Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

ගාල්ලේ දංගෙදර දහම් සෙවණ විහාරාධිපති ශ්‍රී ප්‍රඤ්ඤාසාර මහපිරිවෙනේ හිටපු පරිවේනාධිපති නාගොඩ සුමනසිරි හිමියන් වෙත “ධර්මකීර්ති ශ්‍රී පඤ්ඤාසාර” ගෞරව නාම සම්මුතිය සහිත ගාල්ල දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීමේ අක්තපත්‍රය මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන් විසින් මහනුවර ඓතිහාසික මංගල උපෝසථාගාරයේදී පිරිනමන ලද අවස්ථාව. නියංගොඩ විජිතසිරි අනු නා හිමියෝද මෙහි වෙති.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට කැලණිය රජ මහා විහාරයේ ප්‍රධාන බස්නායක නිලමේ ධම්මික ආටිගල මහතා උපහාර තිළිණයක් පිරිනමන ලද අයුරු. කැලණිය රාජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියෝද මෙහි වෙති.
ඡායාරූපය සමන් ශ්‍රී වෙදගේ


පස් දින නිල සංචාරයක් සඳහා ජපානයට ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එහිදී ත්‍රිවිධ රත්නයේ පිහිට පැතීම සඳහා ජපානයේ වැඩ සිටි ගරුතර මහා සංඝරත්නය ටෝකියෝ අගනුවර ඉම්පීරියල් වෙත වැඩම කරනු ලැබූහ. අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පොළොන්නරුවේ සොළොස්මස්ථානාධිපති වේඬරුවේ උපාලි අනුනාහිමි ඇතුළු මහ සඟරුවන පිරිත් සජ්ඣායනා කර රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ජපාන සංචාරය වෙනුවෙන් ත්‍රිවිධ රත්නයේ පිහිට පැතූහ. ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමි,මැලේසියාවේ ප්‍රධාන සංඝනායක අලුබෝමුල්ලේ රතනසිරි නාහිමි ඇමරිකා එක්සත් ජනපදයේ ග්‍රේඩිලේක් බෞද්ධ මධ්‍යස්ථානාධිපති බ්‍රාහ්මණගම මුදිත නාහිමි අගමැතිතුමාට ආශිර්වාද පළ කිරීම සඳහා එහි වැඩම කර සිටියහ. මුදල් ඇමැති රවි කරුණානායක , විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ ඇමැති සුසිල් පේ‍්‍රම්ජයන්ත් ජපානයේ ශ්‍රී ලංකා නව තානාපති මහාචාර්ය ධම්මික ගංගනාත් දිසානායක මහත්වරුද සේයාරුවේ වෙති.

මහනුවර කහල්ල ශ්‍රී ජේතවනාරාමයේ දී දරුවන් හතර දෙනකු පැවිදි කිරීමේ පින්කමක් පැවැත්විණි. මිනිපේ ධම්මකිත්ති සහ වටපානේ ධර්මකීර්ති යන හිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් හා වරකාගොඩ ඥානරතන අනු නාහිමියන් ඇතුළු මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් එම පින්කම සිදු කෙරිණි. නිලන්ති කුමාරි සහ චමින්ද බණ්ඩාර දම්පතීන්ගේ පුත්‍ර අංජුල බණ්ඩාර කිවුලේගම ධම්මසිරි හිමි නමින්ද, නිමාලි චාන්දනී සහ දමින්ද පුෂ්පකුමාර දම්පතීන්ගේ පුත් චමෝද් බණ්ඩාර හඳගනාවේ ධම්ම විසුද්ධි නමින්ද, ඩබ්. එම්. ජයතිලක බණ්ඩා සහ ජේ. එම්. සුධර්මා කුමාරි දම්පතීන්ගේ පුත් ඩබ්. එම්. සුරංග බණ්ඩාර පිටවල ධම්මගවේසි නමින්ද, ආනන්ද සහ සුජාතා දම්පතීන්ගේ පුත් සාලින්ද බණ්ඩාර පිටවල ධම්ම සිද්ධි හිමි නමින් ද පැවිද්ද ලැබූහ. වටපානේ ධර්මකීර්ති හිමි (වමේ) සහ මිනිපේ ධම්ම කිත්ති හිමි අසුන්ගෙන සිටිති.
පී. ඒ. කපුරුබණ්ඩාර ආරච්චි - තලාතුඔය විශේෂ

කොළඹ උතුර කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ශාස්ත්‍රපති අග්‍රහැරේ කස්සප හිමියන් විසින් රචිත දහම් පාසල් විෂයන් පාදක කරගත් ‘සදාචාර වර්ධනය හා බැඳුන අපගේ බුදුදහම’ දහම් පාසල් ගුරුවරුන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට අත්වැලක් දහම් පාසල් යහගුණ ගී ( 2 – 3 ශ්‍රේණි) හා දහම් පාසල් යහගුණ ගී (4 – 5 ශ්‍රේණි) දහම් පොත් දොරටවැඩීම ඉකුත් දා කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී කෝට්ටේ කල්‍යාණි සාම ගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. කර්තෘවර අග්‍රහැරේ කස්සප හිමියන් විසින් ග්‍රන්ථ ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමියන් වෙත පිළිගැන්වූ අවස්ථාව. දිවියාගහ යසස්සී නාහිමි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි සහ නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති කිරම විමලජෝති යන හිමිවරුද ඡායාරූපයේ වෙති. (මහරගම විශේෂ වේහැල්ලේ පියතිලක)