Print this Article


 කැලණිය දුරුතු මහා පූජෝත්සවය

කැලණිය දුරුතු මහා පූජෝත්සවය

කැලණි දුරුතු පින්කම් මාලාවේ සුවිශේෂාංගය මෙවර අත්‍යාලංකාරයෙන් හා අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙන පෙරහැර මහෝත්සවයයි. පිළිවෙලින් ජනවාරි 20 වන දින උඩමළුවේ පෙරහැර ද ජනවාරි 21 හා 22 වන දින අවසන් රන්දෝලි මහා පෙරහැර ද පැවැත්වේ.

ලක්වැසි අපට ආවේණික වූ පොදු හැදියාව හෙවත් ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘතිය අපූර්ව වූ ත් අනන්‍යවූ ත් ලක්ෂණවලින් පොහොසත් වෙයි. තථාගත බුදුපියාණන් වහන්සේ ප්‍රමුඛ තෙරුවන මමත්වයෙන් ගරුකොට ආරක්ෂා කරමින් වෙහෙර විහාර මෙන්ම බෞද්ධ සම්ප්‍රදායයන් හා සිරිත් විරිත් සුරක්ෂිත කොට පෝෂණය කිරීම තම දිවියේ එක් කොටසක් ලෙස සළකන ලක්වැසියෝ ගැඹුරු අවබෝධයකින්ද සුවිශේෂී කැපවීමකින්ද ඊට දායක වෙති.

සෑම වසරකම දුරුතු මස උදාවීමත් සමඟ බුදුපියාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය ඉමහත් ගෞරවයෙන් අනුස්මරණය කරමින්, ඓතිහාසික කල්‍යාණි රාජමහා විහාරස්ථානයෙහි පැවැත්වෙන දුරුතු පුණ්‍යෙීත්සව මාලාවට කැලණි ප්‍රදේශයේ බොදු ජනතාව සමඟ සමස්ත ලක්වැසි බොදු ජනතාව ඉතසිතින් කැපවී දායකවනුයේද ඉමහත් බුද්ධාලම්භන පී‍්‍රතියෙනි.

සම්බුදු සිරිපා පහසින් පරම පූජනීයත්වයට පත් වූ ඓතිහාසික කැලණිය පුදබිම සම්භාවනීය මෙන් ම සුවිශේෂී බවින් ද අනූනව ලෝකවාසි බෞද්ධ ජනයාගේ පුදපූජා සත්කාරයන්ටත් අභිවාදනයත් විෂය වූයේ දුරාතීතයේ සිටය. ජීවිත කාලයෙන් එක් වරක් වූ ව සැදැහැ සිතින් කැලණි පුදබිම වන්දනා කිරීම එතෙක් කළ සියලු පව් දුරලන මහෝත්තම පින්කමක් ලෙස ලක්දිව බොදුජනයා ඉතිහාසය පුරා පිළිගනු ලැබූයේ එම සුවිශේෂත්වය නිසාම විය යුතුය.

විවිධ අර්ථයන්ගෙන් ලංකාවේ ජන සමාජ නැවුම් මුහුණුවරක් ගෙන ඇති පසුබිමක මෙවරද කැලණි විහාරයේ දුරුතු පුණ්‍යමහෝත්සවය ඓතිහාසික කල්‍යාණි රාජමහා විහාරය හා කිත්සිරිමෙවන් කැලණි විහාරය යන උභය විහාරාධීශ්වර අතිපූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංරක්ඛිතාභිධාන නාහිමියන්ගේ මගපෙන්වීමෙන් හා මෙහෙයවීමෙන් තෙමසක පමණ කාලයක් පුරා මහා ශ්‍රද්ධාවෙන් ද සුවිශේෂ සම්භාවනීය හා පූජනීය බවකින් ද යුක්තව පවත්වනු ලැබීම ලංකාවාසී සියලු බෞද්ධ ජනයාගේ ප්‍රසාදානන්දයට හේතු වී ඇත. එළඹෙන දුුරුතු මස 20,21 හා 22 දිනවල පූර්ණ ඓතිහාසික පෙරහර පුණ්‍යමහෝත්සවය පැවැත්වේ.

ඉල් මස පුන් පොහෝදින සිට පුරා දෙමසකට අධික කාලයක් දිනපතා චිරප්‍රසිද්ධ ධර්ම දේශකයාණන් වහන්සේ විසින් පවත්වනු ලබන සුමධුර ධර්මදේශනා මාලාවකින් කැලණි දුරුතු පුණ්‍යමහෝත්සවයේ සමාරම්භය සනිටුහන් කෙරේ. එහි සමාප්තියත් සමඟ ලක්වැසි සැමට සෙත්පතා පැවැත්වෙන සත්වරුවේ මහාපරිත්‍රාණ ධර්මදේශනය ආරම්භ වෙයි. පිරිත් දේශනාවට ආවේණික පෞරාණික මෙන්ම සාම්ප්‍රදායික අභිචාර හා චාරිත්‍ර විධි සියල්ල නොපිරිහෙළා සපිරිමින් මෙම දුර්ලභ පින්කම පැවැත්වේ. ඊට ලක්දිව සිව්දිගින් වැඩමවන දක්ෂ හා ව්‍යක්ත පරිත්‍රාණ ධර්මදේශකයන් වහන්ස්ලාගේ සහභාගිත්වය හා දායකත්වය හිමිවී ම බොදුජනයාගේ භාග්‍යයකි. දොරකඩ අස්න හා අනුශාසනා දේශනාවෙන් පරිසමාප්තියට පත්වන පරිත්‍රාණ ධර්ම දේශනා මහ පින්කම දුරුතු මසින් උදාවන නව වසරේ ලක්වැසි සැමට ඉමහත් ආශිර්වාදයක් ලෙස සළකනු ලැබේ.

අනතුරුව උදාවන්නේ සුවිශේෂී පෙරහැර උත්සව සමයයි. පිරිත් දේශනාවට පූර්වයෙන්ද අලංකාර පරිවාර පෙරහැර කිහිපයක් පැවැත්වේ. කැලණිය පොලිසිය, පිලපිටිය මහා විද්‍යාලය හා ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලය සංවිධානය කරන එම පෙරහැර මෙවර විවිධ අලංකාර නවාංගන්යන්ගෙන් ශෝභමාන ව අත්‍යාලංකාරයෙන් පවත්වනුයේ ඊට දායක, මූලික හා කාරක වූ සියල්ලන්ගේ මහත් ශ්‍රද්ධාව හා කැපවීම ම හේතුවෙනි.

කැලණි දුරුතු පින්කම් මාලාවේ සුවිශේෂාංගය මෙවර අත්‍යාලංකාරයෙන් හා අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙන පෙරහැර මහෝත්සවයයි. පිළිවෙලින් ජනවාරි 20 වන දින උඩමළුවේ පෙරහැර ද ජනවාරි 21 හා 22 වන දින අවසන් රන්දෝලි මහා පෙරහැර ද පැවැත්වේ. ඊට පරවාර පෙරහැර වශයෙන් විෂ්ණු, කතරගම හා විභීෂණ දේවාල පෙරහැර එක්වේ. අඩසියයකට ආසන්න අලංකාර ලෙස සරසනු ලැබූ අලි ඇතුන් සමූහයකින් ද,උඩරට ,පහතරට හා සබරගමු යන ත්‍රිවිධ සම්ප්‍රදායයන්ට අයත් සියගණනක් ශිල්පීන්ගේ වාදන හා නර්තනාංගයන්ගෙන්ද අත්‍යාලංකාර වන මෙවර පෙරහැර දෙස් විදෙස් ජනයාගේ ඉමහත් බුද්ධාලම්බන පී‍්‍රතියට හේතුවනු ඇත. එසේම එය එළඹුණු නව වසරේ අගනුවරාසන්නයේ මුළු දෙන මහා සංස්කෘතික මංගල්‍යයද වනු ඇත.

ජනාවරි 23 වන දිනට යෙදෙන දුරුතු පුරපසළොස්වක පුන් පොහෝ දින දවස පුරා පැවැත්වෙන දාන, ශීල, භාවනා පින්කම් මාලාවෙන් මෙම මාහැගි ආශිර්වාදදාත්මක පුණ්‍ය මහෝත්සවය නිමාවට පත්වේ.

මෙරට නන් දෙසින් මෙම උත්සව හා පින්කම් මාලාවට සහභාගිවීම සඳහා පැමිණෙන දේශීය සුපින්වතුන්ගේ මෙන්ම මෙම දුර්ලභ අවස්ථාවන් සියැසින් දැක විඳගැනීමට පැමිණෙන විදේශික සැමට අවශ්‍ය පහසුකම් සැළසීමට ප්‍රදේශයේ රාජ්‍ය හා ස්වේච්ඡා සංවිධානවල සහභාගිත්වයෙන් හා දායකත්වයෙන් කටයුතු පිළියෙල කෙරේ.

ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘතිය පෝෂණය හා සංරක්ෂණය කිරීමේ අපගේ ගෞරවණීය නායක මාහිමිපාණන් වහන්සේ උත්කෘෂ්ටාභිප්‍රායට ආශිර්වාදය දායකත්වය අනුග්‍රාහකත්වය හා සහභාගීත්වය දක්වන පිරිස අතිවිශාලය. කැලණිය දායක සභාවේ සභාපති ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මගපෙන්වීම, එහි දී ප්‍රධාන බස්නායක නිලමේ තැන්පත් ධම්මික ආටිගල මැතිතුමා, විභීෂණ දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ලලිත් හපන්ගම, විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ජයරාජ චන්ද්‍රසේකර සහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් සමන්ත පෙරේරා , දායක සභාව, විහාරස්ථ සංවර්ධන සභාව, විශේෂ දායකත්වයන් සපයන පින්වතුන් සහ ආයතන ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලය හා මාධ්‍ය ආයතන විශේෂ පුන්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කළ යුතුය. කැලණි පෙරහරේ පසුගිය වසර වල අවස්ථා කීපයක් සේයාරූප වලින් දැක්වේ.

කැලණි පෙරහරේ පසුගිය වසරවල අවස්ථා කීපයක් සේයාරූවලින් දැක්වේ.