Print this Article


සත්වයා සහ කර්මය

සත්වයා සහ කර්මය

සත්වයාගේ ජීවිතය ආරම්භ වූයේ කවදා ද? ජීවිතයක් අවසන් වන්නේ කෙසේද? සත්වයන්ට ඇත්තේ මේ ජීවිත පමණක්ද? අතීත, වර්තමාන හා අනාගත ජීවිත සමඟ සම්බන්ධතාවක් තිබේද? මේ ජීවිතයට බලපාන බාහිර හෝ අභ්‍යන්තර බලවේග තිබේද? මේ ශරීරයත් ජීවයත් එකක් ම ද? නැත්නම් ශරීරයත්, ජීවයත් දෙකක්ද? ලෝකයට අන්තයක් තිබේද? ලෝකයට අන්තයක් නැද්ද? මෙවැනි ප්‍රශ්නවලට මිනිසුන්ට සැමදා ම නිශ්චිත පිළිතුරු නොමැත. එනිසා විවිධ දාර්ශනිකයෝ සත්වයා සහ ලෝකයා පිළිබඳ ව විවිධ මත පළකරති.

සමහරු මේ ජීවිතය ගැන පමණක් විශ්වාසය තබා පෙර ජීවිතයක් හෝ අනාගත පැවැත්මක් ගැන නොසිතා ඉන්ද්‍රියන්ට ප්‍රත්‍යක්ෂය කළ හැකි දේවල් ගැන පමණක් විශ්වාස කරමින් කරුණු දක්වති. සතුන් ද, ගස්වැල් මෙන්ම භෞතික නිර්මාණයන්ය. සතුන්ට මවුපිය උරුමයෙන් ලැබෙන ජන්ම ගති ලක්ෂණත් ඇත. මිනිසුන්ටත් ජන්මයෙන් හා ආරයෙන් එන ගතිගුණ ඇත. මිනිසාට විවිධ ශිල්ප ශාස්ත්‍ර ආදියෙන් කුශලතාත් ප්‍රගුණ කළ හැකිය. මේවා සියලු සතුන්ගේ ගති ලක්ෂණයන්ය. ඒ ලක්ෂණවලට අනුව පරම්පරාවෙන් පරම්පරාවට සත්වයන්ගේ පැවැත්ම සිදුවේ. භෞතික විද්‍යාවලින් ද එය පැහැදිලි කෙරේ. මේ අදහස ම ‘උච්ඡේදවාදය’ නමින් භාරතීය දාර්ශනිකයෝ ඉදිරිපත් කළහ.

ඔවුන් විසින් පවසන ලද්දේ මරණයත් සමඟ ම සත්වයන්ගේ සියල්ල ම අවසන් වන බවයි. ඉදිරි ආත්මයකට යන කිසිම දෙයක් සත්වයන් තුළ නැත. සත්වයන්ට ඇත්තේ මේ ජීවිත පමණකි. සතර මහා ධාතුන් හා ජීවය සහිත සත්වයා, මළ පසු, පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතූන් ඒ ඒ ධාතුවලටත් ප්‍රාණය අහසටත් එක් වේ. ඉදිරියට පැවැත්මක් නැති සත්වයා උච්ඡේදයට යයි.

පූර්ණ කාශ්‍යප, මක්ඛලිඝෝසාල වැනි අය මේ ජීවිතය ගැන පමණක් විශ්වාසය තබා ලෝකය සහ සත්වයා ගැන කරුණු ඉදිරිපත් කළහ. ඔවුහු පුනර්භවයක් හෝ කර්මයක් පිළිබඳ ව විශ්වාස නොකළහ. එවැනි මත, උච්ඡේදවාදය, අකිරියවාදය, චාර්වාක දර්ශනය, භෞතිකවාදය ආදී විවිධ වචනවලින් හැඳින්වේ. මේ දර්ශනයට ප්‍රතිවිරුද්ධ අදහස් දක්වන අය ‘සදාකාලික වූ ස්ථිර ආත්මයක් ඇතැ’යි කියන ශාස්වතවාදී මතයක් ඉදිරිපත් කළහ.

බුද්ධකාලීන භාරතීය බොහෝ දාර්ශනිකයන් විසින් සත්වයාගේ පුනර්භවය පැහැදිලි කරන ලද්දේ ආත්ම සංකල්පය කේන්ද්‍ර කරගෙනය. සමහරු සදාකාලික වූ වෙනස් නොවන ආත්මයක් සත්වයා තුළ ඇති බවත් එය ආත්මයෙන් ආත්මයට ගමන් කරන බවත් කීහ. කෙනෙක් මිය ගිය පසු ඔහුගේ සියුම් වූ පදාර්ථයක් වූ ‘ආත්මය’ අලුත් සිරුරකට පිවිසේ. එය කුරුල්ලෙක් පරණ කූඩුව අත්හැර අලුත් කූඩුවකට යන්නාක් මෙනි. සමහර ස්ථිර වූ සදාකාලික වූ මහා බ්‍රහ්මයෙක්’ ඇත ඒ මහා බ්‍රහ්මයා විසින් ලෝකයත් සියලු ම සත්වයනුත් මවන ලද්දේ ය. යයි කීහ.

බුදුදහමෙහි එවැනි ආත්මයක් නොපිළිගැණේ. සත්වයෙකුගේ පුනර්භවයක් ලබන්නේ කර්මානුරූපවය. එම කර්මය ද වෙනස් වෙමින් පවත්නා ජලප්‍රවාහයක් වැනිය. හේතුඵල සිද්ධාන්තයට අනුව කර්මයත් පටිච්ච සමුප්පාද න්‍යායට යටත්ය. එනිසා කර්මයත් ඇතිවීම, පැවතීම, නැතිවීම යන ත්‍රිලක්ෂණයෙන් යුක්තය. ඇතිවෙමින් පවතිමින් විනාශ වෙන කර්මය, නොවෙනස් වන්නා වූ ස්ථිර ශක්තියක් නොවේ. කර්මය ක්‍රියාත්මක වන්නේ ‘කම්ම නියාමයට’ අනුකූලවය.

භාරතීය දර්ශනවල විස්තර කෙරෙන ‘කර්මය’ පිළිබඳ විග්‍රහවලට වඩා බෞද්ධ දර්ශනයේ දැක්වෙන කර්ම විග්‍රහය වෙනස් ය. ජෛන මහාවීර විසින් ‘කර්ම’ යන වචනයට ‘දණ්ඩ’ යන වචනය භාවිත කරන ලදී. එය උපාලි ගහපතියා විසින් පැහැදිලි කෙරෙන්නේ ‘කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ’ වශයෙන් ය. නිගණ්ඨ නාථපුත්තගේ ඉගැන්වීම් අනුව කාය දණ්ඩ ප්‍රධාන වෙයි. වචී දණ්ඩ සහ මනෝ දණ්ඩ අප්‍රධානය. බෞද්ධ දර්ශනයේ ඉගැන්වෙන්නේ මනෝ කම්ම, වචී කම්ම, කාය කම්ම වශයෙනි. එයින් ප්‍රධාන වන්නේ මනෝ කම්මයයි. ජෛන මහාවීරගේ ඉගැන්වීම් අනුව දණ්ඩ හෙවත් කර්ම වාදයෙන් දැක්වෙන්නේ සත්වයා විඳින සියලුම සැපදුක්වලට හේතුවන්නේ පෙර කළ කර්ම බවය. එය ‘පුබ්බේකත හේතුවාද’ යයි. ‘යං කිඤ්චායං පුරිස පුග්ගලෝ පටිසංවේදේති. සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුකං වා, සබ්බං තං පුබ්බේ කත හේතු..... එවං වාදිනෝ භික්ඛවේ නිගණ්ඨා, නිගණ්ඨයන්ගේ වාදය වූයේ සත්වයන් විඳින සියලුම සැපදුක්වලට හේතුව ඔවුන් විසින් පෙර කරන ලද කර්මයන් ම බවයි.

බුදුදහමෙහි කර්ම සිද්ධාන්තය උපයෝගී කරගන්නේ සත්වයන්ගේ පුනර්භවය සහ සසර සම්බන්ධය විග්‍රහ කිරීමටය. එක් භවයක සිට, මියගිය සත්වයා නැවත භවයක උපත ලබන්නේ කෙසේද? එසේ නැවත උපතක් ලබන සත්වයන්ගේ විවිධ වෙනස්කම් පවතින්නේ කෙසේද? මෙවැනි ප්‍රශ්නවලට බුදුදහමින් දෙන පිළිතුර නම් ‘කර්ම ශක්තිය අනුව සත්වයන් පුනර්භවයක් ලබන බවත් කර්මානුකූල ව ම සත්වයන්ගේ උප්පත්ති වල වෙනස්කම් සිදුවන බව චුල්ලකම්මවිභංග, දේවදූත, දේවදහ ආදී සූත්‍රවලින් පැහැදිලි වෙයි.