මනාව තේරම් ගත්හ. එයම පිළිගත්හ. තෙරුවන් සරණ ගිය උපාසකයෙක් බවටද පත්වූහ.

සැක නැති කිරීම පිළිබඳවද බුදුරජාණන් වහන්සේ සෑම විටෙකම දැක් වූයේ දැඩි සැලකිල්ලකි. තමන් වහන්සේ දේශනා කල ධර්මය ගැන යම්කිසි සැකයක් ශ්‍රාවකයන් ගේ සිතෙහි පැවතියහොත් තමාගෙන් ප්‍රශ්න කළ යුතු බවද සැකය දුරුකරු ගැනීමට ඉඩක් නොලැබිණැයි පසුව විපිළිසර නොවිය යුතු බවද පිරිනිවන් පෑමට ස්වල්ප වේලාවකට පෙර පවා උන්වහන්සේ ස්වකීය ශ්‍රාවක පිරිසට දේශනා කළහ. එහෙත් ශ්‍රාවක පිරිස නිහඬව බලා සිටියහ. එහිදී බුදුරදුන් අවධාරණය කළ කරුණ සිතීමේ හා විමසීමේ නිදහස පිළිබඳ බෞද්ධ මතය කවරේදැයි තීරණය කිරීමට හොඳම සාක්ෂියකි. එය නම් “ඔබ” ප්‍රශ්න නො අසන්නේ ශාස්තෘවරයාණන් කෙරෙහි ගෞරවය නිසා නම් එය තම යහලුවෙකුටවත් සැලකළ යුතුය” යන්නයි.

 

 දුරුතු අව අටවක පෝය

  දුරුතු අව අටවක පෝය ජනවාරි 31 වැනිදා ඉරිදා අපරභාග 07.43 ට ලබයි. 01 වැනිදා සඳුදා අපරභාග 10.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 01 වැනිදා සඳුදාය. මීළඟ පෝය පෙබරවාරි 08 වැනිදා සඳුදා ය.

 මීළඟ පෝය පෙබරවාරි 08 වැනිදා සඳුදා ය. 
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 01

Full Moonඅමාවක

පෙබරවාරි 08

First Quarterපුර අටවක

පෙබරවාරි 15

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]