Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

කතරගම පුදබිම සංවර්ධනය කිරීමේදී තිස්සමහාරාමය සිට කතරගම දක්වා ක්‍රමවත්ව මාර්ග ඇතුළු සිද්ධස්ථාන පිවිසුම් සංවර්ධනය කර දෙස් විදෙස් බැතිමතුන්ට සියලු පහසුකම් ලබාදීමට ක්‍රියා කරන ලෙස රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා පසුගිය දා (22) කතරගම බස්නායක නිලමේ නිල මැදුරේ පැවැති විශේෂ සාකච්ඡාවකදී උපදෙස් ලබාදී ඇත. අගමැතිතුමන් කතරගම පුදබිම වන්දනා කිරීමෙන් පසු එම උපදෙස් ලබාදී ඇත. එම අවස්ථාවට කතරගම අභිනවාරාමාධිපති කපුගම සරණතිස්ස නාහිමියන් සහ කිරිවෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් සහ අමාත්‍ය සාගල රත්නායක මහතාද බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ මහතාද සහභාගි විය.

විවේකානන්ද ජාත්‍යන්තර පදනම, ජපානයේ ජගත් බෞද්ධ සංසදය සහ තෝකියෝ පදනම එක්ව බෞද්ධ සහ හින්දු නියෝජනය දක්වන ගෝලීය සමුළුවක් පසුගියදා සංවිධානය කරන ලද අතර ගැටුම් නිරාකරණය කිරීම සඳහා වූ අවබෝධාත්මක පසුබිමක් ලොව පුරා ඇති කිරීම එහි අරමුණ විය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් නවදිල්ලියේ දී පැවැති එම සමුළුවට බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමි, මහාබෝධි ආයතනයේ සභාපති බානගල උපතිස්ස නාහිමි, උරුමයක උල්පත් පදනමේ මහ ලේකම් ආර්.ඒ.ඩී. සිරිසේන සහ එම්.එම්. බී.එල්. පාත්ෆයින්ඩර් ආයතනයේ ප්‍රධාන විධායක කේ. බාලසුන්දරම් යන මහත්වරු ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී වූ අයුරු ඡායාරූපයෙන් දැක්වෙයි.

අලව්ව බුජ්ජොමුවේ ශී‍්‍ර බෝධිමළු විහාරස්ථ සිරි සුගත් දහම් පාසලේ සිසුන් 14දෙනෙක් මෙවර 2015දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයෙන් විශිෂ්ඨ ලෙස සමත් වී සිටිති. සමත් වූ එම සිසු පිරිස සමඟ සිරි සුගත් දහම් පාසලේ ප්‍රධානාචාර්ය ගණේකන්දේ ගුණරතන නාහිමි ඇතුළු ආචාර්ය මණ්ඩලය මෙම ඡායාරූපයේ වෙති. ඡායාරූපය - ඒ කීර්තිසිංහ අලව්ව විශේෂ