Print this Article


ධර්ම විජය පදනමෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් 75 කට ශිෂ්‍යත්ව ප්‍රදානය

ධර්ම විජය පදනමෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් 75 කට ශිෂ්‍යත්ව ප්‍රදානය

ධර්මවිජය පදනමේ අධ්‍යාපන සංවර්ධන වැඩ පිළිවෙළ යටතේ පදනමේ නිර්මාතෘ අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහානායක හිමියන් විසින් 1985 වසරේ ආරම්භ කරන ලද ශිෂ්‍යත්ව ප්‍රදානයට මෙම වසරේදී වසර 31 ක් සපිරේ.

අඛණ්ඩව සිදුකරන මෙම සත්කාරය යටතේ මේ වන විට විවිධ විශ්වවිද්‍යාලවලට අයත් ශිෂ්‍යයින් 1450 කට අධික පිරිසකට ශිෂ්‍යත්ව ප්‍රදානය කර ඇත. මින් 95% ක් පමණ වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ය.

ශිෂ්‍යත්ව ලබා දීමේදී ශිෂ්‍යයාගේ අධ්‍යාපනික පසුබිමට වැඩි අවධානයක් යොමු කරන අතර දහම් පාසල් අධ්‍යාපනය ලබා තිබීම පිළිබඳව විශේෂයෙන් සළකා බලයි. සිසුන් තෝරා ගැනීමේ දී දුෂ්කර ප්‍රදේශවල සිසුන්ට ප්‍රමුඛත්වයක් දෙනු ලැබේ. ශිෂ්‍යත්ව සඳහා නාම යෝජනා ගනු ලබන්නේ දිවයිනේ විහාරස්ථාන 458 ක ස්ථාපනය කර ඇති ධර්මවිජය සමාජ හා විශ්වවිද්‍යාලයන් මඟිනි. මෙම ශිෂ්‍යත්ව ලබා දෙනු ලබන්නේ පරිත්‍යාගශීලීන් විසින් එම ආයතනයේ පිහිටුවා ඇති භාර අරමුදල් ආයෝජනය කරමින් ලැබෙන පොලී මුදලින් හා කැපකරු පරිත්‍යාග වලිනි.

මෙම වැඩසටහන පිළිබඳව දැනගත් පරිත්‍යාගශීලීන් විසින් පදනමේ ලේඛනයෙන් පෞද්ගලිකව තෝරා ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කැපකරු පරිත්‍යාග ක්‍රමය යටතේ ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්පූර්ණ වනතුරු මෙම ශිෂ්‍යත්වය මාසිකව ප්‍රදානය කරනු ඇත. මෙම වසරේ ශිෂ්‍යත්ව ප්‍රදානය මේ මස 30 වන සෙනසුරාදා දින පෙරවරු. 9.00 ට කොළඹ 07, බෞද්ධාලෝක මාවත, සරණ මාවතේ අංක 380/7 දරන ස්ථානයේ පිහිටි ධර්මවිජය පදනමේ දී පැවැත්වෙන අතර එදිනට එම සිසුන්ගේ අනුග්‍රාහකයින් සහ මව්පියන් ද සහභාගි වීමට නියමිතය.