Print this Article


සිදුහත් කුමරු උපන් ලුම්බිනිය

බුදුපිළිමයේ උපත - 4

සිදුහත් කුමරු උපන් ලුම්බිනිය

බුදුරජාණන් වහන්සේ මහාපරිනිබ්බාන සූත්‍රයේදී දේශනා කළ පරිදි බෞද්ධයෙකු විසින් වැඳපුදා ගත යුතු පුදබිම් සතරක් පිළිබඳ සඳහන් වේ. ඒ පුද බිම් සතරනම් සිද්ධාර්ථ කුමාරයා උපත ලද ලුම්බිනි සල් උයන සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත් වූ බුද්ධගයාව, බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය වූ ධම්මචක්කපවත්තන සූත්‍රය පස්වග මහණුන් වහන්සේලාට දේශනා කළ ඉසිපතනාරාමයේ සාරානාත් පුදබිම සහ බුද්ධත්වය ලබා වසර 45 ලෝක සත්වයාගේ හිතසුව පිණිස ධර්මය දේශනා කළ බුදුරජාණන් වහන්සේ අසූ වියේ දී පිරිනිවන් පෑ කුසිනාරා නුවරය. එදා ජම්බුද්වීපය ලෙසින් මේ පුද බිම් හතරම එකම රටකට අයත් වූව ද මෙකල සිදුහත් කුමරු උපන් ලුම්බිනියේ මහාමායා දේවි විහාරය පිහිටි පුදබිම නේපාලයට ද අනෙක් පුදබිම් තුනම මෙකල ඉන්දියාවට ද අයත් වේ.


සිදුහත් බෝසත් කුමරාට දෙවියන් නමස්කාර කිරීම සිරිපතුල් දෙක සිදුහත් කුමරු සංකේතවත් කරයි

දඹදිව සිව් මහ පුදබිම් - සිරිසමන් විජේතුංග පි. 10 (2011)

ලුම්බිනි උයන නේපාල දේශයේ බටහිර තෙරායි ප්‍රදේශයේ පිහිටා ඇත. සිදුහත් කුමරු එහි උපත ලැබීමට පෙර කාලයේ සිට ම මෙම ලුම්බිනි උයන කපිලවස්තු සහ දෙව්දහ වාසය කළ ජනතාවගේ විනෝද උයනක් ලෙසින් පැවතුණි. බෞද්ධ සාහිත්‍යයෙහි මෙම ලුම්බිනි වන උයන සඳහන්වන්නේ ‘ප්‍රාදිමෝක්ෂවන’ යන නාමයෙනි. එපමණක් ද නොව සල් ගසින් ද සපිරුණු මේ වන උයන අනේකවිද පුෂ්පයන්ගෙන් වහනය වන සුවඳින් ද මීමැසි සමනළ ආදීන්ගෙන් මෙන්ම කුරුළු කූජනයෙන් ද සමලංකෘත වූ මේ වන උයන දෙව්ලොව ඉන්ද්‍ර දෙවියන්ගේ ‘චිත්‍රලතා’උයන මෙන් යැයි සඳහන් වේ.

(ARCHAEOKOGICAL REMAINS OF KAPILAVASTU, LUMBINI AND DEVDAHA By BABA KRISHNA RIJAL – P 12 (1979) NEPAL

මෙම ලිපි පෙළ මගින් දඹදිව වන්දනාවේ යන සැදැහැවතුන්ට එම පුදබිම්වල ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක තොරතුරු ඉගෙනීමට සැලැස්වීම ද අපගේ එක් මූලික පරමාර්ථයක් වන්නේ ය.

කපිල වස්තු රාජ්‍යයේ කිඹුල්වත්පුර නුවර සිට දෙව්දහ පුරයට යන අතරමඟ ඉතාමත් අලංකාර වූ සල් උයන මහාමායා බිසව දුටුවාය. ඒ ලුම්බිනි සල් උයනය. එහි මදක් නැවතී සිට යාමට අවශ්‍ය බව මහාමායා දේවිය කියා සිටි නිසා ඒ සඳහා ඇයට අවස්ථාව සැලසුණි. මහාමායා දේවිය ඉතා ලස්සන පිපුණු සුවඳ හමන සල්මල්වලින් පිරුණු සල් ගසක් මුලට ගියේ එම සල් ගසේ පිපී තිබුණු සල් මලක් කඩා ගැනීමටය. ඒ සඳහා ඇය ගේ දකුණු අත ඔසවා සල් අත්ත ඇල්ලීමට උත්සාහ කළාය. එහිදීඅවස්ථාවේ දී සිදුහත් කුමරු උපත ලදහ.

ඒ අවස්ථාවේ දී පරිවාර කාන්තාවෝ වට තිර ඇද සැරසූහ. මහා ප්‍රජාපතී දේවිය විසින් සිදුහත් කුමරු අසල ඇති පොකුණෙන් නාවා පිරිසුදු කර අවසන්වීමත් සමගම මහ බෝසතාණන් වහන්සේ සත් පියවරක් ඉදිරියට ගමන් කළහ. ඒ අවස්ථාවේ දී පියුම් සතක් ඒ ඒ පියවර තැබීමට මහ පොළවෙන් මතුවිය. උතුරු දිසාවට ගමන් කරමින් මෙසේ පැවසූහ.

“මම ලොවට අග්‍රවෙමි. ජ්‍යෙෂ්ඨ වෙමි. ශ්‍රේෂ්ඨවෙමි. මේ මාගේ අන්තිම අත්භවයයි. මෙයට පසු මාගේ භවයෙහි උප්පත්තියක් නැත.”

මහාමායා බිසවට සිදුහත් කුමරු උපන්නේ මෙම සල්උයනේ සල් ගසක අත්තක් ඇල්ලීමට උත්සාහ කළ අවස්ථාවේදීය. ඒ සල් ගස මැදිකර ඒ කාලයේදීම දැව වලින් (ලීවලින්) වැටක් සාදා නිමකරන ලද විහාරය “මහාමායාදේවි විහාරයයි”. 2013 වර්ෂයේ දී පුරාවිද්‍යාඥයින් (බ්‍රිතාන්‍යයේ) විසින් පුරාවිද්‍යා කැණීම් සිදු කළේ මෙම ස්ථානයේය. එම බෝසත් උපත ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ දී සිදුවූ බව පුරාවිද්‍යාත්මකවද සනාථ වී ඇත. (සිදුහත් කුමරු උපන් මහාමායා දේවි විහාරය. ලුම්බිනි මහා මායාදේවි විහාරයේ පුරාවිද්‍යා කැණීම් ආශි‍්‍රතව ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක ගවේෂණයකි. සිරිසමන් විජේතුංග පි. 57 – 58 – 2014)

මෙහි පළවන බෝසතාණන් වහන්සේ ලුම්බිනි සල් උයනේ උපත ලබන අවස්ථාව (මෙකල පකිස්ථානයේ) ගන්ධාර කලාවට අයත් මූර්ති කැටයමයකි. සිදුහත් කුමරු මහාමායාදේවියගේ දකුණු ඇලයෙන් බිහිවන අන්දමත් මහාමායා දේවිය සල් අත්ත අල්ලාගෙන සිටින අයුරුත් මෙයින් නිරූපණය වේ. මෙය ගන්ධාර මූර්ති කලාවට අයත් බෝසතාණන් වහන්සේ උපත නිරූපණය කෙරෙන ක්‍රිස්තු වර්ෂ 2 වැනි සියවස අයත්වන මූර්ති කැටයමකි. ගන්ධාර බෞද්ධ කලාව බිහි වූයේ ගන්ධාරයේ නිසා ඊට ගන්ධාර බෞද්ධ කලාව යන නාමය භාවිතා කෙරේ. එකල රජ කළ ඉතා ප්‍රකට රජ වූයේ කණිෂ්ක රජුය. කුශාන රාජ වංශික කණිෂ්ක රාජයුගයේදීම තවත් පුදබිමක එනම් ගංගා, යමුනා ගංගාවන් දෙක හමුවන පුද බිම වූ මථුරා හිද ප්‍රථම වරට බුදුපිළිම නිර්මාණය වූ බව ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මහතා සඳහන් කරයි. (භාරත – ලංකා බෞද්ධ උරුමය - සිරිසමන් විජේතුංග - පි. 32 – 2006)

මෙහි පළවන අනෙක් ඡායාරූපය භාරුත් මූර්ති කැටයම් කලාවට අයත් වූවකි. මෙහි දැක්වෙන බෝසතාණන් වහන්සේගේ උපත සංකේතවත් කර ඇත්තේ සිරිපා දෙකක සටහනකිනි. මෙම මූර්ති කැටයමෙන් ප්‍රකාශ කෙරෙන්නේ දිව්‍ය ලෝකයෙහි දෙවියෙකු විසින් බෝසත් උපත අනෙකුත් දෙවියන්ට දන්වා සිටීම සහ ඒ දෙවිවරුන් තමන්ගේ පී‍්‍රතිය ප්‍රකාශ කිරීමය. ඒ අනුව මහා බ්‍රහ්මයා අනෙකුත් දෙවිවරුන් සමඟ පාද ලාංඡන දෙකකින් සංකේතවත් කරන අලුත උපන් බෝසතාණන් වහන්සේට නමස්කාර කරන ආකාරය වේ. බුදු පිළිම නිර්මාණයට පෙර බුදුරජාණන් වහන්සේ නිරූපණය සඳහා වජ්‍රාසනය (පීඨිකාව) සිරිපතුල් පූජාසනය භාරුත් මූර්ති කලාවෙන් නිරූපණය වන බව ආචාර්ය ආනන්ද කුමාරස්වාමි සඳහන් කරයි. නාගර්ජුන කොණ්ඩ පුදබිමේ මූර්තිවලින් ද සිදුහත් උපත නිරූපණය කර ඇත්තේ සාටකයකිනි.

පෙබරවාරි 08 වනදා දුරුතු අමාවක පෝදා පත්‍රයේ අසෝක අධිරාජයාගේ ලුම්බිනි රාජකීය වන්දනාව


පසුගිය සතියෙන් - බුදුපිළිමයේ උපත - 3 : අමරාවතී සම්ප්‍රදායට අයත් මූර්ති කැටයම්