ප්‍රශ්නය -
ඤාතියෙක් මිය ගිය පසු තුන්මාසයේ දානය දෙන විට පරිත්‍රාණ ධර්ම දේශනාවක්
පවත්වා පසු දින දානය පූජා කිරීමෙන් මිය ගිය ඤාතියාට පින් අනුමෝදන් විය
නොහැකිද?
සමනලතැන්නේ හේමවංස හිමි,
ශ්‍රී කල්‍යාණාරාමය, උඩුවෙල, බදුල්ල
යම් පින්කමක් කිරීමේ දී එහි අරමුණ මැනවින් වටහා ගත යුතු වෙයි.
වෛද්‍යවරයෙක් රෝගියාගේ ස්වභාවය තේරුම්ගෙන ප්‍රතිකාර නියම කරන්නා සේ
අදාළ කරුණට ගැළපෙන ලෙස පින්කම දවස සකස් විය යුතුවෙයි. මිය ගිය ඥාතියාට
අවශ්‍ය වන්නේ ආයු වර්ණ, සැප, බල, ප්‍රඥා යන ශක්තින්ය. සිවුපස දානය,
පැහැදිලි සරල භාෂාවකින් බුද්ධ ධර්මය කියා දීම හෙවත් ධර්ම දේශනා, පොත පත
ලියවා කියවන්ට අවස්ථාව ලබා දීම, ආවාස පූජා ආදිය, ගිලනුන්ට උපස්ථානය හා
ආධාර දීම ආදී පූජාවන් සිවු පස පූජාවන්ය.
පිරිත් දේශනය ඉතා හොඳ පින්කමකි. එහි අරමුණ අපට ඇතිවන විපත්තීන් අඩුකර
ගැනීම, අපට සෞභාග්‍යය ලබා ගැනීම, අපට බලපාන දුක් භය රෝග නිවාරණය කර
ගැනීම ආදියයි. එයින් මියගිය ඥාතියාට වන උපකාරයක් නැත. එහෙත් පිරිත්
දේශනය උසස් පින්කමක් නිසා අවශ්‍ය නම් ඒ පිං ද ඥාතියාට අනුමෝදන් කළ
හැකිය. පිරිතේ යක්ෂයන් ප්‍රේතයන් පලවා හරින බැවින් පිරී දේශනාවෙන් පසු
සිදුකරන ප්‍රාප්තිදානයෙන් ඥාතීනට පින් ලබා ගත නොහැකියැයි සාමාන්‍ය ජන
ව්‍යවහාරයේ පවතී. මිය ගිය ඥාතියා පිරිතට බියවී පලා යන තරමේ යක්ෂ ප්‍රේත
භවයක උපත ලබා සිටි නම් පිරිත් දේශනා නොකර දන් පූජා කළත් ඔහු පින්
ගැනීමට නො සුදුසු වෙයි. මන්ද නමෝ තස්ස භගවතෝ යන පාඨයේම මිථ්‍යා දෘෂ්ටික
බලවේග වළකන බලයක් ඇති බැවිනි.
ප්‍රශ්නය
අවබෝධයකින් තොරව වත් පිළිවෙත් කිරීමෙන් ප්‍රතිඵලයක් ලැබේද?
ටිකිරිබණ්ඩා සිලෝගමම්
බණ්ඩාරවෙල
වත් පිළිවෙත් කිරීමත්, රැකියාව සඳහා හෝ භය නිසා හෝ වැඩ කිරීමත් දෙකකි.
වත් යන වත්තක්ඛන්ධකයේ ද දැක්වෙන චාරිත්‍රමය සීලයෙන් යුතු පුණ්‍යමය
ක්‍රියායි. විහාර, බෝමළු, දානශාලා, ආවාස, ආවාස මළු, වච්ච කුටි ආදී
ස්ථාන සම්බන්ධ වත් සහ ආගන්තුක ආචරිය උපජ්ඣානයක ආදී පුද්ගල සම්බන්ධ වත්
පුණ්‍ය ක්‍රියායි. එය සැදැහැයෙන් කරන ක්‍රියායි. එබැවින් වත් පිළිවෙත
කරන්නවුන්ට ඒ කාර්යයේ ස්වභාවයේ දැනුම තිබිය යුතු යි. ඉතා කුඩා
සාමණේරවරු පවා වත් හා වැඩවල වෙනස දනිති. දහම් පාසල් කුඩා දරුවන් පවා
වත් පිළිවෙත් පින් සිද්ධ වන බව දනිති. මහානායක ස්වාමීන්ද්‍රවරයාණන්
වහන්සේ පටන් කුඩා සාමණේරවරයාණන් දක්වා වත් පිළිවෙත් කරන ආකාරය අලුයම
විහාරස්ථානයට ගිය හොත් දැක ගත හැකි යි. එය ඉතාම චිත්තාකර්ෂණීය
ලක්ෂණයකි. වැඩ කිරීමෙන් වැටුප් ආදී ප්‍රතිඵල ලැබේ. වත් පිළිවෙත්වලින්
අනතිමානී ගුණය, සිල් පිරීම, තම සිත පැහැදීම, ගුරුවරුන්ගේ සිත් පැහැදීම,
සිත් එකඟවීම හෙවත් භාවනාවක් ලැබීම, නිරෝගී බව ලැබීම ආදි බොහෝ දේ ලැබේ.
වැටුප් නොලැබේ. එබැවින් වත් පිළිවෙත් කළ යුත්තේ අවබෝධයෙන්මය.
ප්‍රශ්නය -
අගසව් සැරියුත් හිමියන් රන්වන් පැහැයෙන් ද, අගසව් මුගලන් හිමියන්
නිල්වන් පැහැයෙන් ද වෙන් කර ඇත්තේ ඇයි?
ටිකිරිබණ්ඩා සිලෝගමම් මහතා
බණ්ඩාරවෙල
අග්‍රශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේගේ වර්ණය ආසියාතික ජනතාව ‘සුදු’
යැයි සලකන වර්ණයයි. අග්‍රශ්‍රාවක මුගලන් මහරහතන් වහන්සේගේ වර්ණය
ආසියාතික ජනතාව සලකන ‘කළු’ යැයි සලකන වර්ණයයි. මෙය යුරෝපීය සුදු, කළු
වර්ණ ස්වභාවය නොවේ. ශ්‍රාවක පාරමිතාවන් පිරීමට ද බොහෝ කලකට පෙර තම
දෙමාපියන් ඝාතනය කළ දරුණු අකුසල කර්මයේ විපාක විඳ, පිලෝහිත කර්ම වශයෙන්
බලපෑ හේතු නිසා මුගලන් මහරහතන් වහන්සේ වර්ණය වෙනස් වූ බවද පිළිගැනේ.
එහෙත් පැහැයෙන් කළුවන සියලු දෙනා පැරැණි කර්ම විපාක ලෙස එසේ වන්නේ යැයි
පිළිගැනීම වැරැදියි. සාහිත්‍යමය භාෂාවේ සුදු පැහැය රන්වන් පාටටත්, කළු
පැහැය නිල්වන් පාටටත් දැක්වීම සම්ප්‍රදායකි. |