Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 


 සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ශ්‍රී සාරානන්ද විහාරාධිපති පණ්ඩිත ගිරාඹේ ආනන්ද නාහිමියන්ට නිරෝගී සුවය පතමින් පසුගිය දිනක අනුරාධපුර මහමෙව්නාවේදී පින්කම් රැසක් පැවැත්වුණි. අනුරාධපුර අරිප්පු පාරේ දායක මහත්මයකුගේ නිවසේදී පුරා දින හතක් සති පිරිත් සහ දොරකඩ අස්න දේශනාව පවත්වා, ඉකුත් 06 වන දින අනුරාධපුර දිස්ත්‍රික්කයේ විහාරස්ථානවල විහාරාධිපති නාහිමිවරුන් ප්‍රධාන මහා සංඝරත්නය හැටනමක් සමඟ වනවාසීව වැඩ වාසය කරන මෙහෙණින් වහන්සේ හතළිස් නමකට සාංඝික දානයක් හා අටපිරිකර පිරිනමා ගිරාඹේ ආනන්ද නාහිමියන් හට නිරෝගී සුවය ප්‍රාර්ථනා කළහ. ගිරාඹේ ආනන්ද නාහිමියන් හට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙනේදී ද, ප්‍රදේශයේ විහාරස්ථානවලද, ආරණ්‍ය සේනාසනවලදී ද පින්කම් රැසක් සිදු කරන ලදී. වැල්ලවාය නුගයාය සිරි ගෞතම තපෝ වනය, වෙල්ලස්ස විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති වෙහෙරයායේ සිරිසුමන ධම්ම හිමි, මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ඌව බින්තැන්න, මඩකලපුව යන තෙපළාතේ උප ප්‍රධාන සංඝනායක මොනරාගල කහම්බාන ශ්‍රී නිස්ලෙන් රජමහා විහාරාධිපති කෙහෙල්වත්තේ විමලතිස්සාභිධාන නාහිමි, මධ්‍යම නුවරගම් පළාතේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී උළුක්කුලම සිරිසුමන පිරිවෙනේ පරිවේණාධිපති පණ්ඩුලගම කොරකහවැව ශ්‍රී සාරානන්ද බෞද්ධ මධ්‍යස්ථානාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති මීවැල්ලාවේ ධම්මකිත්ති හිමිවරුන්ගේ අනුශාසනා පරිදි මෙම පින්කම් මාලාව සංවිධානය කර තිබුණි. එම අවස්ථාවට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උතුරු හා උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක පොතානේ ධම්මානන්ද නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද මෙහෙණින් වහන්සේ සමඟ ඩිලාන් මංජුල පතිරණ, නීතිඥ අනුෂ්කා හර්ෂණී පතිරණ යන මහත්ම මහත්මීහු ඇතුළු දායක දායිකාවන් විශාල පිරිසක් සහභාගි වූහ.
ඡායාරූප - චිත්‍රාරත්න කළුආරච්චි හිදෝගම සමූහ