Print this Article


අඹගහවත්තේ ඉන්ද්‍රාසභවර ඤාණසාමි මහා නාහිමි

පයාගල දූවේ මහා වෙහෙරින් ලොවට දායාද වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය

අඹගහවත්තේ ඉන්ද්‍රාසභවර ඤාණසාමි මහා නාහිමි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආදි කර්තෘන් වහන්සේ ලෙස ශාසන ඉතිහාසයට එක්වී ඇත්තේ ශාසනවංශ කවිධජ සිරි සද්ධම්මචරිය යති සංඝපති අතිගරු අඹගහවත්තේ ඉන්ද්‍රාසභවරඤාණසාමි මහානායක මාහිමිපාණන් වහන්සේය. ශ්‍රී බු.ව. 2407 වැන්නේ ඇසළ මස අව තුදුස්වක් නම් ලත් සඳු දින දක්ෂිණ ලංකාවේ ගාල්ලේ මහ මෝදර, ගිං ගඟ උදකුක්ඛේප සීමා මාලකයේ දී ප්‍රථම උපසම්පදාව සිදු කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපත සිදුවී ඇත.

තපෝ ගුණධාරි මහෝපාධ්‍යාය අතිපූජ්‍ය වරාපිටියේ සිරි සුමිත්ත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් ප්‍රථම උපසම්පදා විනය කර්මය සිදු වී ඇත. උන්වහන්සේ එදා සියම්දේශයේ (තායිලන්තයේ) අයෝධ්‍යා නුවර පවර නිමේෂ මහා විහාරාධිපති, පිටකත්‍රය, පාරදර්ශි අතිපූජනීය වජිරඤාණ සංඝරාජයන් වහන්සේ ප්‍රමුඛ ධම්මයුක්තික නිකායේ භික්ෂූන් වහන්සේගෙන් උපසම්පත්තිය ලබා එම සංඝ රාජයාණන් වහන්සේ ඇසුරෙහි පැවිදි වී කලක් සමාදන් වී සිටි මහ තෙර නමකි. ධූතාංගධාරි මහ තෙරනමක් වූ සුමිත්ත නාහිමිපාණන් වහන්සේ සංඝ රාජයාණන් වහන්සේ ළඟ සත් අවුරුද්දක් කල්ගෙවමින් ත්‍රිපිටක ධර්මය හදාරා ඇත. අනතුරුව උන්වහන්සේ සිරිලක්දිවට වැඩම කළ අතර, මාතලේ කූඹියන්ගොඩ විවේක සේනාසනයට වැඩමවා භාවානානුයෝගීව වැඩ වෙසෙමින් උදාර ශාසනික සේවාවක් ඉටුකරන ලදී.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ශ්‍රී ලංකාවේ නිකාය වංශ කතාවේ තුන්වැනි ස්ථානය උසුලයි. 1864 වර්ෂයේ දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපත සිදු වී ඇත. ථෙරවාදී ක්‍රමයට අනුව බිහිවී ඇති මේ සියලුම නිකායයන් තම සම්ප්‍රදායයන් ආරක්ෂා කරමින් උදාර ශාසනික සේවාවක් ඉටු කරති.

රාමඤ්ඤ වංශය බිහි වූ යුගය වන විට වාද විවාද අපමණ තිබුණි. උපසම්පදා වාද, සීමා වාද, දළ්හි කර්ම වාද, පාරුපන වාද, දුශ්ශීල වාද සහ නමස්කාර වාද ආදි නොයෙකුත් වාද විවාදයන් පැවැති වකවානුවක් විය.

අතිපූජ්‍ය අඹගහවත්තේ ඉන්ද්‍රාසභවරඤාණසාමි මහා නා හිමිපාණන් වහන්සේ තවත් පිරිසක් කැටුව 1860 ඔක්තෝබර් මස 10 වැනි දින බුරුම දේශය බලා වැඩම කළහ. බුරුම රට රතනාපුණ්ණ රාජධානියට වැඩමකළ උන්වහන්සේ එහි රජකළ මෙණ්ඩුන් මහ රජතුමාගේ ප්‍රධාන දායකත්වයෙන් හා එවකට බුරුම රට සංඝ රාජායාණන් වහන්සේ වූ ඤෙය්‍ය ධම්මාභිමුනිවර ඤාණකිත්ති සිරි පවර ධම්ම සේනාපති මහා ධම්මරාජාධිරාජගුරු සංඝ රාජයාණන් වහන්සේ ප්‍රමුඛ කොට ඇති ගරුතර මහා සංඝයා වහන්සේගෙන් අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලබා ගත්හ. බුරුම රට සංඝරාජයන් වහන්සේ වෙතින්ම ත්‍රිපිටක ධර්මය හැදෑරූ උන්වහන්සේ රාමඤ්ඤ දේශයේ හංසාවති නුවරට පැමිණ කළ්‍යාණි සීමා මාලකයේ දී සද්ධම්මවර මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ ආරණ්‍යවාසි සංඝයා වහන්සේ වෙතින් දළ්හීකර්මෝපසම්පත්තිය ද ලබා ගැනීමෙන් අනතුරුව උදාර ශාසනික අභිප්‍රායයන් පෙරදැරිව සිරිලකට වැඩම කරන ලදී. රාමඤ්ඤ මහා නිකාය පිහිටුවීමෙන් අනතුරුව තම ප්‍රතිපදාවන්ට බොහෝ සේ නැඹුරු වු රාමඤ්ඤ මහා නිකායේ පැවිදි උපසම්පදාව ලබා ගත්හ.

දක්ෂිණ දේශයේ වැඩ විසූ පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද නාහිමි, මාතලේ ප්‍රදේශයේ වැඩ විසූ වරාපිටියේ සුමිත්ත නාහිමි සහ උඩුනුවර ගල්ලැන්ගොල්ල ප්‍රදේශයේ වැඩ විසූ වැලිගමුවේ අත්ථදස්සි නාහිමි යන මහතෙරුන් වහන්සේලාගෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ව්‍යාප්තිය පිණිස සිදු වූ සේවය අමතක නොකළ යුතුය. උන්වහන්සේලා තුන් නම වටා ආරණ්‍යවාසි භික්ෂූන් විශාල පිරිසක් භාවනානුයෝගීව බණ දහම් ඉගෙන ගනිමින් වැඩ විසූහ. පුවක්දණ්ඩාවේ නාහිමි, වරාපිටියේ නාහිමි සහ වැලිගමුවේ අත්ථදස්සි නාහිමිපාණන් වහන්සේලා රාමඤ්ඤ මහා නිකායේ පැවිදි උපසම්පදාව ලබාගැනීමෙන් අනතුරුව රාමඤ්ඤ නිකායේ විශාල ව්‍යාප්තියක් සිදුවිය.

පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද නාහිමි, දීපේගොඩ සීලක්ඛන්ධ නාහිමි, බැදිගම ධම්මානන්ද සෝභිත නාහිමි, පැල්පොල ධම්මදස්සි නාහිමි ඇතුළු ස්වාමීන්ද්‍රයන් වහන්සේලා 24 නමක් 1864 ජුනි 12 වැනි දින, ගාල්ල මහමෝදර ගිං ගඟ උදකුක්ඛේප සීමා මාලකයේ දී පැවති ප්‍රථම උපසම්පදාව විනයකර්මයට සහභාගි වූහ. එදා ගිං ගඟ ඉදිකළ ‘ඤෙය්‍ය ධම්ම මුණිවර මංගල සංඝරාජ” සීමා මාලකයේ දී උඩුගල්මොටේ ගුණතිස්ස හිමියන් උපසම්පදා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ශී‍්‍ර ලංකාවේ ආරම්භ විය.

අතිපූජ්‍ය අඹගහවත්තේ ඉන්දාසභවරඤාණසාමි මහා නා හිමිපාණන් වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ප්‍රථම මහානායක පදවියට පත් වූහ. උන්වහන්සේ වෙනුවෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, දූවේ ආරම්භ කරන ලද රාමඤ්ඤ නිකායේ මූල මහා විහාරයෙහි වැඩ විසූහ. ප්‍රතිපත්ති ගරුකවම නිකාය පාලනය කළ උන්වහන්සේ එදා දිවයිනේ වැඩ සිටි අග්‍රගණ්‍ය වූ ශ්‍රේෂ්ඨ පඬි රුවනක් වූහ. අඹගහවත්තේ නාහිමියෝ 1886 ජනවාරි මස 29 වැනි දින අපවත් වී වදාළහ.

අඹගහවත්තේ ඉන්දාසහවරඤාණසාමි මහා නාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් පසු නිකාය පාලනය සඳහා දීපේගොඩ සද්ධම්මවර ජෝතිපාල සිලක්ඛන්ධාභිධාන නාහිමිපාණන් වහන්සේ මහා නායක පදවියට පත්කර ගන්නා ලදී. පුරා 30 වසරක් පමණ මහා නායක පදවිය හෙබැවූ උන්වහන්සේ අපවත් වී වදාළේ 1916 ජුනි මස 03 වැනි දින දීය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ තෙවැනි මහා නායක පදවියට පත් වූයේ අතිපූජ්‍ය ඕබඩකන්දේ ශාසනසෝභන විමලානන්දතිස්ස නාහිමිපාණන් වහන්සේයි. පුරා 7 වසරක් පමණ උදාර ශාසනික සේවාවක් ඉටුකළ උන්වහන්සේ 1924 සැප්තැම්බර් මස 28 වැනි දින අපවත් වී වදාළහ.

ඕබඩකන්දේ මහ නාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ රාමඤ්ඤ මහා නිකායේ මහා නායක පදවියට සිරි සද්ධම්මාචරිය අතිපූජ්‍ය මාතර ඤාණින්දාසභ නාහිමිපාණන් වහන්සේ පත් වූහ. වසර 13 ක පමණ කාලයත් රාමඤ්ඤ මහා නිකායේ මහානායක ධුරය හොබවමින් උදාර ශාසනික සේවාවක් ඉටු කළ උන්වහන්සේ 1937 ජුනි 30 වැනි දින අපවත් වී වදාළහ.

එයින් පසු ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය ශාසනවංශ කවිධජ අතිපූජ්‍ය කෝදාගොඩ උපසේන මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පස්වැනි මහානායක පදවියට පත් වූහ. ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාගේ සභාපතිත්වයෙන් රාමඤ්ඤ නිකායාරක්ෂක සභාව බිහිවීම මෙම වකවානුවේදී සිදු වූ වැදගත්ම සිදුවීමකි.

අපරිමිත සේවාවක් ඉටුකළ අතිපූජ්‍ය කෝදාගොඩ උපසේන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1939 ජූලි මස 24 වැනි දින අපවත් වී වදාළහ. ධර්මධර, විනයධර මෙන්ම සුපේශල ශික්ෂාකාමී මහ තෙරනමක් වූ අතිපූජ්‍ය පණ්ඩිතාචාර්ය මාතලේ සිරි ධම්මසිද්ධි මහ නාහිමිපාණන් වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 6 වැනි මහානායක පදවියට පත් වූයේ ඉන් අනතුරුවය. රාමඤ්ඤ නිකාය ඉතිහාසය අනුව බලන විට උන්වහන්සේගේ පාලන කාලය වර්ෂයකටත් වඩා අඩු බව සඳහන් වේ. 1940 වර්ෂයේ ම දෙසැම්බර් මස 7 වැනි දින උන්වහන්සේ අපවත් වී වදාළහ.

නිට්ටඹුවේ විද්‍යානන්ද පරිවේණස්ථානය අග්‍රගණ්‍ය විද්‍යාස්ථානයක් බවට පත් කරමින් උගතුන් වියතුන් මෙන්ම පඬුවන් රැසක් රටට දායාද කිරීමට උන්වහන්සේ සමත් වූහ. මාතලේ සිරි ධම්මසිද්ධි මහා නාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ මහා නායක පදවියේ වැඩ බැලීම සඳහා අතිපූජ්‍ය කරතොට සිරි ඉන්දසාරතිස්සාභිධාන මහ ස්වාමීන්ද්‍රයන් වහන්සේ පත් කර ගන්නා ලදී. උන්වහන්සේ 1945 ජූලි මස 20 වැනි දින දක්වා ම නිකායේ වැඩ බලන මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ලෙස ක්‍රියා කළහ.

එතෙක් රාමඤ්ඤ මහා නිකායේ මහනායක පදවිය ඉසිලූ කරතොට මහා නායක මාහිමිපාණන් වහන්සේ 1954 නොවැම්බර් මස 14 වැනි දින අපවත් වී වදාළ සේක. ඒ හේතුව නිසා පුරප්පාඩු වූ මහානායක පදවියට පණ්ඩිතාචාර්ය අතිගරු හිස්සැල්ලේ ශ්‍රී ඤාණෝදය මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ පත් කරගන්නා ලදී. වසර දෙකක් පමණ වැඩ බලන මහානායක පදවිය හෙබැවූ උන්වහන්සේ 1956 මැයි මස 15 වැනි දින නිකායේ මහානායක පදවියට පත් වූහ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 08 වැනි මහානායක මාහිමිපාණන් වහන්සේ ලෙස උන්වහන්සේගේ නම ශාසන ඉතිහාසයට ද එක් වී ඇත.

අතිපූජ්‍ය අඹගහවත්තේ ඉන්දාසභවරඤාණසාමි මාහිමිපාණන් වහන්සේ විසින් රාමඤ්ඤ නිකාය ආරම්භ කොට සියක් වසරක් ගතවීමේ ශත සංවත්සර මහෝත්සවය පවත්වන ලද්දේ අතිපූජ්‍ය හිස්සැල්ලේ ශ්‍රී ඤාණෝදය මහා නාහිමිපාණන් වහන්සේගේ පාලන කාල වකවානුවේදීය. බුරුම රජයෙන් අග්ග මහා පණ්ඩිත ගෞරව උපාධියෙන් පිදුම් ලැබූ හිස්සැල්ලේ ශ්‍රී ඤාණෝදය මාහිමිපාණන් වහන්සේ 1966 ඔක්තෝම්බර් මස 13 වැනි දින අපවත් වී වදාළහ.

අතිපූජ්‍ය චන්ද්‍රකීර්ති ශ්‍රී දීපේගොඩ සිරි චන්දවිමල නාහිමිපාණන් වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 09 වැනි මහානායක පදවියට පත්වූහ. නමුත් මහානායක පදවිය සඳහා ස්ථිරව පත්කරන ලද්දේ 1968 පෙබරවාරි මස 20 වැනිදා වේ. “ශාසනධජ සිරි සීලක්ඛන්ධ සද්ධම්මවර ජෝතිපාල චන්දකිත්ති ශ්‍රී “ යන සම්මානෝපාධියෙන් ද උන්වහන්සේ පිදුම්ලැබූ අතර, අවුරුදු දහයක් නිකායේ මහානායක පදවිය ඉසිලූහ.

කොල්ලුපිටියේ ධර්ම කීර්ත්‍යාරාම විහාරාධිපතිව වැඩ විසූ (වත්මන් රාජකීය විහාරය) අතිගරු ඉඳුරුවේ උත්තරානන්දාභිධාන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 10 වැනි මහානායක පදවියෙන් පිදුම් ලැබූහ. එවකට වැඩ සිටි අග්‍රගණ්‍ය පඬිරුවනක් ලෙස උන්වහන්සේ හඳුන්වා දිය හැකිය. වසර 10 ක පමණ කාලයක් උන්වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක පදවියේ කටයුතු කළහ. 1986 මාර්තු 15 වැනි දින ඉඳුරුවේ මහ නාහිමිපාණන් අපවත් වී වදාළහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 11 වැනි මහානායක මාහිමියන් ලෙස ශාසන ඉතිහාසයට එක් වූයේ අතිපූජ්‍ය පොත්තේවෙල පඤ්ඤාසාරාභිධාන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේය. පොත්තේවෙල මහ නාහිමියෝ වසර 11ක පමණ කාලයක් මහානායක පදවිය හෙබැවූ අතර, උන්වහන්සේ 1997 දෙසැම්බර් මස 29 වැනි දින අපවත් වී වදාළහ.

රාමඤ්ඤ මහා නිකායේ 12 වැනි මහානායක පදවියන් පිදුම් ලැබුවේ මීරිගම ශාසනවර්ධන පිරිවෙන් විහාරාධිපති අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාරාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේය. 13 වැනි මහානායක තනතුර වර්තමානයේ හොබවන්නේ නාපාන පේමසිරි මහානායක ස්වාමින් වහන්සේය.

වනවාසී මෙන්ම ආරණ්‍යවාසී සෙනසුන්වල වැඩසිටි වනවාසි සංඝ පරම්පරාව නියෝජනය කරන භික්ෂූන් වහන්සේලා සමථ හා විදර්ශනා ධුරයන්හි නියුක්ත වෙමින් උසස් ශාසනික සේවයක් ඉටුකරති. රට පුරා විසිරී ඇති ආරණ්‍ය සේනාසන” කළ්‍යාණි යෝගාශ්‍රම, සංස්ථාව“ නමින් ඒකරාශි වී රාමඤ්ඤ නිකාය හා එක්ව උසස් ශාසනික සේවාවක් ඉටුකරති. කහව, ගල්දූවේ, ගුණවර්ධන යෝගාශ්‍රමය, කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ මූලස්ථානය වන අතර එම යෝගාශ්‍රම සංස්ථාවේ මූලස්ථානයක් ලෙස මීතිරිගල වන සෙනසුන ද සඳහන් කළ හැකිය.

සියයකට අධික ආරණ්‍ය සේනාසන සංඛ්‍යාවක් මීට ඇතුළත් වන අතර, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය එකී යෝගාශ්‍රම, සංස්ථාවේ ප්‍රධානත්වය ගෙන කටයුතු කරන ස්වාමීන් වහන්සේට මහෝපාධ්‍යාය පදවියක් පිරිනමා තිබේ. බුරුම රජයෙන් “මහා කම්මට්ඨානාචාර්ය” ගෞරව උපාධියකින් පුදනු ලැබූ අතිගරු පූජ්‍යපාද නාඋයනේ අරියධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ දැනට මෙම සඟ පිරිසේ නායකත්වය ගෙන කටයුතු කරති.

දැනට මහ නා හිමි, අනුනාහිමිවරුන් 6 නමක්, අධිකරණ නා හිමි හා මහෝපාධ්‍යාය ස්වාමීන්ද්‍රයන් වහන්සේලා 15 නමකගෙන් සමන්විත වු යාවජීව පාලන මණ්ඩලයකින් නිකාය පාලනය වේ. මහා ලේඛක, නියෝජ්‍ය මහා ලේඛක, අධිකරණ ලේඛක, නියෝජ්‍ය අධිකරණ ලේඛක, සඤ්ඤා ලේඛක, උප සඤ්ඤා ලේඛක, පරියත්ති, පටිපත්ති, නිකාය සංවර්ධන ,සමාජ සංවර්ධන යනුවෙන් කෘත්‍ය සම්පදා ද සභා හතරකින්ද ජ්‍යෙෂ්ඨානු විජ්ජක, උපරිමානුවිජ්ජක, දිසාපාලක ආදි තනතුරු කීපයකින් හා කාරක සංඝ සභාව, පාලක සංඝ සභාව, විශේෂාධිකාරි මණ්ඩලය ආදි වශයෙන් ඉතා ක්‍රමික පාලන ව්‍යුහයක් මෙම නිකාය තුළ දක්නට ලැබේ.