ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය
චන්දිම විජේබණ්ඩාර මහතාට උපහාර පිරිනැමීමේ උළෙල නිමිත්තෙනි.
මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර
ජනාධිපති කාර්යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති නිලධාරි
දහම් සරසවිය ඩිප්ලෝමා
පාඨමාලාවේ බෞද්ධ දර්ශනය පිළිබඳ කථිකාචාර්ය
ආචාර්ය නිමල් සේනාරත්න
පානදුර සද්ධර්මාකාර විශ්ව විද්‍යා පීඨයේ ඉගෙනුම ලැබූ පළමු විශ්වවිද්‍යාල
කථිකාචාර්යවරයා වීමේ භාග්‍ය උදාකරගෙන පාසල් අවධියේ සිට ම සිසු දරුවන්ට ආදර්ශයක් වූ
එතුමා අද මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර ලෙස සිටිය ද එදා මෙන් ම එකම සුහද සෙනෙහසින්
ඕනෑම කුඩා දරුවකුට වුවද සමීප විය හැකි නිහතමානී පැවතුම නොනසා පවත්වා ගන්නට ඔහු සමත්
වීම දුර්ලභ ගුණාංගයක් සේ හැඟෙයි.
මා කැලණි සරසවියේ උගත් සමයෙහි කොළඹ සරසවියේ කථිකාචාර්යවරයෙකුව සිටි ඔහු කැලණියට ආවේ
උපාධි අපෙක්ෂකයකුව සිටි මා හමුවනු පිණිස ය. අපේ විෂය ගැන මෙන්ම විවිධ විද්‍යා
ශාස්ත්‍ර පිළිබඳ ව පැය ගණන් කතා කරමින් සිටියෙමු. ඇතැම් දිනෙක කැලණි සිසුන් සමඟ එකට
වාඩි වී චිත්‍රපටියක් හෝ නාට්‍යයක් නැරඹීම ඔහුගේ සිරිත විය. “කවුරු වෙන්නද පුංචි
කාලෙ ඉඳල හිතාගෙන හිටියේ?” මම දවසක් විමසුවෙමි.
“මුලදී නම් ආසාව තිබුණෙ මාධ්‍යවේදියෙක් වෙන්න. හරියට ම කියනව නම් දිනමිණ කර්තෘ
වෙන්න හරි ආසාවක් තිබුණා. අපේ ගෙදර පුංචි කාලෙ ගත්තේ දිනමිණ”.
එක් විශේෂ දිනයක දී ඔහු මට තිළිණ කළ විමල් දිසානායක මහාචාර්යතුමන් ලියූ මානව
සන්නිවේදනය මගේ සිහියට නැඟිණි. ජනසන්නිවේදනයට ප්‍රියව සිටි ඔහු මට ඒ පොත තිළිණ කළේ
මා ද සන්නිවේදන මාවතට යොමු කරන අටියෙනි. මම ඒ අනුව සන්නිවේදනය හුරු කරගෙන ජනාධිපති
ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති නිලධාරි කාර්භාරය දක්වා ම ගියෙමි.
“පත්තර සිහිනය හරි ගියේ නෑ නේද? පසු කලෙක මම මගේ මිතුරාගෙන් විමසීමි.
“නෑ ම කියන්නත් බෑ. මම පුවත්පත් සඟරාවලට ලියන්න පටන් ගත්තා. වයස 16 ඉඳලා ම ඒවා පළ
වුණා, විශ්ව විද්‍යාලයේ උගන්වන ආසාව නිසා පත්තර කර්තෘ කමේ ආසාව යට ගියා. ඒ වුනාට
අර්ධකාලීනව මාධ්‍යවේදියෙකුත් වුණා.”
“ඒ කොහොමද?”
“එංගලන්තයේ ඉගෙන ගන්න ගිහින් ලැන්කැස්ටර් විශ්ව විද්‍යාලෙ ශිෂ්‍ය සංගමේ පුවත්පතේ
කතුවරයෙක් විදියට වැඩ කළා. ඒ කාලෙ බීට්ල්ස් ගායක පෝල් මැකාට්නිගේ ඡායාරූප ගත්තා
මම”.
මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු සහ චන්දිම විජේබණ්ඩාර එකල ඡායාරූප ශිල්ප විදුහලක
එකට ඡායාරූප ශිල්පය හදාළහ. “ඡායාරූප කලාව ගැන මම නොදත් හුඟක් දේ පල්ලියගුරුගෙනුත්
ඉගෙන ගත්තා. පල්ලියගුරු නම් චිත්‍රපටි කලාව දිහාවටත් ඇදුණා.” ඒ චන්දිම විජේබණ්ඩාර
එසේ කියන්නේ ඉතා නිහතමානීවය. ජනසන්නිවේදන ක්ෂේත්‍රය තුළ ඔහු වඩාත් කීර්තිමත් වූයේ
විද්‍යුත් සන්නිවේදකයකු වශයෙනි. රූපවාහිනී ළමා වැඩසටහන් , කාන්තා වැඩසටහන් ඉදිරිපත්
කරමින් සිය මාධ්‍ය කුසලතා විදහා දක්වන්නට හේ සමත් විය.
ජීවිතය පිළිබඳ සියලු සිහින සැබෑ කර ගත්තෙකු ලෙස ඔහු හඳුන්වන්නට මම කැමැත්තෙමි.
චන්දිම නමින් අප දැන සිටි ශිෂ්‍යයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රථම වර්ෂයේ
ශිෂ්‍යයකු වන විටත් ඇතැම් උපාධි අපේක්ෂකයන් සිතා සිටියේ ඔහු උපාධිධරයකු විය හැකි
බවකි. ඊට හේතු වූයේ උසස් පෙළට සූදානම් වන අතරම උසස් පෙළ සිංහල, බෞද්ධ ශිෂ්ටාචාරය සහ
ඉතිහාසය විෂයන් පිළිබඳව ඔහුගේ ලිපි ශාන්ති නමින් පළ වූ ප්‍රසිද්ධ ශාස්ත්‍රීය
සඟරාවෙන් ඔවුන් කියවා තිබීමය. ප්‍රථම පන්තියේ ගෞරව උපාධියක් ලැබ වයස 29 වන විට
එංගලන්තයේ ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලයෙන් ආගමික අධ්‍යාපනය පිළිබඳ ආචාර්ය උපාධිය ද
ලත් අවදියේ චන්දිම විජේබණ්ඩාර කොළඹ, කැලණිය සහ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව
විද්‍යාලයන්හි ආචාර්ය මණ්ඩලවල සේවය කළේය.අංශ ප්‍රධාන, මහාචාර්ය, පීඨාධිපති සහ
උපකුලපති පදවි දරමින් විශ්‍රාම ගන්නා තුරුම ශී‍්‍ර ලංකාවේ විශ්ව විද්‍යාල හරහා සිසු
පරපුර රැසකට ශාස්ත්‍රාලෝකය ලබාදුන් චන්දිම විජේබණ්ඩාර නිවාඩු කාලවල එංගලන්තය,
මැලේසියාව,ඉන්දියාව,තායිලන්තය, සිංගප්පූරුව, කොරියාව, ඇමෙරිකාව, ජපානය සහ කැනඩාව
වැනි විදේශයන්හි දේශන පවත්වා ඇත. විශ්‍රාම ලැබීමෙන් පසුව ද ශාස්ත්‍රීය මෙහෙවර
නිමවනු නොරිසි හෙයින්ම හෙතෙම සිංගප්පුරුවේ බෞද්ධ පශ්චාත් උපාධි විද්‍යාපීඨයෙහි
නේවාසික මහාචාර්ය ධුරයෙහි සේවය කරයි.
පෙර රජදරුවන් මෙන් ශාසන ඉතිහාසයේ ආරාම සංකල්පයට ද එතුමා දායක වී ඇත.
වරකාපොල කුරුණෑගල පාරේ කැකිරදෙනි කන්දේ තමන් උපත ලැබූ භූමි භාගය මහසඟනට පූජාකොට
පන්සලක් ඉදිකළ අතර මෙත්මුණී විහාරය නමින් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ එම
සිද්ධස්ථානයයි.
විජේබණ්ඩාර මහාචාර්යවරයා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙහි උපකුලපති පදවියට පත්
වූයේ ඔහු කිසිසේත් අපේක්ෂා නොකළ අවස්ථාවකය. දරුණු සිසු ගැටුම්, උපවාස ආදියෙන් කැළඹී
ගිය සරසවියේ සාමය බිඳ වැටී උපකුලපතිවරයෙකු නැතිව දින දොළහක් අරාජිකව පැවති
විශ්වවිද්‍යාලය සන්සුන් කර දෙන ලෙස බොහෝ දෙනෙකු විසින් කරනු ලැබු ඉල්ලීම පරිදි කිසි
දින නොපැතූ පදවියක් දරන්නට ඔහුට සිදුවිණ.
සිසු හිතවාදී ගුරුවරයෙකු ලෙස එතෙක් දිනා සිටි විශ්වාසය රකිමින් දෙපිල බෙදී මරා
ගනිමින් සිටි සිසු පිරිස සමගි කර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සෙනහසේ සරසවිය කිරීමට
ඔහුට හැකියාව ලැබිණ. ඒ සඳහා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ද සහාය ඇතිව සිසුන් සමඟ
ඔහු “ඔස්ලෝ සාකච්ඡා” ලෙස එවක හැඳින්වුණු කතා බහේ යෙදුණේ සිසුන් සඳහා සරසවි බිමෙහි
ඉදි කර තිබුණු මණ්ඩපවලදීය.
සිසු මර්දන යුගයේ දී වසා දමා තිබුණූ ශිෂ්‍ය මධ්‍යස්ථාන සියලු උපාංග සහිතව නැවත
සිසුනට ලබා දී ක්‍රීඩා අංශයට පෙර නො ලද විරූ සම්පත් ලබා දෙමින් සරසවි සිසුනට
පි‍්‍රය මනාප තැනක් බවට පත්කිරීමට හෙතෙම සමත් විය. උපකුලපති නිලයෙහි කටයුතු
කරත්දීත් සිසුන් සමඟ පැවති හිතවත් කම් ලිහිල් නොකළ චන්දිම විජේබණ්ඩාර බොහෝ විට
සිසුන්ගේ කැන්ටිමෙහි දී දැක ගත හැකි විය.
සැබවින්ම හෙතෙම සිසුන්ගේ උපකුලපතිවරයාම විය. උපකුලපති වූ පසු වෛද්‍ය පීඨයට නවක
සිසුන් බඳවා ගත් දින රැස්වීමෙහිදී හේ මෙසේ පැවසීය.
“වෛද්‍ය පීඨයේ ඔබට ආඩම්බර වෙන්න දෙයක් තියෙනවා. ඒ තමයි වෛද්‍ය පීඨ ශිෂ්‍යයෙක්
උපකුලපතිකම කරන විශ්වවිද්‍යාලයක ඔබට ඉගෙන ගන්න ලැබුණූ එක”.
එය විහිළුවක් හෝ අසත්‍යයක් නොවීය. ඒ වන විට ඔහුට වෛද්‍ය පීඨ ශිෂ්‍ය හැඳුනුම්පතක්ද
තිබිණ, උපකුලපති ධූරය ගත්තේ වෛද්‍යපීඨය විසින් පවත්වන ලද උපදේශන මනෝවිද්‍යා
ඩිප්ලෝමා පාඨමාලාවෙහි ශිෂ්‍යයෙකු ලෙස ලියාපදිංචි ව දේශනවලට සහභාගි වෙමින් සිටිය
දීය.කාර්ය බහුලව සිටියදී පවා නොනවත්වා පාඨමාලාව හදාරා ඩිප්ලෝමාව ද ලබා ගත්තේය.
ඔහුගේ ශාස්ත්‍රපිපාසය එවන්ය. තම විෂය ක්ෂේත්‍රය තුළම සිරවී නොසිටීම ප්‍රථම උපාධියට
ඉගෙන ගන්නා කාලයේත් ඔහුගේ සිරිත විය. විශේෂ උපාධිය සඳහා තෝරා ගත්තේ බෞද්ධ
ශිෂ්ටාචාරය සහ පාලි වුවද අධ්‍යයනාංශයන්ගෙන් අවසර ලබා සිංහල, දර්ශනය,මනෝවිද්‍යාව
මෙන්ම සමාජ විද්‍යාව පිළිබඳ දේශනවලට ද සහභාගි වී තම ඥාන ක්ෂිතිජය විපුල කර ගත්තේය.
මෙම සිද්ධි දෙක තුන පමණක් මා සටහන් කළේ තමන් පෝෂණය ලැබූ සංස්කෘතික උරුමය, මෙම
දිවියෙන් සමුගැනීමට පෙර තමන් විසින්ද පෝෂණය කරනු සඳහා කලාපීය හා ජාත්‍යන්තර තලයේ
දීද එතුමා දේශන මගින් සිදුකිරීමට උත්සාහ කරමින් සිටින බව පෙන්වා දීමටයි.
1997 වසරේදී ජපානයේ කනගාවා ප්‍රාන්තයේ සැටලයිට් මාර්ගයෙන් පැවති බෞද්ධ පර්යේෂණ
සම්මන්ත්‍රණය අමතා අනභිමුඛව මහාචාර්යතුමන් පැවැත් වූ දේශනය ගැනද මෙහි සටහන් කර
තැබීම සුදුසුයැයි හැඟේ.
එම දේශනය අවසානයේදී සම්මන්ත්‍රණය නියෝජනය කළ මා හිතවත් විද්වද් ජපන් භික්ෂූන්
රැසක්ම නිහතමානීව පවසා සිටියේ, “සිහින් හඬින් , සන්සුන් ඉරියව්වෙන් හා ප්‍රසන්න
මුහුණින් යුතුව ඉතා සරළ බසින් මහාචාර්යතුමන් පැවැත් වූ දේශනය, ශාක්‍යමුනි
බුදුහිමියන් විසින් අපේක්ෂා කරන ලද සමස්ත දිවි පැවැත්මම ආවරණය කරන චරණ මාර්ගය
කුමක්දැයි තේරුම් ගැනීමට අවතංසක, සද්ධර්ම පුණ්ඩරීක, අමිතායුර්, සුඛාවතීව්‍යුහ වැනි
සූත්‍රයන්ගෙන් පෝෂිත මහායාන බෞද්ධ දාර්ශනික පසුබිමක සිටින අප, මුල් බුදුසමය වෙත
ප්‍රති අවේක්ෂණය කිරීමට කාලය එළඹ ඇති බවට කිසියම් ඉඟියක් දුන් බවයි”.
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මගින් මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර
ශ්‍රීමතාණන්ට සාහිත්‍යශූරී සම්මාන උපාධියක් 2015 වසරේදී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ
ශාලාවේ දී පැවති උපාධි ප්‍රදානෝත්සවයේදී කුලපති ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් එම
උපාධිය පිරිනැමීම සිදු වූ අතර, එදින විශේෂ දේශනය පවත්වනු ලැබුවේ ද මහාචාර්යතුමන්
විසිනි.
වර්ෂ 1965 සිට අඩසියවසකට අධික කාලයක තිස්සේ බුදුසරණ පාඨකයන් වෙත, එතුමන් ලියූ ලිපි
සංඛ්‍යාව බොහෝය. හෙළයේ ගම් නියම්ගම් සිසාරා එතුමන් ගැන නොදන්නා බොදුනුවකු නැති
තරම්ය.
සෑම පුවත්පතකටම බෞද්ධ හා සමකාලීන තොරතුරු ගැන, බෞද්ධ දෘෂ්ඨි කෝණයකින් ලියු එතුමන්ගේ
ලිපි අතිශයින්ම සාරගර්භ වීය. ලේක්හවුස් මුද්‍රිත මාධ්‍ය ජාලය එතුමන්හට නිතර සමීප
වීය. දිනමිණ වෙසක් කලාපයට ලියු ලිපි විශ්වවිද්‍යාල පාඨකයන් අතරද ජනපි‍්‍රය වීය.
ගුවන්විදුලිය ඇතුළු සියලුම රූපවාහිනී විද්‍යුත් මාධ්‍ය ජාලයන් තුළින් එතුමන්ගේ දහම්
හඬ නොඇසූ කෙනෙක් මෙරට නැති තරම්ය.
සුදුසුකම් ලත් දහම් පාසල් ගුරුවරුන් වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
දහම් සරසවිය ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කළේ මෙතුමන් උපකුලපති වශයෙන් කටයුතු කළ
අවධියේය.
එතුමන් වෙත ජනවාරි 13 වෙනි දින ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී උපහාර උළෙලක්
පැවැත්වුන අතර දහම් සරසවිය ඩිප්ලෝමා පාඨමාලාවේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයන් විසින්
මෙහෙයවනු ලබන තවත් උපහාර උළෙලක් ජනවාරි මස 16 වන දින නාවින්න (රාජමහා විහාරයේදී
පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. |