UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කුලියාපිටිය දුරුතු මහා පෙරහර

කුලියාපිටිය ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරස්ථ

කුලියාපිටිය දුරුතු මහා පෙරහර


මහෝත්සවාකාරයෙන් පැවැත්වීම ප්‍රශංසනීයය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායික විහාරස්ථානයක් කේන්ද්‍ර කරගෙන පවත්වනු ලබන එකම මහා පෙරහර කුලියාපිටිය ඇස්සැද්දුම දුරුතු මහා පෙරහරයි. මේ සඳහා අපගේ ප්‍රසාදය හා ආශීර්වාදය පළකරන්නට මම කැමැත්තෙමි.

1993 දී සංඝමිත්තා පෙරහර ලෙස එවකට විහාරාධිපති ධුරයේ වැඩසිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මහාචාර්ය කබලෑවේ පියභාරති නාහිමියන්ගේ අදහසකට අනුව කුඩා දිය පාරක් සේ ආරම්භ වූ මෙය අද දුරුතු මහා පෙරහර නම් මහා ගංගාවක් සේ විශාල වී වීදි සංචාරය කරන මහා පෙරහරක් බවට පත්ව තිබේ. ප්‍රධාන පෙරහරක දක්නට ලැබෙන අංගෝපාංග, සිරිත් විරිත් සියල්ලම පාහේ ඇතුළත්වන පරිදි මෙම පෙරහර මංගල්‍යය මහෝත්සවාකාරයෙන් පැවැත්වීම ද ප්‍රශංසනීයය.

මේ සියලු කටයුතු සඳහා නිවැරදි මාර්ගෝපදේශකත්වය ලබා දෙමින් දශක දෙකක් පුරා සාර්ථක ලෙස පෙරහර නොකඩවා වාර්ෂිකව පැවැත්වීමට කටයුතු කරනුයේ විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය පරියත්ති ලේඛකාධිකාරී පල්ලේකාගම රතන භාරති හිමියෝ ය. උන්වහන්සේටත් උන්වහන්සේගේ මෙහෙයවීම හා නායකත්වය යටතේ එහි සියලු සංවිධාන කටයුතු සාර්ථක කර ගැනීමට දායක වූ දුරුතු පෙරහර කමිටුව, විහාරස්ථ දායක සභාව, ශ්‍රී දීපාලංකාර දහම් පාසල, කුලඟන සමිතිය ආදී සංවිධානවලටත් ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරමි.


සත්කෝරළයේ ප්‍රමුඛතම බෞද්ධ සංස්කෘතික කලා මංගල්‍යය

සත්කෝරළයේ පැවැත්වෙන ප්‍රමුඛතම බෞද්ධ සංස්කෘතික මහා කලා මංගල්‍යය ලෙස සැලකිය හැකි කුලියාපිටිය ඇස්සැද්දුම දුරුතු මහා පෙරහර ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරස්ථානය මූලිකව සංවිධානය කෙරෙයි. මෙවර ජනවාරි 29 වනදා එය පැවැත්වෙන්නේ විසි එක් වැනි වරටයි. සිය වසකට පමණ ඉහත ආරම්භ කෙරුණ මෙම විහාරස්ථානයේ මුල්ම විහාරාධිපති ධුරය දැරූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මහාචාර්ය කබලෑවේ පියභාරතී නා හිමියන්ගේ අදහසකට අනුව 1993 දී සංඝමිත්තා පෙරහර නමින් එය ආරම්භ කෙරිණ.

මේ වන විට මෙම දුරුතු මහා පෙරහර රජයේ අංක, 1658 දරන ගැසට්පත්‍රයේ ලියාපදිංචි සත්කෝරළයේ ප්‍රධානම පෙරහර බවට පත්ව තිබීම අපගේ සතුටට හේතුවෙයි. මේ සඳහා විවිධාකාරයෙන් දායක වූ පිරිස බොහෝ වේ. මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ තුමා, ඇතුළු ප්‍රදේශයේ ගරුතර මහා සංඝරත්නය ද, විවිධ නිලතල දරන පින්වතුන් ද නිරතුරුව ලබාදෙන අනුග්‍රහය පුණ්‍යානුමෝදනා පූර්වකව සඳහන් කරමි.

පක්ෂ විපක්ෂ දේශපාලන මැති ඇමැතිතුමන්ලා ද, පෙරහර කමිටුව, දායක සභාව ඇතුළු ගිහි පින්වත් සැමට ඔවුන් ගේ සහයෝගය වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරමි.


සත්කෝරළයට ආලෝකයක්

කුලියාපිටිය – ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරස්ථානය මඟින් වාර්ෂිකව පැවැත්වෙන පෙරහර මංගල්‍යය පිළිබඳව ශුභාශිංසන එක් කිරීමට ලැබීම මහත් භාග්‍යයක් කොට සලකමි.

බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනය සිහිකරමින් කෙරෙන මේ උතුම් බෞද්ධ සංස්කෘතික කලා මංගල්‍යය සත්කෝරළයටම ආලෝකයකි. අපේ සාම්ප්‍රදායික කලා ශිල්ප ආරක්ෂා කර ගනිමින් අනාගතයට රැගෙන යන මේ මහා සංස්කෘතික උරුමයන්හි වැදගත්කම අවබෝධකර ගත් විහාරාධිපති හිමියන් ඇතුළු සංවිධායක පිරිසක් සිටීම මුළු මහත් ජාතියටම වාසනාවකි.

උගත්, සැදැහැවත්, කාරයශූර යතිවරයාණන් වහන්සේ නමක ලෙස මා හොඳින් දැන හඳුනන විහාරාධිපති, ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරති හිමිපාණන් වහන්සේ ප්‍රමුඛව, මේ සඳහා නන් අයුරින් දායකත්වය සපයන පැවිදි මෙන්ම ගිහි පින්වතුන් සැමගේ මේ මහඟු සද්කාර්යය ඉහළින් අගය කරමි. මේ උතුම් කාර්යයන්ගෙන් ආගමික සංහිඳියාව වඩාත් වර්ධනය වේවා!


ඉමහත් පැසසුමට ලක්ව පවතින්නකි

විසිවන වර්ෂ පූර්ණය සමරමින් මෙවරත් අති උත්කර්ෂවත්ව පවත්වන ලද කුලියාපිටිය දුරුතු මහා පෙරහර නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් සහ පෙරහර භාරකාර මණ්ඩලයේ ප්‍රධාන ගිහි අනුශාසකවරයා වශයෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරන්නේ හද පිරි සතුටිනි.

කුලියාපිටිය ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරති නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ විහාරස්ථ දායක සභාව ඇතුළු සියලු සංවිධානවල අනුග්‍රාහක දායකත්වයෙන් මෙම පෙරහර වසර 20 ක් පුරා අඛණ්ඩව පැවැත්වීම ප්‍රදේශවාසී බෞද්ධ ජනතාව අතර ඉමහත් පැසසුමට ලක්ව පවතින්නකි. ආරම්භක වකවානුවේ සිට මෙහි අනුශාසක මණ්ඩලයේ කටයුතු කළ අයෙකු වශයෙන්, මගේ දිස්ත්‍රික්කයේ මගේ ප්‍රදේශයේ පැවැත්වෙන මෙම සුවිශේෂි පෙරහර මා කවදත් නරඹන්නට පි‍්‍රය කළ එකක් වන අතර, මෙය ප්‍රදේශවාසීන්ගේ සාමුහිකත්වය, සංවිධාන ශක්තිය, සෞන්දර්යාත්මක හැකියාවන් එළිදැක්වෙන කදිම අවස්ථාවක් ද වෙයි.

වසර විස්සක් පුරා අඛණ්ඩව පවත්වන ලද මෙම පෙරහර මංගල්‍යය ඉදිරි වසරේදීත් සාර්ථකව පැවැත්වීමට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා!


ආගමික ප්‍රබෝධයට හේතුවක්

වසර විස්සක සිට අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන කුලියාපිටිය දුරුතු මහා පෙරහර ප්‍රදේශයේ බෞද්ධාගමික ප්‍රබෝධයට ඉතාමත් පිටුවහලක් බව මා ඉතා හොඳින් දනිමි. මම ද වාර්ෂිකව මෙම පෙරහරට සහභාගි වන අතර, මෙම පුණ්‍ය භූමිය මාගේ දායකත්වය ඇති විහාරස්ථානයකි.

මහාචාර්ය කබලෑවේ පියභාරතී අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු වර්තමාන විහාරාධිපති ධුරය හොබවන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති සංවර්ධන සභාවේ ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරතී ස්වාමීන් වහන්සේ විසින් අනුනාහිමියන්ගේ ශාසන මෙහෙවරේ මංපෙත් තව තවත් පුළුල් කරමින් සිය ශාසනික කාර්ය භාරය අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳ වයඹ සමස්ත බෞද්ධ ජනතාවගේ කෘතවේදීත්වය සහ ගරුත්වය පෙරහර ප්‍රධාන අනුශාසක විහාරාධිපති ස්වාමීන් වහන්සේට හිමි විය යුතු ය.

 


කලා මංගල්‍යයක්

කබලෑවේ පියභාරතී අනු නා හිමිපාණන් වහන්සේගේ සංකල්පයක් මත, ආරම්භ කරන ලද මෙම පෙරහර, වත්මන් විහාරාධිපති ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරතී හිමිපාණන් වහන්සේගේ සුවිශේෂී කැපවීම හා අනුශාසකත්වය තුළ මෙවන් කලාමංගල්‍යයක් ලෙස සංවර්ධනය කිරීම ඉතා ප්‍රසංසනීය කටයුත්තකි.

එමෙන්ම සියලු ජාති, ආගම් භේදයකින් තොරව මේ සඳහා සහාය දැක්වීම අප ලද විශාල භාග්‍යයකි. විශේෂයෙන්ම දේශපාලන පක්ෂ භේදයකින් තොර සෑම දේශපාලන නායකයින් වගේම මේ සඳහා මාධ්‍ය දායකත්වය හා මූල්‍ය දායකත්වය සඳහා රාජ්‍ය අනුග්‍රහකත්වය ලබා දීම සඳහා කටයුතු කළ පෙරහර කමිටුවේ අනුශාසකවරයෙකු වන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා පිළිබඳව විශේෂයෙන්ම සිහිපත් කරමි.

 

 දුරුතු අව අටවක පෝය

  දුරුතු අව අටවක පෝය ජනවාරි 31 වැනිදා ඉරිදා අපරභාග 07.43 ට ලබයි. 01 වැනිදා සඳුදා අපරභාග 10.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 01 වැනිදා සඳුදාය. මීළඟ පෝය පෙබරවාරි 08 වැනිදා සඳුදා ය.

 මීළඟ පෝය පෙබරවාරි 08 වැනිදා සඳුදා ය. 
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 01

Full Moonඅමාවක

පෙබරවාරි 08

First Quarterපුර අටවක

පෙබරවාරි 15

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]