Print this Article


උපසමා මහ රහත් තෙරණින් වහන්සේ

උපසමා මහ රහත් තෙරණින් වහන්සේ

සංසාර ඕඝයට පිළිපන් සත්ත්වයෝ අනන්ත අප්‍රමාණ දුක් විඳිති. ඒ සසර දුකින් මිදෙන්නා වූ එකම සැනසීම ලබන්නා වූ මාර්ගය නම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයයි.

ගැඹුරු වු දුෂ්කර වූ ධර්මය අවබෝධ කොටගෙන සසර කතරින් එතෙර වූ මහරහතන් වහන්සේ නමක් වූයේ උපසමා මහ රහත් තෙරණින් වහන්සේය.

පැහැසර වූ සිත හඳුනාගෙන,ආගන්තුකව එන ක්ලේශයන් ආකූල වූ සිත දමනය කරගැනීමට යහපත් බව දැනගත්තා වූ උපසමා මහ රහත් තෙරණින් වහන්සේ රහත් භූමියට සැපත්ව උන්වහන්සේ විමුක්ති සුවය විඳීමට පෙරාතුව තම වීර්යය වැඩීම උදෙසා දේශිත උදාන පාඨයෝ ගම්භීර වූවකි. වීර්ය උපදනා සුළු වූවකි.

“පින්වත් උපසමා, මේ මාරයාගේ රාජධානියෙන් මිදීම අතිශයින්ම දුෂ්කරයි. කෙසේ හෝ සසර සැඩ පහරින් එතෙර වෙන්න. සේනා සහිත මාරයාව පරදවා දමා අවසන් සිරුරක් දරන කෙනෙකු වන්න.

ඉන්ද්‍රියයන්ට රිසිසේ ආශාව ලුහුබැඳ යාමට ඉඩදීම පෘථග්ජන මිනිස් ස්වභාවයයි. කවර ඉන්ද්‍රියයකගෙන් හෝ වරදක් සිදුවන තෙක් මාරයා නෙත් දල්වාගෙන සිටී. ස්කන්ධ පංචක යමමාරයන් පස් දෙනෙකි.

1.දේවපුත්ත මාර (වසවත්මරු) මේ වනාහි සත්වයෙක් පුද්ගලයෙක් නැත්තාවු මනසේ හටගන්නා කෙලෙස් සමූහයයි.

2.ක්ලේශ මාර– රාග , ද්වේෂ, මෝහ යන කෙලෙස් මූලයන්ය.සසර පුරුදු ද මීට ඇතුළත්ය.

3. අභිසංචාර මාර – සංස්කාර, ලෝකය වූ කලි හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් අනිත්‍ය වූ එකකි. කුසල අකුසල ප්‍රතිසන්ධි දීම ද මින් අදහස් වේ.

4. ස්කන්ධ මාර– පංචස්කන්ධය වූ රූප, වේදනා, සංඥා , සංස්කාර සහ විඤ්ඤාණයයි. මතු ඉපදීම උදෙසා හේතු ප්‍රත්‍යය වේ.

5. මෘත්‍යුමාර – මරණින් මත්තෙහි උපතකට ඉඩක් තැබීමය.

මෙලෙස වු මාරයාගෙන් මිදෙනුයේ ඥානවන්ත , ප්‍රඥාවන්ත වු වීර්යවන්තයින් පමණි.

කුසල් දහම් වඩන්නා වූ සසරින් එතෙරවීමට වෙර දරන්නාවු උතුමන් කරා විත් වෙහෙස කිරීමට ප්‍රයත්න දරනුයේ පාපි මාරයාය. මාර වසඟයෙන් මිදීම දුෂ්කර වූවකි. මාරයා හඳුනා ගැනීම ඉතා අපහසුය. භාග්‍යවතුන් වහන්සේ වැඩවාසය කරන්නේ යම් තැනෙකද පාපී මාරයා නිරතුරුව උන්වහන්සේ පසුපස විය. භාග්‍යවතුන් වහන්සේ මාරයා හඳුනාගෙන ඔහු හඳුනාගත් බව පෙන්වා වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේ වෙත විවිධ වේෂයෙහි මාරයා පැමිණි කල තණ්හා,රති, රගා යන මාරදූවරු විත් විවිධ අයුරින් ග්‍රහණය කරගැනීම පිණිස ප්‍රයත්න දැරීය. එම අවස්ථාවල දී බුදුපියාණන් වහන්සේ මාර දූවරු හඳුනාගෙන මැඩලූ අයුරු අපූරුය. පි‍්‍රයමනාප ස්වභාව ඇති කෙලෙස් පරදවා තනිව ධ්‍යාන කරමින් අර්ථ ප්‍රාප්තිය, හෘදය ශාන්තිය නම් නිවන අවබෝධ කොට වසන බව බුදුහිමි තණ්හා මරදුවට පිළිතුරු දුන් සේක.

සැහැල්ලු කය ඇති, මනාව මිදුණු සිත් ඇති, කර්ම රැස් නොකරන සිහිමත් නොඇලෙන ධර්මය දැන විතර්ක රහිත ධ්‍යානයෙහි යෙදුණ තැනැත්තා නොකිපෙයි. රාගයෙන් සිහි නොකරයි. නොපැකිළෙයි. මෙබඳු විහරණ බහුල භික්ෂු නම පඤ්චද්වාරකි ක්ලේශ ඕඝ තරණය කොට වසන්නේය. හාත්පසින් කාමසංඥා බැහැර කරන්නේ යැයි රති මාරදුවට භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දුන් අයුරු අපූරුය.

කුමුදු දණ්ඩෙන් පර්වතයක් පෙරළිය නොහැක්කා සේ, ගලක් නියෙන් සෑරිය නොහැක්කාසේ, යකඩ, දතින් සැපිය නොහැක්කා සේ, පපුවෙහි උලක් ඇන ගත්තාක්මෙන් දිලිසි දිලිසි පැමිණී තණ්හා,රති, රගා මාර දූවරු බුදුපියාණන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ වාතය පුළුන් රොදක් නෙරා හරින්නාක් වැනි ඉතා සැහැල්ලුවකිනි.

මෙලෙස වීර්යය කරමින් ජාති දුක්ඛයන්ගෙන් මිඳීමට වෙර දරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ ඇතුළු භික්ෂු භික්ෂුණීන් වහන්සේලා වෙත විවිධ වේශයෙන් මාරයා පැමිණ වීර්යය සිඳීමට, සමාධිය සිඳදැමීමට වෙහෙස වූ අවස්ථා පිළිබඳව තොරතුරු බහුලය.

එවන් වූ මාරයාගේ රැහැනින් මිදී අර්හත්වය සාක්ෂාත් කරගන්නේ යම් අයෙකු ද හෙතෙම මහා පුණ්‍යවන්තයෙකි. ඥානවන්තයෙකි. පණ්ඩිතයෙකි.

මෙසේ මාරයාගේ වසඟයට පසු වූ කල සසර ගැලවීමක් නොමැත. එක් විටෙකද මේ පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ රාග පාසයෙන් ගොදුරු කරගැනීමට සිතීය. එවිට භාග්‍යවතුන් වහන්සේ දේශනාකොට වදාළේ මනරම්, රූප,ශබ්ද, ගන්ධ රස, ස්පර්ශ යන රාගයන් පහවූයේද බැඳීම් නිදහස් වූහයි වදාළසේක. එවිට මාරයා අතුරුදහන් විය.

මාරයාගේ ග්‍රහණයාගෙන් මිදී නිර්වාන ක්ෂේම භූමියට පත්වීම උදෙසා බොහෝ සත්ත්වයන්ට නොහැකිවීමට අදක්ෂ වීමට ප්‍රමුඛ කාරණය වන්නේ අවිද්‍යාවයි.අවිද්‍යාන්ධකාර යෙහි ඇලිගැලී වාසය කරන සත්ත්වයෝ වෙසෙන කළ මාරයාගේ ආපදාවට යටත්ව මාරයාගේ රාජධානිය හා අණසක පතුරුවයි. මනසින් උසස් වු මිනිසා කුසල් අකුසල් හොඳ නරක හදුනානොගෙන අකුසල පක්ෂයම පෝෂණය කරයි නම් ශීල, සමාධි, ප්‍රඥා භාවනා ආදි කුසල වර්ධනයක් සිදු නොකරන්නේ නම් මාරයා බොහෝ සෙයින් සතුටුභාවයට පත්වන්නේය. මාරවසඟයට හසුව සත්ත්වයො ්වසන්නෝය.

නුවණැති බුදු, පසේබුදු, මහරහතන් වහන්සේ මේ සසරගත දුක හඳුනාගෙන නිරතුරුව උත්සාහ කරනුයේ කෙලෙස් ප්‍රහාණයකොට මාර වසඟයෙන් මිදීමටයි. වීර්යවන්තයන් වසන සමයක මාරයාගේ ශක්තිය දුබල වේ. මාරයා මුසපත්ව මේ ආර්ය උත්තමයන් පසුපස හඹා යනුයේ කෝප ස්වභාවයෙන්ය.

අනන්ත භව සංසාරයෙහි මිනිසා නැවත නැවත උපදීමෙන් මැරෙමින් යන ගමනකට පිළිපන් සත්වයකු වූයේ අවිද්‍යාව හේතු කොට ගෙනය.අවිද්‍යාව දුරුකළ විටෙක සසර නැවත නැවත උපතක් ලැබිය නොහැක්කේය.

තත්වාකාරයෙන්, ඇත්ත ඇති සැටියෙන් නොදැනීම අවිද්‍යාවයි. පංච උපාදානස්කන්ධයේ හට ගැනීම පිළිබඳව නොදැනීමයි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් සියලු සංස්කාර ධර්මයන් ත්‍රිලක්ෂණ වශයෙන් නොදැනීම අවිද්‍යාවයි. අවිද්‍යාව නිසා සත්වයෝ කුසල අකුසල කර්ම රැස්කොට භවයෙහි දිගින් දිගටම පුනර්භවය ඇතිකර ගනිමින් අනන්ත දුක් විඳිති. මාරයාගේ මාර වසඟයට හසුවෙති.

අවිද්‍යාව නිසා දුර්ලභ වූ මිනිස් ජීවිතයක් ලබාගෙන එයින් ඵල නොලබා උපදනා කොටගත් පේ‍්‍රත, තිරිසන්,අසුර නරකය යන සතර අපා භූමියකට පත්වෙති. අවිද්‍යාව දුරුකිරීමට වෙර දරන උතුමෝ සියලු සංස්කාර ධර්මයෝ ත්‍රිලක්ෂණ වශයෙන් විදර්ශනා නුවණින් දැකිය යුතු බව භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවයි.