Print this Article


දෙලොව සැනසුම ලැබෙන දැහැමි දිවි පැවැත්ම

ඉල් අව අටවක පෝදා දම් දෙසුම

දෙලොව සැනසුම ලැබෙන දැහැමි දිවි පැවැත්ම

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස........

යෝ ධම්ම චාරි කායෙන
වාචාය උද චේතසා
ඉධෙවනං පසංසන්ති
පෙච්ච සග්ගෙ පමෝදතී

පින්වත්නි,

අද ධර්ම දේශනාව සඳහා සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයට අයත් පබ්බතූප සූත්‍රයේ සඳහන් ගාථාවක් ඉහත දක්වා තිබේ. එම ගාථාවේ සරල අදහස මෙසේ දැක්විය හැකිය. “යමෙක් තමාගේ සිත, කය, වචනය යන තුන්දොර සංවර කරගෙන දැහැමිව ජීවත් වන්නේද? ඔහු මෙලොව දී ප්‍රශංසා ලබන අතර පරලොව සුගතිගාමී ජීවිත ලබා සතුටු වන්නේය.”

අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මෙම පබ්බතූප සූත්‍රය කොසොල් මහ රජතුමාට දේශනා කර ඇත. දිනක් දවල් කාලයේ ජේතවනාරාමයට පැමිණි රජතුමා පස්කම් සැපතට ගිජුව ගත කරන රාජකීය ජීවිතයේ අවිවේකී බව බුදුරදුන්ට ප්‍රකාශ කළේ ය.

එවිට බුදුරජාණන් වහන්සේ ‘මහ රජතුමනි එසේ සිටින විට ඔබට ඉතා විශ්වාසී වූ පුද්ගලයන් සිව්දෙනෙකු සතර දිසාවෙන් පැමිණ ඇති විශාල ගල් පර්වත සතරක් ගම් බිම් විනාස කරගෙන පෙරලීගෙන එන බව ඔබට ප්‍රකාශ කළොත් ඔබ කුමක් කරන්නේ ද? එවැනි බියක් ඇති වූ විට දහමට අනුගතව පින් කිරීම, කුසල් කිරිම හැර කළයුතු වෙනත් දෙයක් නැති බව රජතුමා ප්‍රකාශ කළේ ය.” මහරජතුමනි එවැනි ගල් පර්වත වලින් ඇති වන බියටත් වඩා දරුණු බිය දෙකක් ඔබ හමුවට පැමිණෙමින් තිබේ. කුමන බලයක් හෝ යොදවා ආරක්ෂා විය නොහැකි එම බිය දෙක ජරා හා මරණ බියයි. දුර්ලභ මිනිස් ජීවිතයක් ලබා ගෙන ඇති සෑම දෙනාම මෙම බිය දෙකට යටවීමට පෙර පින්කම් කරගත යුතු ය. කුසල් දහම් වර්ධනය කරගත යුතු ය. තමාගේ සිත, කය, වචනය, යන තුන් දොර දහමට අනුගතව පවත්වාගෙන යායුතු බව බුදුපියාණන් වහන්සේ දේශනා කළහ.

තම තුන් දොර දහමට අනුගත කරගත් විට එමගින් වැරදි සිදු නොවෙයි. පස් පව් දස අකුසල් එවැනි පුද්ගලයෙකුගෙන් සිදුවීමට ඉඩක් නැත. තමාගේ නිවසට, ගමට, රටට, ආගමට, ඉටුවිය යුතු යුතුකම් නිසි ලෙස ඉටු කිරීම දැහැමි පුද්ගලයෙකුගේ ලක්ෂණයකි.

තිදොර සංවර කර ගත් පුද්ගලයෙකුගෙන් සමාජයට අයහපතක් අවැඩක් කිසි දිනක සිදු නොවෙයි. එනිසා ඔහු සමාජයේ පැසසුමට ලක්වෙයි. දැහැමියා දහමින්ම ආරක්ෂාවන නිසා මරණින් පසු නිරයට නොගොස් නැවත මිනිස් ලොව හෝ දෙව්ලොව ඉතා වැදගත් ජීවිත ලබා අපමණ ලෙස සතුටු වෙයි. තිදොර සංවරය නිවන් මාර්ගයට අවතීරණය වීමට හේතුවන බැවින් නොබෝ කාලයකින් උතුම් නිවන් සුව අවබෝධ කරගෙන ජාති, ජරා, ව්‍යාධි, මරණ යන සසර දුකින් ද නිදහස් වේ. පින්වත් ඔබත් ඔබේ සිත, කය, වචනය පාලනය කර ගෙන මෙම ප්‍රතිලාභ ලබා ගැනීමට උනන්දු වන්න.

සැමදෙනාට තෙරුවන් සරණයි..!