Print this Article


හැත්තෑපස් වන වසර සපුරන පිළියන්දල තරුණ බෞද්ධ සමිතිය

හැත්තෑපස් වන වසර සපුරන පිළියන්දල තරුණ බෞද්ධ සමිතිය

බෞද්ධ ප්‍රබෝධය නංවාලීමේ අරමුණින් එදා සිටි ශ්‍රේෂ්ඨ ජන නායකයින් විසින් ආරම්භ කරන්නට යෙදුණු කොළඹ තරුණ බෞද්ධ සමිතිය සම්බුද්ධ සාසනයේ චිරස්ථිතියට මෙන්ම සමාජ සුබ සිද්ධියටද බෙහෙවින් උපකාරි වේ.



පිළියන්දල තරුණ බෞද්ධ සමිතියේ ආරම්භක සභාපති
එල්.ආර්. පෙරේරා
දාහත් වසරක් සභාපතිත්වය දරන ලද ඇල්.ඒ.ඒ. පෙරේරා පිළියන්දල තරුණ බෞද්ධ සමිති මන්දිරය පිහිටි භූමිභාගය පරිත්‍යාග කළ ඩී.එස්.ඩබ්ලිව්. සමරකෝන්

තරුණ බෞද්ධ සංකල්පය පිළිගත් රටපුරා අවශේෂ නගරවලද තරුණ බෞද්ධ සමිති පිහිටුවීමෙන් එම අදහස ව්‍යාප්ත විය. බෞද්ධ ප්‍රබෝධයෙන් උද්දාමයට පත් පිළියන්දල ප්‍රදේශවාසී තරුණ පිරිසක් කොළඹ තරුණ බෞද්ධ සමිතිය ආදර්ශයට ගනිමින් පිළියන්දල නගරයේද තරුණ බෞද්ධ සමිතියක් පිහිටුවීමට උත්සුක වූහ.

තුම්බෝවිල ධර්මශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරාධිපතිව වැඩ විසූ නාවින්නේ ශ්‍රී දේවානන්ද නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ ධර්ම ශාලාවේදී 1941 ජනවාරි 19 වනදා ප්‍රථම සභා රැස්වීම පවත්වා පිළියන්දල තරුණ බෞද්ධ සමිතිය ආරම්භ කරන ලදී. එහි ප්‍රථම සභාපති ලෙස ඇල්.ආර්. පෙරේරා මහතා පත්විය. ලේකම් ධුරයට ආර්.ඩී. ලංකාතිලක මහතාද භාණ්ඩාගාරික ධුරයට ඩී.ඩී. කුරුප්පු මහතාද පත්වූහ.

“උත්තිට්ඨෙන පමජ්ජථ” (නැගිටිව් පමානොවව්!) යන ආදර්ශ පාඨය අනුව යමින් සමාජ මෙහෙවරෙහි යෙදුණු පිළියන්දල තරුණ බෞද්ධ සමිතිය වටා ප්‍රදේශයේ තරුණ පිරිස් සාමාජිකත්වය ලබාගැනීමට ඉදිරිපත් වූහ.ආරම්භයේ සමිතිය සතු නිවහනක් නොතිබුණි. බෞද්ධ සමිතියේ සමාජ කටයුතු කෙරෙහි ප්‍රසාදයට පත් වෑවල විසූ ඩී.එස්. ඩබ්ලිව්. සමරකෝන් මැතිතුමා තම සකල බූදලය මහා භාරකාර දෙපාර්තමේන්තුවට පවරා පිළියන්දල නගර මධ්‍යයේ පිහිටි නිවස සහ භූමිභාග මෙම තරුණ බෞද්ධ සමිතිය වෙත පරිත්‍යාග කරන ලදී. ඒ අනුව එම ස්ථානය කේන්ද්‍රකොටගෙන ආගමික, සමාජ සේවා, අධ්‍යාපන හා සංස්කෘතික ක්‍රීඩා හා සෞඛ්‍ය සංරක්ෂණ , ඉදිකිරීම් හා නඩත්තු යන අංශ පහකින් සමන්විතව තරුණ බෞද්ධ සමිතියේ සේවා කටයුතු සිදු කෙරිණි.

සමිතියේ ස්ථාවර පදනම හා නව සමිති ශාලාව ඉදිකිරීම

පිළියන්දල තරුණ බෞද්ධ සමිතියේ වර්තමාන සභාපති ජිනේන්ද්‍රදාස ද කෝස්තා

තරුණ බෞද්ධ සමිතිය 1977 ජනවාරි මස 19 දින රජය පිළිගත් ස්ථාවර ආයතනයක් මෙන්ම 1977 මාර්තු 16 දින රජය පිළිගත් පුණ්‍ය ආයතනයක් ලෙසද ස්ථාපිත විය. ඩී.එස්. ඩබ්ලිව්. සමරකෝන් මහතා පරිත්‍යාග කළ භූමිභාගය තුළ දෙමහල් සමිතිශාලා ගොඩනැගිල්ලක්, ඉදිකිරීමේ මුල්ගල තැබීම 1979 ජූලි 18 දින සිදුවිණි. සමිතියේ ජීවනාලිය ලෙස කටයුතු කරමින් දාහත් වසරක් සභාපති ධුරය හෙබවූ ඇල්.ඒ.ඒ. පෙරේරා මහතාගේ අප්‍රතිහත ධෙර්යයත් ක්‍රියාශූරත්වයත් නිසාම පිළියන්දල නගර මධ්‍යයේ බෞද්ධ මධ්‍යස්ථානයක් සහිත ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීම් සිහිනය සැබෑ විය. නව ගොඩනැගිල්ල විවෘත කිරීම අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසිහ මහා නා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් 1985 මාර්තු 24 දින එනම් සමිතිය ආරම්භකොට සිව්සාලිස් වසක් ගිය තැනදී සිදුකෙරිණි.

අධ්‍යාපන ශිෂ්‍යත්ව මුදල් ප්‍රදානයන්

දහහත් වසරක් සභාපතිත්වය ඉසිලූ එල්.ඒ.ඒ. පෙරේරා මහත්මා සිය ධනධාන්‍යයෙන් ආරම්භ කළ “එල්.ඒ.ඒ. පෙරේරා භාරය” මඟින් වාර්ෂිකව ශිෂ්‍යත්ව මුදල් ප්‍රදානය කිරීම සිදුවිණි. එයට සමගාමීව ගිහිපැවිදි වියත් පඬිවරුන්ගේ දේශන සහ එම දේශන ඇතුළත් මුද්‍රිත පුස්තක නිකුත්කිරීම විශේෂ තැනක් ගැනුණි. වර්තමාන සභාපති ඇම්. ජිනේන්ද්‍රදාස ද කොස්තා මහතා තම ධන පරිත්‍යාගයෙන් ආරම්භ කළ “පවුලිස් ද කොස්තා භාරය” සමඟ “ඩී.පී.ආර්.ජයසිංහ භාරය” එල්.ඩී. එච්. ජයතුංග භාරය ,ආර්.පී.ඩී. සෝමා උඩවත්ත භාරය සෝමවීර චන්ද්‍රසිරි අනුස්මරණ, බී.එස්. එම්. ගමගේ අනුස්මරණ , කේ.ඩී. එල්. පෙරේරා අනුස්මරණ සහ වරින්වර ත්‍යාගශීලින් ලබාදෙන මුදල් ආධාර මත පිරිනමන ශිෂ්‍යත්ව ප්‍රදේශයේ අධ්‍යාපනය ලබන දක්ෂ සිසුන් උදෙසා තරුණ බෞද්ධ සමිතිය වෙතින් ඉටුකෙරෙන අනුග්‍රහයක් ලෙසින් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.

තරුණ බෞද්ධ සමිති දහම් පාසල

1951 පෙබරවාරි 27 දින තුම්බෝවිල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානයේදී ආරම්භ කිරීම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ එවක සභාපතිවරයාණන් වූ මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමන් අතින් දහම් අත්පොත් තබා දරුවෙකු ඇතුළු කිරීමෙන් සිදුවිය. දහම් පාසල ආරම්භයේ සිටම හතළිස් වසරක් තුළ මහඟු සේවාවක් සිදුකළ ජේමිස් කටුවාවල මහතා ප්‍රථම ප්‍රධානාචාර්යවරයා විය. එවකට ප්‍රදේශයේ දහම් පාසල් බහුලව නොතිබු අවදියක තවත් ගුරුභවතුන්ගේද සහාය ලබාගනිමින් දරුවන්ට දහම් අධ්‍යාපනය ලබාදීමට කටයුතු සම්පාදනය විණි. දහම් දැනුම මෙන්ම සුචරිත වර්ධනයෙන් යුක්ත විශාල සිසු පරපුරක් ප්‍රදේශයට බිහිකළ ඩී.බී. දුලියානා ඉස්කෝලේ හාමිනේ එවකට දහම් පාසලේ ස්වර්ණමය යුගය ඇතිකළ ගුරුමෑණියන් වූහ. තුම්බෝවිල සුදස්සන විහාරාධිපති හිමිපාණෝ දහම් පාසල ආරම්භ කිරීමට අනුශාසකත්වය දරමින් විහාරස්ථානය ඒ සඳහා අවශ්‍ය ඉඩපහසුකම් ලබාදීමට කටයුතු කළහ. අනතුරුව තත් විහාරාධිපති ධුරයට පත් වේරහැර නන්දසාර හිමිපාණන්ද පෙතිගමුවේ රාහුල හිමිපාණන්ද මෙම දහම් පාසලේ අනුශාසකත්වය දරමින් කටයුතු කළෝය.

තරුණ බෞද්ධ සමිති දහම් පාසලේ ප්‍රධානාචාර්යධුරය හෙබවූ චාල්ස් විතාන ගමගේ, දයාරත්න නවගමුව, ඒ.ජී.ඇම් ද සිල්වා ,ජී.ඩී.යහෝනිස්, සරත් විජයවර්ධන හා ඩී.එච්. සිරිබද්දන යන මහත්වරුන්ද නියෝජ්‍ය විදුහල්පතිනි ඥාණාකටුවාවල මහත්මියද දහම් පාසලේ අභිවෘද්ධිය උදෙසා මහත් සේවයක් සලසන ලද අය වෙති.

1951 ආරම්භ කළ බෞද්ධ සමිතියේ දහම් පාසල 2011 තෙක් පුරා හැට වසරක් ගිය තැන විහාරාධිපති හිමිපාණන්ට දහම් පාසලේ පාලනය හා භාරකාරත්වය පවරාදීමට කටයුතු කෙරිණ.

ශ්‍රීමත් බාරොන් ජයතිලක පුස්තකාලය

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ එවක සභාපතිව සිටි සහ මෙම සමිතියේ අනුශාසකව සිටි ස්වදේශ කටයුතු අමාත්‍ය ශ්‍රීමත් බාරොන් ජයතිලක මහතා නමින් 1947 අපේ‍්‍රල් 27 දින සමිතියේ පුස්තකාලය විවෘත කරන්නට යෙදුණි. එම පුස්තකාලය ඉතා දුර්ලභ ගණයේ පොත් රැසක් සහිත බෞද්ධ පොතපතින් යුක්ත වේ. මේ දක්වා පරිත්‍යාගශීලින්ගෙන් ලැබුණ විවිධ ගණයේ පොත්පත් සඟරා රාශියක් මෙහි සුරක්ෂිතව පවතී. සාමජිකයන්ගේ දැනුම වර්ධනය කර ගැනීම පිණිස මේ පොතපත පරිශීලනයෙන් අවශ්‍ය ප්‍රයෝජන ලබාගත හැකිව තිබේ.

පිළියන්දල බෞද්ධ කාන්තා සංවිධානය

පිළියන්දල තරුණ බෞද්ධ සමිතියේ මඟ පෙන්වීම හා අනුග්‍රහය පරිදි කාන්තා පාර්ශවයටද ආගමික හා සාමාජික සේවාවන්හි යෙදීමේ අවස්ථා සලසමින් 1995 මැයි 06 දින පිළියන්දල බෞද්ධ කාන්තා සංවිධානය ආරම්භ කරන ලදී. එම සංවිධානය 2002 අගෝස්තු 04 දින සිට නව ප්‍රතිසංවිධානයකින් යුක්තව ක්‍රියාත්මකවෙමින් පවතින්නේ ප්‍රදේශයේත් තදාසන්නවත් මහත් උද්යෝගයෙන් හා කැපවීමෙන් යුක්ත කාර්යභාරයක් ඉටුකරමිනි. අවස්ථානුකූල ආගමික හා සමාජ කටයුතු සිදුකරමින් වසර දහහතරක් වැනි දීර්ඝකාලයක් අඛණ්ඩව පවත්වාගෙනයමින් එහි කටයුතු ක්‍රියාත්මකවන්නේ සභාපතිනි රමණි නවරත්න මහත්මිය ප්‍රධාන කාන්තා සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙනි.

පිළියන්දල තරුණ බෞද්ධ සමිතිය මඟින් පාලනය වන වෑවල සැලීනා අල්විස් ගුණරත්න වැඩිහිටි නිවාසය

වෑවල ග්‍රාමයේ ප්‍රභූ පවුලක ජන්මලාභය ලැබූ සැලීනා අල්විස් ගුණරත්න මැතිනිය සද්ගුණවත් බෞද්ධ මහෝපාසිකාවකි. බෞද්ධාගමික කටයුතු පිළිබඳව විශේෂ භක්තියකින් යුක්ත වූ එතුමිය විහාරාරම රාශියකට නානාවිධ පරිත්‍යාගයන් සිදුකළ දානපතිනියක් ලෙසද කටයුතු කළ මහෝපාසිකාවකි.

මව්පිය පරම්පරාවෙන් උරුම වූ අක්කර දෙකහමාරක් වන භූමිභාගය පදිංචි ගෘහයද වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යාමට පිළියන්දල තරුණ බෞද්ධ සමිතියට පවරා දෙන්නට යෙදුණි. එතුමියගේ අභිප්‍රාය ඉටුකරමින් නේවාසිකයන් 24 දෙනෙකුට පමණ ඉඩපහසුකම් සහිත ගොඩනැගිල්ලක් හා අනෙකුත් ඉඩකඩ ඇති ගොඩනැගිවලින්ද සමන්විතව වැඩිහිටි නිවාසය 1972 දෙසැම්බර් 10 දින නේවාසිකයන් බඳවාගැනීමෙන් ආරම්භ කර ඇත. එතුමිය ජීවත්ව සිටි කාලය තුළ වැඩිහිටි නිවාසයේ නොයෙකුත් අඩුපාඩුකම් සොයා බලා ඉටුකරලීමටද පසුබට නොවිණි. තම අභිප්‍රාය ඉටුවනු දැක සතුටට පත්ව 87 වසක් ආයු ශ්‍රී වින්දන ලැබ 1990 පෙබරවාරි 02 දින පරලොව සැපත් වූවාය.

වැඩිහිටි නිවාසය ආරම්භකොට දසවසරක් ගියතැන අභිනව ශාලාවක් තනවා 1982 දී එවක සමාජ සේවා අධ්‍යක්ෂකව සිටි ආචාර්ය ලීල් ගුණසේකර මහතා අතින් එය විවෘත කරන්නට යෙදුණි. “හෙල්ප් ඒජ්” ආයතනද පරිත්‍යාගයක් වශයෙන් ශාලාවක් තනවා 1995 නොවැම්බර් 05 දින විවෘත කරන ලදී. නිවාසයේ හතළිස් වසර සනිටුහන් කරමින් අභිනව පිරිමි නේවාසිකාගාරය ඉදිකොට 2012 මැයි 27 දින කැස්බෑව ප්‍රාදේශීය ලේකම් එල්.ඒ. කළුකපුආරච්චි මහතා අතින් විවෘත කරන ලදී. මෙමඟින් පනහකට ආසන්න වැඩිහිටි පිරිසකට සිය ජීවිත සැදෑසමය ප්‍රබෝධමත්ව ගත කිරීමට ඉඩපහසුකම් සැලසී ඇත.

වැඩිහිටියන්ට අවශ්‍ය සියලුම අවශ්‍යතා සපුරාලන අනුග්‍රාහක භවතුන් විශාල පිරිසක් සිටිති. වැඩිහිටියන් රැක බලා ගන්නා සමාජසේවා ආයතන අතර, ප්‍රදේශයේ ප්‍රමුඛස්ථානයක මෙම වැඩිහිටි නිවාසය පවත්වාගෙන යනු දැකිය හැකිවේ.

පිළියන්දල තරුණ බෞද්ධ සමිතියේ එහි අනුශාසකතුමන්ලාගේත් වර්තමාන සභාපති ඇම්. ජිනේන්ද්‍රදාස ද කෝස්තා මහතා ප්‍රධාන පාලක කාරක සභා සහ සාමාජිකත්වයේත් වැඩිහිටි නිවාසයේ පාලිකා අයි. ආර්. පී. සුදුමැණිකේ මහත්මිය ප්‍රධාන කාර්ය මණ්ඩලයේත් සමිතියේ සහ වැඩිහිටි නිවාසයේත් කටයුතුවලට සහාය වන දායක සමාජශීලින්ගේත් කැපවීමෙන් ඉටුකෙරෙන ආගමික සමාජීය සේවා කාර්යභාරය සහිත පිළියන්දල තරුණ බෞද්ධ සමිතියේ වර්තමානය හැත්තෑපස් වසරක් පුරා පැමිණි දීර්ඝ ඉතිහාසයට එක්වන ඉතා දීප්තිමත් කාලපරිච්ඡේදයක් බව දකින්නට පිළිවන.

තෙරුවන් සරණයි

 

 
පිළියන්දල තරුණ බෞද්ධ සමිතියේ සාමාජික සමූහ සේයාරුව (75වන සංවත්සරය)
2015-2016 පාලක කාරක සභාව
පළමු වන සංවත්සරය පැවති දා 1942 පෙබරවාරි 19 වනදා එවක අනුශාසක ධූරය හෙබවූ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මැතිතුමා ද මෙම ඡායාරූපයේ සිටී.


සුවිශාල සේවාවක් ඉටුකරමින් පවත්නා සමිතියක්

ශ්‍රී ලංකාවේ තරුණ බෞද්ධ සමිති පද්ධතිය පළාතෙන් පළාතට ප්‍රදේශයෙන් ප්‍රදේශයට බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ඉටු කරන මහඟු සේවාව ඉතා වටිනා බව කිව යුතුය. එකී තරුණ බෞද්ධ සමිති අතුරෙහි ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලේ අඛණ්ඩව පවත්වාගෙන යමින් සහ එමගින් සුවිශාල සේවාවක් ඉටුකරමින් පවත්නා සමිතියක් ලෙස තරුණ බෞද්ධ සමිති අතුරෙහි ඉතා දීර්ඝ කාලයක් පිළියන්දල තරුණ බෞද්ධ සමිතිය හැම කල්හි ම කැපී පෙනුණු සමිතියක් බව ප්‍රචලිත කරුණකි.

2016 මෙම වසරේ පිළියන්දල තරුණ බෞද්ධ සමිතිය සිය අභිමානවත් අඛණ්ඩ ඉතිහාසයේ හැත්තෑපස්වැනි වසර සම්පූර්ණ කරයි. කාලය වශයෙන් ගත් කළ එය අඩසිය වසරකුත් තවත් අඩසිය වසරකින් අඩකුත් වන දීර්ඝ කාල පරිච්ඡේදයකි. මේ සා දීර්ඝ කාලයක් යමක් නොකැඩී නොබිඳී පවත්වාගෙනයෑම අසීරු කර්තව්‍යයකි. එමතු නොව ඒ කාලය පුරා නොමැකෙන සටහන් තැබෙන කාර්යභාරයන් සිදු කොට ඇත්නම් එයද මහත් සේ අගය කළ යුතු තත්ත්වයකි. මෙපරිද්දෙන් බලන කල මහා සංඝයා වහන්සේලා වශයෙන් අපටත් මුළු මහත් බෞද්ධ සමාජයටත් තුටු පහටු විය හැකි ආකාරයේ අතීතයක් හා වර්තමානයක් පිළියන්දල තරුණ බෞද්ධ සමිතියට අයිතිව තිබේ.

දශක හතරකට වැඩි කාලයක් මුළුල්ලේ පිළියන්දල වෑවල සැලිනා අල්විස් ගුණරත්න වැඩිහිටි නිවාසය පවත්වා ගෙන යෑම, එසේම වසර ගණනාවක් පුරා පිළියන්දල දහම් පාසල පවත්වාගෙන ගොස් තිබීම, අඛණ්ඩ පෝයට ධර්ම දේශනා මාලා සහ බෞද්ධ දේශන පවත්වාගෙන යෑම ආදි කොටගත් කරුණු පමණක් සලකා බැලුව ද මේ සමිතියේ ගෞරවනීය සේවාව වටහා ගැනීමට පිළිවන.

පිළියන්දල තරුණ බෞද්ධ සමිතියේ වර්තමාන සභාපති ජිනේන්ද්‍රදාස ද කෝස්තා මහතා ප්‍රමුඛ පාලක කාරක සභාවේ උද්‍යෝගිමත් කැප වීම හේතුවෙන් මෙම සමිතියේ පවත්නා ක්‍රියාශීලි දියුණුව අගය කළ යුතුය. එබැවින් මෙම සමිතියට යහපත් අතීතයක් මෙන්ම ඉතා හොඳ අනාගතයක් ද පවත්නා බව නිසැකය.

පිළියන්දල තරුණ බෞද්ධ සමිතියේ මෙම අභිමානවත් සංවත්සර අවස්ථාවේ පණිවුඩයක් නිකුත් කිරීමෙන් ද මේ මහෝත්සවයට සහභාගි වීමෙන් ද අපට එක්වීමට ලැබීම සතුටට කරුණකි. පිළියන්දල තරුණ බෞද්ධ සමිතියේ අභිවෘද්ධිය උදෙසා මාගේ ආශිර්වාදය මෙයින් පළ කරම්හ.